මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ඖෂධ හිඟය, ඖෂධ සංකූලතා වැනි ප්‍රශ්න ගොන්නට අලුතින්ම එකව ඇති මාතෘකාව වන්නේ අක්ෂිකාච හිඟයයි. 

මෙම කතාබහ මතුවන්නේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාස භාංග යෝජනාව අද (සැප්තැම්බර් 06 වැනිදා) සිට විවාදයට ගැනීමට නියමිතව තිබියදීය.

මෙරට රෝහල් පද්ධතිය තුළ අක්ෂි කාච සැත්කම් සාමාන්‍ය පරිදි සිදුවන බවත් ඒ සඳහා කිසිදු අවදානම් තත්ත්වයක් නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

කෙසේවෙතත් මෙරට රෝහල්වල ඇති ඖෂධ හා උපකරණ පිළිබඳ දත්ත ඇතුලත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ස්වස්ථ පද්ධතියේ (සැප්තැම්බර් 05 වැනිදා) පස්වරු 5 වන විටත් සඳහන් වුයේ අක්ෂිකාච නොමැති බවය.

Screenshot 2023 09 06 at 10.21.59

සෞඛ්‍ය වෘත්තීය සමිතිවලට අනුව මෙරට රෝහල්වලට මසකට අවශ්‍ය කෙරෙන අක්ෂි කාච ප්‍රමාණය 15000කි.

එහෙත් නිල දත්තවලට අනුව අක්ෂිකාච තොග ප්‍රමාණය බොහෝ සෙයින් අඩුවී ඇති බව වෘත්තීය සමිති පෙන්වා දෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය කාර්යක්ෂම නම් මසකට අවශ්‍ය අක්ෂි කාච සාමාන්‍ය මිල දී ගැනීම යටතේ සැපයිය යුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් බීබීසී සිංහල වෙත පැවසීය.

අක්ෂි කාච හිඟයක් නැති බව හෝ අඩුපාඩුවකින් තොරව සපයන බව පමණක් ප්‍රකාශ කොට සෞඛ්‍ය අමාත්‍යාංශයට 'ගැලවිය නොහැකි බව' ඔහු සඳහන් කළේය.

එසේම 'සෞඛ්‍ය අමාත්‍යාංශය නිවැරදි නම්, මසකට අවශ්‍ය අක්ෂි කාච 15,000ක ප්‍රමාණය, සාමාන්‍ය මිලදී ගැනීම යටතේ ලබා දිය හැකි බව තහවුරු කිරීමට වෛද්‍ය සැපයීම් අංශයට හැකියාව තිබිය යුතු බවත් ඔහු අවධාරණය කරයි.

මසකට රජයට සිදුවන පාඩුව මිලියන 200ක් ද?

සමාන්‍ය මිල දී ගැනීමට වඩා රුපියල් මිලියන 200ක් පමණ මසකට වැය කරමින්, අක්ෂි කාච සැපයීම සාමාන්‍ය තත්ත්වයක් නොවන නිසා, එමන් රජයට පාඩුවන මුදල පිළිබඳව වග කිව යුත්තෙක් සිටිය යුතු අතර, ටෙන්ඩර් නැවත නැවත අවලංගු කිරීම හරහා හදිසි මිලදී ගැනීමට පෙළඹවීම හේතුවෙන් ඇතිවන මුදල් නාස්තිය, මෛරට සෞඛ්‍ය සේවාව ආරාජික වීමට ප්‍රධාන හේතුවක් වන බැවින්, මෙවන් තත්වයක් ඇතිවීම සුළුකොට තැකීම නොකළ යුතු බවද වෘත්තීය සමිති අවධාරණය කරයි.

මෙම අක්ෂි කාච සාමාන්‍ය මිලදී ගැනීමේදී රුපියල් 8000 සිට 9500 දක්වා අඩු මුදලකට ලබා ගත හැකි අතර, කළමනාකරණ දෝෂ හේතුවෙන් එය 'හදිසි මිලදී ගැනීමක්' ලෙස සිදු කරණු ලැබුවහොත්, එම අක්ෂි කාචවල මිල රුපියල් 20,000 සිට රුපියල් 30,000 අධික මිලකට ලබා ගැනීමට සිදුවන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කළේය.

ඒ අනුව හදිසි මිලදී ගැනීම හේතුවෙන්, එක් අක්ෂි කාචයකින් රජයට අහිමි විය හැකි මුදල රුපියල් 12,000 සිට රු. 20,000 දක්වා ප්‍රමාණයකි. රජයේ රෝහල් සේවාව සඳහා මසකට අක්ෂි කාච 15,000ක පමණ ප්‍රමාණයක් අවශ්‍ය වන අතර, ඊට අදාලව මසකට රජය අහිමි කර ගන්නා මුදල රුපියල් මිලියන 200ත් 300ත් අතර බව ඔහු පෙන්වා දෙයි.

සෞඛ්‍ය අමාත්‍යංශය කියන්නේ කුමක්ද?

මෙරට රෝහල් පද්ධතිය තුළ අක්ෂි කාච සැත්කම් සාමාන්‍ය පරිදි සිදුවන බවත් ඒ සඳහා කිසිදු අවදානම් තත්ත්වයක් නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ලබන නොවැම්බර් මාසය දක්වා අවශ්‍ය අක්ෂි කාච වෛද්‍ය සැපයීම් අංශය මගින් මෙරට රෝහල් සඳහා බෙදා හැර ඇති බව වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක සෞඛ්‍ය අමාත්‍යංශය සංවිධාන කළ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

එම තත්ත්වය තුළ අක්ෂි කාච වල හිඟයක් මෙරට රෝහල් පද්ධතිය තුළ නොමැති බවත් අවශ්‍ය සැත්කම් සාමාන්‍ය පරිදි මේ වන විට සිදුවෙමින් පවතින බවත් ඔහු පෙන්වා දෙයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අධ්‍යක්ෂවරයා, පසුගිය මැයි මාසයේ වෛද්‍ය සැපයීම් අංශය මගින් මාස 6 ක අවශ්‍යතාවය සඳහා අවශ්‍ය අක්ෂි කාච රෝහල් වෙත බෙදාහැර ඇතැයි සදහන් කළේය.

දිවයින පුරා රෝහල්වල මාසයකට 10,000 ක පමණ කැට්රැක්ස් ශල්‍යකර්ම (cataracts surgery) සිදු කරන බවත්, වාර්ෂික අවශ්‍යතාවය ලක්ෂයක් වන බවත් ඔහු පැවසීය.

හෙතෙම වැඩිදුරටත් පැවසුවේ අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන් සිටින සියලු මූලික රෝහල්වල සිට ප්‍රධාන රෝහල් දක්වා මැයි මාසයේදී මාස 06ක පමණ අවශ්‍යතාවය වෛද්‍ය සැපයුම් අංශය වෙත ලබාගෙන, වෛද්‍ය සැපයුම් අංශය මගින් එම රෝහල්වලට බෙදා හැර ඇති බවය.

Screenshot 2023 09 06 at 10.25.02
දැනටමත් නොවැම්බර් මාසය දක්වා මෙම රෝහල්වල අක්ෂිකාච ප්‍රමාණවත්ව තිබෙන බවත්, ඉදිරි මාස දෙකකට අවශ්‍ය ප්‍රමාණය වෛද්‍ය සැපයුම් අංශය සතුව තිබෙන බවත්, ආසියානු සංවර්ධන බැංකුව හරහා මාස හයක අවශ්‍යතාවය දැනමත් ලැබී ඇති බවත් ඒවා රෝහල් වෙත දැනටමත් බෙදා හැර ඇති බවත් වෛද්‍ය කපිල වික්‍රමනායක පැවසීය.

අක්ෂි කාච විශාල පරාසයක් සහිත වන අතර ශ්‍රී ලංකාව තුළ දැනට ප්‍රධාන වශයෙන් භාවිතා වන්නේ 18.5 සිට 26 දක්වා පරාසයක කාචය.

එම ප්‍රමාණයන්ගෙන් අක්ෂි කාච දැනට ඕනෑම රෝහලක ඇති බවත් කුමන හෝ රෝහලක අඩු පාඩුවක් සිදුවී තිබේ නම් වෛද්‍ය සැපයුම් අංශය මගින් ලබාගත හැකි බවත් ඔහු පැවැසීය. ඒ අනුව දැනට අක්ෂි කාච හිඟයක් හේතුවෙන් කිසිදු රෝහලක අක්ෂි කාච සැත්කම් නැවතී නොමැති බව ඔහු අවධාරණය කළේය.

රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනුෂ දසනායක කියා සිටියේ, වෛද්‍ය සැපයීම් අංශයට අවශ්‍ය අක්ෂිකාච මිලදී ගෙන සැපයීමේ වගකීම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පැවරී තිබෙන බවය.

පවතින තොග වලට අමතරව ඉදිරි අවශ්‍යතා සදහා ඇනවුම් දෙකක් මේ වන විටත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් සැපයුම්කරුවන්ට නිකුත් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

විවිධ අක්ෂි කාච වර්ග 11 ක් සදහා මිල ගණන් කැඳවා ඒ කැඳවු මිල ගණන් තාක්ෂණික ඇගයීම් වලට ලක්කර දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුවට ඉදිරිපත් කර තිබේ.

දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව විසින් අවශ්‍ය තීරණ ගත් පසු එම අයිතම සදහා ඇනවුම් ලබා දීමේ හැකියාව පවතින බවද දිනුෂ දසනායක පැවසීය.

තවත් අයිතම දෙකක් අමාත්‍ය මණ්ඩලය පත් කළ ප්‍රසම්පාදන කමිටුව හමුවට යොමු කල බවද සියලු ප්‍රසම්පාදන මුලික කටයුතු හා තාක්ෂණික ඇගයීම් කටයුතු අවසන් කර සැප්තැම්බර් 6 දින රැස්වන ඉදිරි ප්‍රසම්පාදන කමිටුවට ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය. ඒ සම්බන්ධව තීන්දු තීරණ ලැබුණු පසු ඇනවුම් කිරීමේ හැකියාව පවතින බවත් දැනට පවතින තොග තත්ත්වයන් යටතේ, ඉදිරියට ලැබීමට පෙළගැසී තිබෙන තොග අනුවත් අක්ෂි කාච වල හිඟයක් ඇතිවීමට කිසිසේත්ම ඉඩක් නැතිබව ඔහු වැඩිදුරටත් පැවසීය.

“ටෙන්ඩරයක් අවලංගු කලාම හිඟයක් නැත්නම් ටෙන්ඩර් කැඳවලා තියෙන්නේ අවශ්‍යතාවක් නැතිව”

“ලෙන්සස් තියෙනවද නැද්ද කියන එක එක් කාරණාවක්. ලෙන්සස් තියෙන්නේ සාමාන්‍ය මිලදී ගැනීම යටතේද? ලෝකල් පර්චස් යටතේද? ලෝකල් පර්චස් යටතේ නම් මිලියන 200ක් ආණ්ඩුවට පාඩු කරලා තියෙනවා. මිනිස්සුන්ට කාච තිබ්බාට පාඩුවක් වෙලා තියෙනවා.”

ඔහු අවධාරණය කළේ, "ඉතා පැහැදිලිව අපි දන්නවා ටෙන්ඩර් එකක් නවත්තලා තියෙනවා.ඒ ටෙන්ඩර්ය කැඳවලා තියෙන්නේ අවශ්‍යතාවට නම්, අවශ්‍යතාවට කැඳවපු ටෙන්ඩරය නවැත්තුවාම හිඟයක් තියෙන්න ඕනේ. දැන් ඒ ටෙන්ඩරය නැවැත්තුවම හිඟයක් නැත්නම් ඒ ටෙන්ඩරය කැඳවලා තියෙන්නේ අවශ්‍යතාව නැතිව ඒකත් ප්‍රශ්නයක්.” රවී කුමුදේශ් මෙහිදී චෝදනා කළේය.


(සම්පත් දිසානායක)

BBC සිංහල සේවය



JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්