බ්‍රික්ස් සංධානයේ වර්තමාන සාමාජික රටවල් සමඟ සාකච්ඡා කර ශ්‍රි ලංකාව එම සංධානයේ සාමාජිකත්වය

ලබා ගැනීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නැයි
පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා උදය ගම්මන්පිල, ජනාධිපති වික්‍රමසිංහ වෙත අද (25) ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් කර තිබේ.

 එම පියවර  ශ්‍රි ලංකාව මුහුණ දෙන වත්මන් ආර්ථික අර්බූදයෙන් මිදීම සඳහාත්, ශ්‍රි ලංකාවේ උපාය මාර්ගික පිහිටීමේ වාසිය උපයෝගී කරගනිමින් ආර්ථික සමෘද්ධිය ලඟා කර ගැනීම සඳහාත් බෙහෙවින් උපකාරි වනු ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා සිය ලිපිය මගින් කියා සිටියි.

''ශ්‍රි ලංකාව  බ්‍රික්ස් (BRICS) සංධානයේ සාමාජිකත්වය ලබා ගැනීම'' යන ශීර්ෂයෙන් යුතුව ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති එම ලිපියේ මෙසේ ද සඳහන් වේ.



''වර්තමානය වන විට ලෝකයේ දේශපාලන හා ආර්ථික ප්‍රවණතාවන් ඉතා සිඝ්‍රයෙන් වෙනස් වෙමින් තිබේ. ලෝක බල තුලනය ආසියාව දෙසට දෝලනය වෙමින් පවතින අතර නව ආර්ථික බලවතුන් විසින් එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් විසින් ආධිපත්‍ය පවත්වන සම්ප්‍රදායික ආර්ථික ක්‍රමයට ද අභියෝග කරමින් තිබේ.  මෙම තත්ත්වය හමුවේ  කලාපයේ භූ දේශපාලනික වශයෙන්  සුවිශේෂි  වැදගත්කමක් සහිත රාජ්‍යයක් ලෙස අපේ රටේ  විදේශ ප්‍රතිපත්තිය සමාලෝචනය කර නව ප්‍රවණතාවයන්ට ගැලපෙන ලෙස විදේශ ප්‍රතිපත්තින්  සකස් කර ගැනීම අතිශය වැදගත් බව සිහිපත් කිරිමට කැමැත්තෙමු. ''



ඉහත සඳහන් කල දේශපාලනික වර්ධනයන්හී සුවිශේෂි සංධිස්ථානයක් ලෙස බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව සහ චීනය යන රටවල් එක්ව 2006 දී බ්‍රික්ස් හවුල බිහිකර ගැනීම සැලකිය හැක. එය එවකට හඳුන්වනු ලැබුවේ බ්‍රික් (BRIC) සංවිධානය නමින් වන අතර 2010 දී දකුණු අප්‍රිකාව ද මෙම සංධානයේ සාමාජික රටක් බවට පත්වීමත් සමඟම සංධානයේ නම බ්‍රික්ස් (BRICS) යනුවෙන් වෙනස් කරන ලදී.

සාමාජික රටවල් අතර දේශපාලනික සහ ආර්ථික සහයෝගීතාව වර්ධනය මෙන්ම බහුපාර්ශ්වික වෙළඳාම ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් ආරම්භ කරන ලද මෙම සංධානයට එක්වීම සඳහා මේ වන විටත් රටවල් 20 කට අධික ගණනක් සිය කැමැත්ත පල කර ඇත.  ඒ අනුව ජොහැන්ස්බර්ග් හි පැවැත්වූ මෙවර සමුළුවේ දී ඊජිප්තුව, ඉතියෝපියාව, ඉරානය, ආජන්ටිනාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සෞදි අරාබිය යන රටවල්  හයට බ්‍රික්ස් සංධානයේ පූර්ණ සාමාජිකත්වය ලබා දීමට තීරණය කර තිබේ.



වර්තමාන බ්‍රික්ස් සාමාජික රටවල් පහ සැලකීමේ දී ඔවුන් ලෝකයේ මුළු භූමි ප්‍රමාණයෙන් 27%ක ප්‍රතිශතයක් නියෝජනය කරන අතර, නවතම වාර්තා අනුව ලෝක ජනගහනයෙන් 42% කට වඩා වැඩි ප්‍රතිශතයක්ද මෙම රටවල් සමූහය විසින් නියෝජනය කරනු ලබයි. එසේම ලෝක දළ ජාතික නිෂ්පාදනයෙන් 27% කට වැඩි දායකත්වයක් බ්‍රික්ස් රටවල් විසින් දරනු ලබයි. අනෙක් වැදගත්ම කාරණය වන්නේ මෙම රටවල් සතුව පවතින විශාල වූ ද තරුණ වූ ද ශ්‍රම බලකායයි.  මේ සියල්ල සැලකීමේ දී බ්‍රික්ස් සංධානය යුරෝපා සංගමය වැනි සංධානයන් පවා අභිභවා යා හැකි විභවයක් සහිත සාමුහිකයක් බව ප්‍රකාශ කල හැක. මේ නව ආර්ථික බලමුළුව ගෝලීය ආර්ථිකයේ ආධිපත්‍යය තමා සතු කර ගැනීම සඳහා සුවිශේෂි පියවර රැසක් දැනටමත් ගෙන ඇත.



බ්‍රික්ස් සාමාජික රටවල තිරසර සංවර්ධන හා ආර්ථික සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය ලබා දීමට නව සංවර්ධන බැංකුවක් පිහිටුවීමට 2012 වසරේ පැවති බ්‍රික්ස් සංධානයේ හතරවන සමුළුවේදී යෝජනා විය. ඒ අනුව 2014 දී අමෙරිකානු ඩොලර් බිලියන 50 ක ආරම්භක මුදලක් සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ ලෝක බැංකුවට විකල්පයක් ලෙස නව සංවර්ධන බැංකුව (New Development Bank) ආරම්භ කරන ලදී. එහි මුලස්ථානය චීනයේ ෂැන්හැයිහි පිහිටවනු ලැබ තිබේ.  2015 දී මෙහෙයුම් ආරම්භ කළ දා සිට ප්‍රවාහන සහ යටිතල පහසුකම් වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඩොලර් බිලියන 30 කට වඩා වැඩි ණය ප්‍රමාණයක් මෙම නව සංවර්ධන බැංකුව විසින් ලබාදි ඇත.  මීට අමතරව ගෙවුම් ශේෂ අර්බූදයන්ට මුහුණ දෙන සාමාජිකයන්ට සහය වීම සඳහා “Contingent Reserve Arrangement” නම් ද්‍රවශීලතා යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමට ද ඔවුන් කටයුතු කරනු ලැබ ඇත.

තවද, එක්සත් ජනපදය ප්‍රමුඛ “G7” ‍රටවල් මෙතෙක් ගෝලීය වෙළෙඳපොළේ පවත්වා ගෙන ගිය බල අධිකාරිය හරහා එක්සත් ජනපද ඩොලරයට අසීමිත බලයක් ලැබීණි. ඒ හරහා අනෙකුත් රටවල ආර්ථිකයන් කෙරෙහි එක්සත් ජනපදයට අසමානුපාතික බලපෑමක් එල්ල කිරීමේ අවස්ථාව උදා විය.  ඒ නිසාම එක්සත් ජනපද ඩොලරයෙන් ස්වාධීන වූ ගෙවීම් මාධ්‍යයක් පිහිටුවමින් ජාත්‍යන්තර වෙළෙඳාමට පිවිසීමේ හැකියාව බ්‍රික්ස්  සන්ධානය මේ වන විට සලකා බලමින් තිබේ.  බ්‍රික්ස් රටවල එම වෑයම සාර්ථක වුවහොත් එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර  රටවලට, දේශපාලනමය වශයෙන් අනෙකුත් රටවලට බලපෑම් සිදුකළ හැකි හැකියාව ද අවම වේ.  එසේම විනිමය අනුපාත උච්චාවචන සහ පොලී අනුපාත වෙනස්වීම් මත ලෝකයේ අනෙකුත් ආර්ථිකයන් මත ඇති වන විපර්යාස ද අවම වන අතර බ්‍රික්ස් රටවල් සහ ඔවුන් සමඟ ගනුදෙනු කිරීමට කැමති රටවල් මූල්‍ය අර්බුද කළමනාකරණය කිරීමේ හැකියාවත් පෙරට වඩා වර්ධනය වනු ඇත.



මේ සියළු කාරණා සැලකිමේදී, ශ්‍රි ලංකාව බ්‍රික්ස් සංධානයේ සාමාජික රටක් බවට පත්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගතයුතු බවට යෝජනා කිරිමට කැමැත්තෙමු.  ඉන්දියානු සාගරය ලොව ආර්ථික සහ දේශපාලනික කේන්ද්‍රය බවට පත් වෙමින් තිබෙන සමයක උපායමාර්ගික වශයෙන් අතිශයින්ම වැදගත් ස්ථානයක පිහිටි ශ්‍රී ලංකාව තම සාමාජිකයෙකු වීම එම සංවිධානයට ද වැදගත් වනු ඇත.  ඒ හරහා ශ්‍රි ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා නව සංවර්ධන බැංකුවේ ආධාර ලබා ගැනීමට හැකි වනු ඇති අතරම ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දෙන රටක් ලෙස එම අර්බුදය කළමනාකරණය කර ගැනීම සඳහා බ්‍රික්ස් ද්‍රවශීලතා යාන්ත්‍රණයේ සහයෝගය ලබා ගැනීමට අවස්ථාව ද විවර වනු ඇත.එසේම නැඟි එන නව ආර්ථික බලවතුන් සමඟ වඩාත් ශක්තිමත් දේශපාලන හා ආර්ථික සහයෝගිතාවක් ගොඩනඟා ගැනිමටත් නව වෙලඳ සබඳතා වර්ධනයටත් එම ක්‍රියාමාර්ග බෙහෙවින් උපකාරි වනු ඇත.



ඉහත කරුණු පිළිබඳ ආණ්ඩුවේ අවධානය යොමු කර බ්‍රික්ස් සංධානයේ වර්තමාන සාමාජික රටවල් සමඟ සාකච්ඡා කර ශ්‍රි ලංකාව එම සංධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ඔබතුමා විසින් කඩිනමින් ගනු ඇතැයි අපේක්ෂා කරමු. එම පියවර ශ්‍රි ලංකාව මුහුණ දෙන වත්මන් ආර්ථික අර්බූදයෙන් මිදීම සඳහාත් ශ්‍රි ලංකාවේ උපාය මාර්ගික පිහිටීමේ වාසිය උපයෝගී කරගනිමින් ආර්ථික සමෘද්ධිය ලඟා කර ගැනීම සඳහාත් බෙහෙවින් උපකාරි වනු ඇත.''

kjkldsf

hdfdf

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්