13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ක්‍රියාත්මක ඉඩම් හා පොලිස් බලතල හැරුණුකොට

අනෙක් සියලුම බලතල පළාත් සභාවලට දියයුතු බවට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ ස්ථාවරය වී තිබෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

අමාත්‍යවරයා අවධාරණය කරන්නේ තමන් පළාත් මහ ඇමතිවරයකු ලෙස කටයුතු කළේද 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසාවෙන් බවයි.  

දැනටමත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක බවද ඔහු පැවසීය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක “ඔබට ගෙයක් - රටට හෙටක්”  නිවාස වැඩසටහන යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ නිවාස ලාභීන්ට සින්නක්කර ඔප්පු හා නිවාස ණය බෙදාදීමේ අවස්ථාවට එක්වෙමින් අද (1) අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති එම උත්සවයේදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙසේද පැවසීය.


''මම හැමදාම හිටියේ පරිපාලන බලතල පළාත් සභාවට දියයුතුය කියන ස්ථාවරයේ''

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශො‍්ධනය ගැන අද රටේ කතිකාවතක් ඇති වෙලා තිබෙනවා. රටේ හැම දේශපාලන පක්ෂයක්ම කියනවා බලය බෙදන්න කියලා. මම හිටපු මහ ඇමතිවරයෙක්. මම හැමදාම හිටියේ පරිපාලන බලතල පළාත් සභාවට දියයුතුය කියන ස්ථාවරයේයි. කොළඹ ඉඳගෙන අධ්‍යාපන අමාත්‍යධූරයේ කටයුතු කරමින් උතුරු හා නැගෙනහිර පළාත්වල අධ්‍යාපන ගැටළුවලට විසඳුම් දෙන්න බැහැ. නිදහසින් පසුව අවුරුදු ගණනාවක් නොයෙකුත් අත්දැකීම් ලබල තිබෙනවා.

තිස් අවුරුදු යුද්ධය මේ රට ආපස්සට ගෙනිච්චා. මට මතකයි ඒ කාලේ උතුරු හා නැගෙනහිර පළාත්වල දක්ෂ ගුරුවරු බස්නාහිර පළාතේ පාසල්වල වැඩ කළා. මොකද ඒ අයට මේ පළාත්වල වැඩ කරන්න බැරි නිසා. මේ පළාත්වල දරුවන්ට අධ්‍යාපන පහසුකම් තිබුනේ නැහැ. අපිට තිබුණ හෙණය තමයි යුද්ධය. ඒ වගේම 71 අරගලය, 83 කළු ජූලිය, 88/89 භීෂණයත් මේ රට ආපස්සට ගෙනිච්චා. මුහුද ගොඩගැලීම, නායයෑම හා කොවිඩ් වසංගතය වැනි ස්වාභාවික විපත් නිසාත් මේ රට ආපස්සට ගෙනිච්චා. 


අපි රටක් විදියට නැඟී සිටින්නනම් සිංහල, දෙමළ, මුස්ලිම් අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයන් විදියට එකට එක්ව රට ඉදිරියට ගෙනියන්න කටයුතු කරන්න ඕන. අපි මේව කරන්න හදනකොට අන්තවාදීන් කකුලෙන් අදිනවා. සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම අන්තවාදීන් ටික තමන්ගේ දේශපාලන පැවැත්ම උදෙසා රට ඉදිරියට යන එක නවත්වන්න කටයුතු කරනවා.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන දෙයක්. අපි පළාත් මහ ඇමතිවරු විදියට කටයුතු කළේ ඒ හරහායි. නමුත් යුද්ධය නිසා අපි අතර අමනාපකම් ඇති වුණා. ඒ නිසා ඉඩම් හා පොලිස් බලතල පළාත්සභාවලට දෙන්න අකමැති වුණා. ඉඩම් හා පොලිස් බලතල පැත්තකට දාල අනික් පරිපාලන බලතල දෙන්න ඕන කියල රජයක් විදියට ස්ථාවරයක හිටියා. නමුත් උතුරේ සමහර දේශපාලන පක්ෂ නායකයන් ඉල්ලන්නේ ඉඩම් හා පොලිස් බලතලයි. ඒ දෙක නැතුව අනෙක් පරිපාලන බලතල අනවශ්‍ය බව ඔවුන් කියනවා. මේ නිසා කොයි පැත්තෙන් ගියත් රජය අපහසුතාවයට පත්වෙනවා.


ආණ්ඩුව ගන්න තීන්දු ජනප්‍රිය ඒව නෙවෙයි. අපි ගන්න තීන්දුවලින් සමහරු සංතෝෂ වෙන්නෙ නැහැ. ඒ නිසා විකල්පයන් හොයනවා. නමුත් ඉඩම් හා පොලිස් බලතල හැරුණුකොට අනෙක් සියලුම බලතල පළාත් සභාවලට දියයුතු බවට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ ස්ථාවරය වී තිබෙනවා. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් රටේ කතිකාවතක් ඇතිවෙලා තිබෙන්නේ ඒ නිසයි. ඒක දැනටත් ක්‍රියාත්මකයි. ඒ නිසා 13 එපා කියනවානම් ඒ සංශෝධනය ව්‍යවස්ථාවෙන්ම ගලවල අයින්කරන්න ඕන.
 


බෞද්ධ - හින්දු ආගම් අතර අර්බුද ඇති කරන්න හදනවා...

උතුරු පළාතේ සිංහල ජනතාවට සාධාරණයක් තිබෙන්න ඕන. වැල්ලවත්තේ, දෙහිවල ඇතුළු දකුණු පළාතේ දෙමළ ජනතාව සිංහල මිනිස්සු එක්ක සුහදව කටයුතු කරනවා. කොළඹ මුස්ලිම් ජනතාවත් සුහදව කටයුතු කරනවා. සිංහල, දෙමළ, මුස්ලිම් අපි එකතුවුනොත් රටක් විදියට අපිට හොඳ ගමනක් යන්න පුළුවන්. මම මෙහෙම කිව්වම මට ගහවි. හැබැයි මේව ගැන කතාකරන්න ඕන. රට ගැන හිතල අපි තීන්දු ගන්නකොට කවුරු හරි විරුද්ධ වෙනවා.

පාස්කු ප්‍රහාරය ගැන කිසිම ආගමික නායකයෙක් එකඟ නැහැ. ඒක අන්තවාදීන්ගෙ වැඩක්. දැන් ආණ්ඩුව ශක්තිමත්ව කටයුතු කරනකොට සමහරු බෞද්ධ - හින්දු ආගම් අතර අර්බුද ඇති කරන්න හදනවා. ඒ නිසා අපි මේව ගැන බුද්ධිමත්ව කටයුතු කරන්න ඕන. ‍මේව ගැන කතා කරන්න ඕන.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්