ඉන්දියාව චන්ද්‍රයාන් යානය සඳට යැවීමත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේදී අභ්‍යවකාශයට යවන ලද රොකට්ටුව පිළිබදවද කතාබහක් සමාජයේ මතුව තිබේ. 

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ද පසුගියදා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීය. ඉන්දියාව විසින් සඳට යවන ලද චන්ද්‍රයාන් යානය සඳහා වියදම ඩොලර් මිලියන 75ක් වෙද්දී ශ්‍රී ලංකාවෙන් ගුවන් ගත කරන ලද චන්ද්‍රිකාවට ඩොලර් මිලියන 320 ක් වියදම් වී ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී කියා සිටියේය. ඒ සම්බන්ධයෙන් ඔහු රෝහිත රාජපක්ෂ ඇතුළු එම පවුලේ සාමාජිකයින්ටද චෝදනා කර සිටියේය. 

පෞද්ගලික සමාගමක ආයෝජනයක් - නාමල් කියයි 

ඊට පිළිතුරු දෙමින් බණ්ඩාරගමදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන බලමන්ඩල හමුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුයේ, පසුගිය කාලයේ රෝහිත රාජපක්ෂ ද මැදිහත්වී ‍අභ්‍යවකාශගත කරන චන්ද්‍රිකාව වියදම දරනු ලැබුවේ, පෞද්ගලික ආයතනයකින් බවයි. එය රජයේ ආයතනයක් නම් එය කෝප් කමිටුවට ඉදිරිපත් කළ යුතු නමුත්, පුද්ගලික ව්‍යාපාර කරන ආයෝජන ගැන ප්‍රශ්න කිරීමට කෝප් කමිටුවට නොහැකි බවද හෙතෙම පැවසීය.

විපක්ෂ නායකවරයට එම ආයෝජනය ගැන විමසීමට අවශ්‍ය නම්, එය ඔහුට ඒ ගැන පරීක්ෂණ කර රජයේ ආයෝජන ඇත්තේනම් කෝප් කමිටුවට කැඳවිය හැකි බවද නාමල් රාජපක්ෂ එහිදී පැවසීය.

මෙම ප්‍රකාශයන් මඩ ගැසීමට පමණක් සීමා වී ඇති බවත් එසේ මඩ ගැසීමෙන් ආර්ථිකයක් දියුණු කර නොහැකි බවත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා කියා සිටියේය.

චන්ද්‍රිකාවකයි රොකට්ටුවකයි වෙනස නොදන්න දේශපාලන කතාවලට පිළිතුරක් 

sl satalite

'සුප්‍රීම් සැට්' චන්ද්‍රිකාව සම්බන්ධයෙන් මෙසේ ආන්දෝලනයක් මතුවෙමින් තිබියදී එම චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කිරීමට මැදිහත්වූ 'සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස්' සමාගම මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින්, රෝහිත රාජපක්ෂ තම සමාගමේ හිටපු සේවකයෙක් පමණක් බවත් සුප්‍රීම්සැට් ඔහුට අයත් ව්‍යාපාරයක් නොවන බවත් අවධාරණය කර තිබේ. 

එම අදාල සම්පූර්ණ නිවේදනය මෙසේය.

SUPREMESAT 1 චන්ද්‍රිකාව සම්බන්ධයෙන් නිල මාධ්‍ය නිවේදනය

 

SUPREME GLOBAL HOLDINGS PVT LTD යනු ද රටට වැඩි යහපතක් කිරීමට වඩා අනර්ඝ වාණිජ කේන්ද්‍රයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට උපන් දේශීය ව්‍යාපාරයකි. සාම්ප්‍රදායික රැකියා වෙළඳපොලේ සීමිත රැකියා අවස්ථා සමඟ අරගල කරන තරුණ තරුණියන් සඳහා විද්‍යාත්මක හා තාක්‍ෂණික ලෝකයේ අනාගතයේදී නව්‍ය රැකියා අවස්ථා නිර්මාණය කිරීමට සහ ඔවුන්ගේ සමාජ තත්ත්වය වැඩිදියුණු කිරීමට අපි විවිධ ව්‍යාපාරික ක්ෂේත්‍ර හරහා කටයුතු කරන්නෙමු.

 

ඉන් එක් අංශයක් වන්නේ අභ්‍යවකාශ සහ චන්ද්‍රිකා තාක්ෂණයයි.  ඒ වෙනුවෙන් අපි අපගේ සමාගමේ අනුබද්ධිත සමාගමක් වන SupremeSAT දියත් කළෙමු.  නමුත් මේ රටේ පටු පසුගාමී සාම්ප්‍රදායික දේශපාලන සංස්කෘතිය සහ නූගත්/කුහක කොටස් පසුගිය දශකය පුරාවට පටු දේශපාලන අරමුණු වාසි ඇතිව මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් අපි නිර්මාණය කළ උදාර අවස්ථාවක් විනාශ කර සාවද්‍ය ප්‍රචාරයන් හරහා මේ රටේ තරුන පරපුරට විවර වීමට ඇති ස්වර්ණමය රැකියා දොරටුවක් වසා දමන්න ක්‍රියා කරනු ලැබිය. 

Screenshot 2023 08 30 at 12.49.58


1. SupremeSAT (Pvt) Ltd., රෝහිත රාජපක්ෂ මහතාට අයත් ව්‍යාපාරයක් නොවේ.  එය සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් හි  පුර්ණ අනුබද්ධිත ආයතනයකි.

2. මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් හෝ කිසිදු අංශයකින් මෙහෙයවන්නේ රෝහිත රාජපක්ෂ මහතා නොවේ. මෙම ව්‍යාපෘතිය ගෝලීය වශයෙන් පිළිගත් කීර්තිමත් ආයෝජකයින් සමඟ පුද්ගලික ආයෝජනයක් ලෙස සිදු කරන ලද අතර රෝහිත රාජපක්ෂ සමාගමේ 'ප්‍රධාන තාක්ෂණික අධ්‍යක්ෂ' තනතුරේ රැකියාව කරන ලදී.  

එය සමාගම් අධ්‍යක්ෂ තනතුරක් නොවේ. නමුත් ඔහු එවකට සිටි ජනාධිපතිවරයාගේ පුත්‍රයා නිසා අනවශ්‍ය ප්‍රචාරයක් ලබාදී සමාජ මාධ්‍ය තුළ අසත්‍ය කරුණු ප්‍රචාරය කරන්නට බොහෝ පිරිස් කටයුතු කරනු ලැබුවා.  අපි තවමත් විශ්වාස කරන්නේ ඔහු අභ්‍යවකාශ ඉංජිනේරුවෙකු වීම නිසා ඔහුගේ පියාගේ රැකියාව හෝ දේශපාලනය ඔහුට සමාගමක සේවය කිරීමට වාසියක් නොවුණත් එය අවාසියක් නොවිය යුතු බවයි. 

 lead Rohitha

රෝහිත රාජපක්ෂ සම්පත්දායක පුද්ගලයෙකු වන අතර කැපවූ සේවකයෙකු ලෙස ඔහුගේ රාජකාරි කාලය තුළ අප සමාගමට දායක වී ඇත. අදටත් අප ආයතනයේ සේවය කළ නිලධාරියෙකු ලෙසත් 'අභ්‍යවකාශ පද්ධති ඉංජිනේරු' ලෙස ඔහුගේ සේවය අපේක්ෂා කරන ඕනෑම කෙනෙකුට ඔහුව නිර්දේශ කරන්නෙමු.

 

3. මෙම ව්‍යාපෘතිය සඳහා රජයේ මුදල් හෝ රාජ්‍යයේ කිසිදු විශේෂ අනුග්‍රහයක් මෙතෙක් යොදවා හෝ භාවිතා කර නොමැති අතර මෙම ව්‍යාපෘතියෙන් රටට සැලකිය යුතු විදේශ විනිමයක් ගෙන ඒමට හැකි වී ඇත. නමුත් ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොවීමද කණගාටුවකි. එමෙන්ම මෙය සම්පූර්ණ වශයෙන්ම පුද්ගලික ආයෝජනයක් මිස කිසිදු පොදු හෝ රජයේ හෝ රජයට සම්බන්ධ පාර්ශවයක හෝ මුදල් ආයෝජනයක් මෙම ව්‍යාපෘතිය තුළ අවභාවිතා කර බවත් මේ වන විට සාක්ෂි සාධක සහිතව නීති රාමුව තුළද තහවුරු වී අවසන්ය.

 

4. මෙම ව්‍යාපෘතිය ආරම්භ කර කෙටි කලකින් රෝහිත රාජපක්ෂ මහතා අප ආයතනයෙන් ඉල්ලා අස් වූ අතර ඔහු එම සමාගමේ කොටස් හිමියෙකු හෝ අධ්‍යක්ෂ මණ්ඩල අධ්‍යක්ෂවරයෙකු නොවන බව මේ චෝදනා සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශණ ගණනාවකින් පසු ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු සියලු දෙනාටම තහවුරු විය.

 

5.සුප්‍රීම්සැට් 2012 දී තමන්ගේම සන්නිවේදන චන්ද්‍රිකාවක් දියත් කළා පමණක් නොව, දැන් මහනුවර පල්ලෙකැලේ අක්කර 10 ක භූමි භාගයක නවීනතම චන්ද්‍රිකා පාලන මධ්‍යස්ථානයක් ද ඉදි කර ඇති බව, දැනුම ලබා ගැනීම උනන්දු වන හා නිවැරදි දැනුමින් සන්නද්ධ වන්නට කැමති මෙම විෂයය ක්ෂේත්‍රය පිළිබඳ නිවැරදි දැනුමක් අවබෝධයක් ඇති නිවැරැදිව සිතන ඕනෑම ශ්‍රී ලාංකිකයෙක් මේ වන විට දන්නා කරුණකි. 

Screenshot 2023 08 30 at 12.52.34
අප සමාගම අපට ඇති ශක්තියෙන් දිනෙන් දින ගොඩ නැගෙමින් වර්ධනය වූ අතර දැන් කලාපීය වශයෙන් ශක්තිමත් චන්ද්‍රිකා/ටෙලිපෝට් ක්‍රියාකරුවෙක් ලෙස කලාපයේම ප්‍රමුඛ නාමයක් මෙම ක්ෂේතයේ හිමිකරගෙන සිටියි. අපි රැකියා විශාල ප්‍රමාණයක් ජනනය කර ඇති අතරම විදෙස් සෘජු ආයෝජනයන් ( FDI ) මහා පරිමාණයෙන් ශ්‍රී ලංකාව වෙත ගෙන ඒමට අපගේ සමාගම් ශක්තිය කැප කොට ඇත. 

 

ශ්‍රී ලංකා ධජය අභ්‍යවකාශයට යැවූ එකම ශ්‍රී ලාංකේය සමාගම ලෙස අපි සැමවිටම අභිමානයෙන් අවංක ආඩම්බරයකින් පෙනී සිටිනෙමු. තම දේශය ජාත්‍යන්තරයේ ඉහළින් තැබීමට හැකියාව ලැබේ නම් ශ්‍රී ලාංක්කික සමාගමක් ලෙස අපි ඉත සිතින් සතුටු වන්නෙමු. නමුත් දේශ මාමකත්වයට මුවාවී දේශද්‍රෝහීන් ලෙසින් එම වටිනා අවස්ථාවන් මව්බිමට අහිමි කරන්නට උත්සාහ දරන්නවුන් ගැන අපට ඇත්තේ දැඩි පිළිකුළකි. ලොව ප්‍රමුඛ පෙළේ සමාගම් මේ වනවිටත් වසර ගනනාවක් පුරා SUPRMESAT Kandy Teleport හි සේවාවන් භාවිතා කරයි.  

 

නමුත් ඕපාදූප වලට පමණක් ප්‍රිය කරන අය තවමත් කතා කරන්නේ චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කළාද නැද්ද යන්න සහ එය අභ්‍යවකාශයේ තිබේද යන්නයි.  නිවැරදි දැක්මක් අවබෝධයක් ලබා ගන්නවාට වඩා හුදෙක් සිල්ලර විහිළුකාරයන් සේ කටයුතු කරන බොහෝ දෙනෙකුට මේ පිළිබඳ සැබෑ අවබෝධයක් නැත. මෙම විෂයය පිළිබඳ උනන්දුවක් හා අවබෝධයක් ඇති පිරිස් වලට විනා අන් අයට මෙහි වගක් නැත්තේ ඔවුන්ගේ දැනුම මට්ටම් අනුව වන බව අපි දනිමු. 

 

ඇත්තටම විෂයය පිළිබඳ කිසිදු දැනුමක් නැති එමෙන්ම සුප්‍රීම් සැට් විසින් මේ රට තුළ සිදු කළේ හා සිදු කරන්නේ කුමක්ද කියා නිසි අවබෝධයක් නැති සියල්ලන්ට අපට පැවසීමට ඇත්තේ විහිළුවට එහා ගිය ඉතා වටිනා ශ්‍රී ලාංකික උරුමයක් ඔබේ හිසට ඉහළ අභ්‍යාවකාශයේ අප විසින් තැන්පත් කොට ඇති බවයි.  කරුණාකර ‘Orbital Slot 87.5East’ වෙත ගමන් කරන්න, එවිට ඔබ ඔය සොයන්නට වෙහෙස වන SUPRMESAT චන්ද්‍රිකාව තවමත් පවතින බවත් රටට විදෙස් විනිමය ගෙනෙන බවත් ඔබටම දැනගන්නට දැක ගන්නට ලැබෙනු ඇත.

 65col451 23006 44734 70314101240196 6410692 15122017 RRB

ශ්‍රීමත් ආතර් සී ක්ලාක්

අපි සිතන්නේ අද ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මැතිතුමා ජීවත්ව සිටියේ නම් මෙම ව්‍යාපෘතිය පිළිබඳව ශ්‍රී ලංකාව වැනි රටක් එහි බිහිවූ සමාගමක් සිදු කරන ලද මේ අභ්‍යවකාශ ව්‍යාපෘතිය පිළිබඳව කොතරම් අභිමානයකින් ලෝකයට හඩ නගා පවසාවිද යන්නයි. නමුත් අද එවන් සුප්‍රසිද්ධ විෂයය ප්‍රාමාණිකයින් වෙනුවට මේ ගැන දුර්මත ඵලකරන්නේ හිස් මනස් සහිත අනුවණයින් කොට්ඨාශයක් වීම කොතරම් ඛේදවාචකයක්ද?

 

සියල්ල දන්නවා යැයි සිතන සියලුම ශ්‍රී ලාංකිකයන් අද කතා කරන්නේ ඩොලර් නැති රට ගැනය. අපි අපි මේ ආර්ථික වියවුල හඳුනා ගත්තේ අවුරුදු 11කට කලින්ය. ඒ වෙනුවෙන් මුහුණ දීමට අප අපි නව කර්මාන්ත ක්ෂේත්‍රයක් නිර්මාණය කළ අතර එය ඩොලර් බිලියන 316 ක කර්මාන්තයකි. එයින් 1%ක් වත් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකියාව ලබා ගැනීමට සියල්ලන් උපකාර කළා නම් අද ලංකාවට USD බිලියන 3.16 ක් වටිනා forex ගලා එයි. ඒත් ඡන්ද වලටයි කොමිස් වලටයි විතරක් හිත ගිය යක්ෂාවේෂවුන් සේ අපේ අත්‍යන්ත උත්සාහය ගැන වහසිබස් හා අසත්‍ය කතා කලේ කිසිදු වග විභාගයකින් තොරවය. මෙම ව්‍යාපෘතියට නිසි සැළකිල්ලක් දක්වා එහි වටිනාකම නිසි පරිදි හඳුනා ගත්තා නම්  විදෙස් විනිමය (Forex) ගලා එන්නේ නිරායාසයෙනි.  

 

Screenshot 2023 08 30 at 12.51.14

ශ්‍රී ලංකාව අලුත් කර්මාන්තයකින් රටට විදෙස් විනිමය උපයා දීමට දැරූ උත්සාහයට උපයා ගැනීමට උත්සාහ කළ අපට මේ රටේ බහුතරයක් කළ එකම උපකාරය මේ ආකාරයේ වහසි බස් දෙඩීම හා සමාජ ජාලා වීරයින් සේ අසත්‍ය තොරතුරු සමාජ ගත කිරීම පමණි. අපට සෑම දිනකම පහර දීම පමණි. අඩුම වශයෙන් අභ්‍යවකාශයේ සෙවීම කෙසේ වුවත් පල්ලෙකැලේ ට ගොස් මෙම වටිනා සම්පත නැරඹීමට තරම් වත් කිසිම දේශපාලනඥයෙක් උනන්දු නොවිය.   

ඔබ YOUTUBE වෙත ගොස් පරීක්ෂා කළහොත් එහි දර්ශන හා ක්‍රියාකාරීත්වය දැක ගැනීමට හැකියාව ඇත. එය එසේ හෝ අධ්‍යයනය කිරීමෙන් යම් ධනාත්මක අවබෝධයක් ඔබට ලබා ගත හැකි වනු ඇත.

අපි සැමවිටම එක් ප්‍රතිපත්තියක් මත පිහිටා කටයුතු කළෙමු. ඉදිරියටත් කරන්නෙමු, එනම් අනුවනයින් නන් දොඩන කල ඊට පිළිතුරු බැඳීමට වටිනා කාලය කැප නොකොට හරවත් ඵලදායි යමක් රටට හා ජනතාවට හිමිකර දීමට කැපවී වැඩ කිරීම මගින් සාර්ථක ප්‍රති ඵලයක ආශ්වාදය විඳ ගැනීමට ජාතියට හැකියාව ලැබෙන බවයි. 

නමුත් වසර 11කට පසුත් අද මෙවන් සාවද්‍ය කරුණු සමාජ ගත කරන්නට තරම් පටු දැක්මක් ඇති මිනිසුන් සිටින බව තේරුම්ගත් අපි මෙසේ නිල වශයෙන් අපගේ කාර්‍ය හා ව්‍යාපාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සිතුවෙමු. අද රට මෙවන් අගාධයකට පත්ව ඇත්තේත් තාක්ෂණික නිවැරදි කරුණු පදනම්ව තීරණ ගන්නවා වෙනුවට ඕපාදූප විශ්වාස කොට කල්ලි කණ්ඩායම් පතුරවන අසත්‍ය ප්‍රචාර වලට මුලාවී කටයුතු කිරීමට යාම නිසාමය. දැන්වත් මෙහි අවසානයක් තිබිය යුතුය. අසත්‍ය පතුරවන්නන්ට වැට බැඳිය යුතුය. නැතිනම් වන්නේ අප වූවාක් මෙන්ම අපගේ අනෙකුත් සහෝදර දේශීය ව්‍යවසායකයින් සහ අනාගත පරම්පරාවන් ද මෙවන් අවාසනාවන්ත ඉරණමකට මුහුණ දීම නිසා රටට අත්වන්නට ඇති සුබදායී ආර්ථික ප්‍රතිලාභ තව තවත් අහිමිවීම පමණි. 

ඔබ ශ්‍රී ලංකාවට සැබවින්ම ආදරය කරන්නේ නම්, රට ගැන සෑබෑ වේදනාවක් ඇත්නම් හා රටේ හෙට පරපුරට යහපතක් වනවා දකින්න කැමති නම් ඕපාදූප පතුරවා රට අගාධයට යවනවා වෙනුවට, ඕනෑම කතාවක් සමාජයට ප්‍රචාරය කිරීමට පෙර නිසි කරුණු සොයා බලන ලෙස සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ග්ස් ආයතනය ඉල්ලා සිටි.



ස්තුතියි
සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් - මහජන සම්බන්ධතා අංශය
වැඩිදුර තොරතුරු විමසීමට -  (+94 11 2 434 000)


JW

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්