පැහැරගැනීමට ලක් වූ බව කියන කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනී ගානියර් බැනිස්ටර් ෆ්‍රැන්සිස් යන අයගේ දුරකතන වාර්තා සම්බන්ධයෙන් ඊයේ (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කිරීමේදී, එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයකු වන ලේක්හවුස් ආයතනයේ හා හිල්ටන් ආයතනයේ හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ ගේ නමද සඳහන් කර තිබිණ.

ඒ, මෙම දුරකතන විශ්ලේෂණ වාර්තා අනුව වැඩ තහනමට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරී පොලිස් පරීක්ෂක නිශාන්ත, ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ සහ සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ දර්ශියා බැස්ටියන් යන අය සම්බන්ධ වී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු අනාවරණය කරමිනි.

එහිදී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්ට අයත් ජංගම දුරකථනය විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීමට රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

මෙම කාන්තාව ස්විට්සර්ලන්ත තානාපති කාර්‍යාලයේ සේවය කරන බැවින් ඇයගේ ජංගම දුරකථනය තානාපති වරප්‍රසාද සම්බන්ධයෙන් ඇති වියානා සම්මුති පනතේ 38(2) වගන්තිය අනුව පරික්ෂාවට ලක්කළ නොහැකි බව විත්ති පාර්ශ්වයේ නීතිඥ උපුල් කුමාරප්පෙරුම පවසා සිටියේය. 

කෙසේවෙතත් රජයේ ජේෂ්ඨ නීතිඥවරයා පවසා සිටියේ රස පරික්ෂකවරයා වෙත ජංගම දුරකථනය යොමු කරන්නෙ විමර්ශන වලට අදාළව තොරතුරු ලබා ගැනීමට බවයි. 

කෙසේවෙතත් මහේස්ත්‍රාත්වරිය අවධාරණය කර සිටියේ, වියානා සම්මුති පනතේ 38(2) වගන්තිය අනුව මෙරට රාජ්‍ය පිළිගනු ලබන වරප්‍රසාද පමණක් මෙම කාන්තාවට හිමි වන බවත්, ඒ අනුව අපරාධ නඩුව විමර්ශන සදහා ඇයගේ ජංගම දුරකථනය පරික්ෂා කිරීමට මෙම පනතේ ප්‍රතිපාදන බාධාවක් නොවන බවයි.

මේ අතර මෙම ජංගම දුරකථනය පරික්ෂා කිරීමේ දී ස්විට්සර්ලන්ත දූත මණ්ඩල කාර්‍යන් වලට මැදිහත් නොවන ආකාරයට විස්තර ලබා ගෙන රහස්‍ය වාර්තාවක් ලෙසට අධිකරණයට විශ්ලේෂණ වාර්තාව ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය රස පරික්ෂකවරයාට නියෝග කළාය. 


ක්‍රිෂාන්ත කුරේ හා සැකකාරිය අතර ගනුදෙනුවක් තිබී නැහැ :

මේ අතර ලක්නා පරණමාන්න නැමැත්තිය නමින් ඇති දුරකථන සිම්පතක් භාවිත කරමින් පසුගිය නොවැම්බර් මස 19 සහ නොවැම්බර් 30 අතර තුළ දර්ශියා බැස්ටියන් විසින් දැනට ස්විස්ටර්ලන්තයට පළාගොස් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා සහ ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේට ඇමතුම් ලබාගෙන තිබෙන බවත්, එම කාලසීමාව තුළ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා සහ රහස් පොලිසිය හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර අතරත් දුරකතන ඇමතුම් ගණනාවක් හුවමාරු වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියේය.

කෙසේවුවද ගානියර්ගේ දුරකතන වාර්තා ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දැක්වීමේදී ක්‍රිෂාන්ත කුරේ කිසිඳු අවස්ථාවක ගානියර් බැනිස්ටර් ෆ්‍රැන්සිස්ට ඇමතුම් ලබාදී ඇති බවක් සඳහන් කර නොමැත.
 
Kure 2020
 


එසේ වුවද ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපති වන ක්‍රිෂාන්ත කුරේ විසින් එම ආයතනයෙන් ප්‍රකාශයට පත්කරන 'සන්ඩේ ඔබ්සවර්' පුවත්පතේ ප්‍රධාන හිටපු කර්තෘ දර්ශියා බැස්ටියන්ට දුරකථන ඇමතුම් ලබාදී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

දරීෂා බැස්ටියන් සහ ක්‍රිෂාන්ත කුරේ මේ වන විට විදේශ ගත වී ඇති බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. වැඩිදුර මහේස්ත්‍රාත් පරික්ෂණය පෙබරවාරි මස 11 දා ට කල් තබන ලැබිය.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ලක්මිණී ගිරිහාගම මෙනවිය සමග ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර පෙනී සිටි අතර සැකකාරිය වෙනුවෙන් නීතිඥ උපුල් කුමාරප්පෙරුම සමග නීතිඥ සුදර්ශන ගුණවර්ධන පෙනී සිටියේය.

තමා සුදු පැහැති වාහනයකින් පැහැර ගැනීමට ලක්වූ බවට පවසමින් රජය අපහසුතාවට පත් කිරීමට කටයුතු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටි ගානියර් බැනිස්ටර් ෆ්‍රැන්සිස් යන කාන්තාව මේ වන විට ඇප මත මුදාහැර ඇත.  

'ලේක් හවුස්' ආයතනයේ සේවය කළ සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනි දරීෂා බැස්ටියන් සිය ට්විටර් ගිණුම හරහා වත්මන් ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කරන තැනැත්තියක ලෙස රාජ්‍ය බුද්ධි සේවා විසින් හඳුනා ගෙන ඇතැයි වාර්තාවේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්