සිව් වසරකට ඉහත දී සිදු වු පාස්කු සංහාරය සම්බන්ධයෙන් හද කම්පා කරවන තොරතුරු හෙළිදරව් කළ අලුත්ම චැනල් 4 වාර්තා චිත්‍රපටය රට තුල මහත් ආන්දෝලනයක් ඇති කිරීමත් සමඟ,
ශ්‍රී ලංකා රජය ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ එකිනෙකට පරස්පර අදහස් වලිනි.
 
නඩු නැති හැට ගණනක් පාස්කු ප්‍රහාරයට සැකපිට නැවතත් රිමාන්ඩ්
ශ්‍රී ලංකාවේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වන සිය විමර්ශන වාර්තා චිත්‍රපට මාලාවේදී චැනල් 4 කියා සිටින්නේ, ගෝඨාභය බලයට ගෙන ඒම සඳහා අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායමක් වන ජාතික තව්හීද් ජමාත් (NTJ) විසින් මෙම මාරාන්තික ප්‍රහාර මාලාව එල්ල කළ බවයි. එල්ටීටීඊයෙන් (LTTE) බිඳී ගිය අතුරු සන්නද්ධ කල්ලිය වන තමිල් මක්කල් විඩුදලෙයි පුලිගල්  (TMVP) හි හිටපු ප්‍රකාශකයා යැයි හදුන්වා ගන්නා හන්සීර් අසාද් මවුලානාගේ ප්‍රකාශය මෙම වාර්තා චිත්‍රපටයේ පදනම වෙයි.

ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ අතුරුදහන් කිරීම් සහ ඝාතන සම්බන්ධ පරීක්ෂණ මෙහෙයවමින් සිට දෙවැනි රාජපක්ෂ පාලනය සමග රටින් පලාගිය රහස් පොලිසියේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාද චිත්‍රපටයේ කරුණු දක්වයි.
 
 
මෙම වාර්තා චිත්‍රපටය පිළිබඳව කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කළ අතර විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිළිබදව දැනුවත් කිරීම ඉදිරියේදී  සිදු කරනු ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. “ජාත්‍යන්තර වශයෙනුත් අවශ්‍ය වෙනවානම් ඒ සදහා ඒ පරීක්ෂණ කටයුතු කරන්න රජයක් විදිහට ඒ ඉල්ලීම අපි ඊයේ දවසේදී කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කළා,” යැයි ඔහු පැවසීය.
 
එහෙම කතාවක් කිවේ නැහැ - කැබිනට් ප්‍රකාශක 

කෙසේ වෙතත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක - ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසන්නේ වෙනත් කථාවකි. කැබිනට් මාධ්‍ය හමුවේදී ඔහු කියා සිටියේ එවැන්නක් පිළිබඳව සාකච්ඡා නොකළ බවයි.

"නෑ. මේ පිළිබද කැබිනට් මණ්ඩලයේ දී ඊයේ සාකච්ඡාවක් ඇති උනේ නැහැ. නමුත් අද දින පාර්ලිමේන්තුවේ දී ගරු මන්ත්‍රීතුමෙක් මේ පිළිබද ප්‍රශ්නය මතුකරා.” අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.
 
.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තුවේදී කියා සිටියේ, ජනාධිපතිවරයා ‘කමිටුවක් පත් කිරීමට’ සැලසුම් කරන බවයි.
 
 
නමුත් ඔවුන් එක හඬින් ඉදිරිපත් කළ එක් චෝදනාවක් තිබේ. ඒ, චැනල් 4 නාලිකාව ‘ජිනිවා මානව හිමිකම් කවුන්සලය රැස්වෙන කාලෙට මෙවැනි විඩියෝ නිරන්තරයෙන්ම නිකුත් කරන’ බවයි.
 
 sivanesathurai chandrakanthan
පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්
 
වාර්තා චිත්‍රපටියේ ප්‍රධාන කථකයාගේ චෝදනාවට ලක් ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ඉල්ලා සිටියේ අදාළ චිත්‍රපටය පමණක් නොව ඒ ගැන වාර්තා කළ දේශීය ජනමාධ්‍ය ද විමර්ශනය කරන ලෙසයි. 

මේ අතර විපක්ෂ නායකයා ජාත්‍යන්තර මාධ්‍ය විසින් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටීම පිළිබදව ශ්‍රී ලංකාව ලැජ්ජා විය යුතු බවයි.

“ලැජ්ජයි ගරු කථානායකතුමනි, මේ පිටරට ඉන්වෙස්ටිගේෂන් එකකින්, මේ පිටරට මාධ්‍යයකින් අපේ රටේ බලධාරීන්ට කියන්න ඕනෙද පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් හොයන්න, පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් හොයන්න? මේ රටේ පාලකයන්ට හිතක් පපුවක් නැද්ද සත්‍ය හොයන්න?... මම කියනවා මේ රටේ පරීක්ෂණ කළා විසඳන්න බැහැ. මේකට ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි.” සජිත් ප්‍රේමදාස පැවසීය.
 
 
 
මේ අතර, අභ්‍යන්තර පරීක්ෂණයක් පිළිබදව තමන්ට පවතින අවිශ්වාසය පළ කරමින්, කතෝලික සභාවද ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා තිබේ. වාර්තා චිත්‍රපටිය විකාශය කිරීමෙන් අනතුරුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් පවසන්නේ, “එවැනි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් කරන්න යන්නේ වාර්තාවක් ඉදිරිපත් කිරීම විතරක් නම්, එයින් ප්‍රත්‍යක්ෂ සහ විශ්වාසනීය ප්‍රතිඵල මතුවිය නොහැකි” බවයි.
 
 
ස්වාධීන විමර්ශන කණ්ඩායමක් හරහා පරීක්ෂණ පැවැත්විය යුතු බවට ඔහු ඉල්ලා සිටී.

"චැනල් 4 නාලිකාව සිය වැඩසටහනෙන් හෙළිදරව් කළ දේ, එම ඛේදවාචකය පිටුපස ඇති බවට චෝදනා කෙරෙන කුමන්ත්‍රණය ඇතුළු සියලු කරුණු කාරණා පිළිබඳ නිදහස්, අපක්ෂපාතී, සාධාරණ, විනිවිදභාවයෙන් යුත් පුළුල් විමර්ශනයක් මෙන්ම එම වැඩසටහනේ සඳහන් වූ පුද්ගලයන් පිළිබඳවද, විශේෂයෙන්ම මෙම සමූහ ඝාතනයට අදාලව ඔවුන්ගේ භූමිකාව කුමක්ද යන්න පිළිබඳවද අධ්‍යයනයක් කළ යුතුය"
 


පවත්වනු ලබන ඉදිරි පරීක්ෂණයකට තමන් සතු සාක්ෂි ලබාදෙන ලෙසද කාදිනල් රංජිත් පොලිස් සහ බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකාව තුළ පවතින අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා සහ ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා වන ඉල්ලීමට අමතරව, මෙම වාර්තා චිත්‍රපටය විසින් ශ්‍රී ලංකාව තුළ සහ ඉන් පිටත දැඩි කම්පනයක් ඇති කර තිබෙන වාර්තා චිත්‍රපටියේ දී "වැරදිකාරයො කවුද, ඒක සංවිධානය කළේ කාගේ මිනිස්සුද, කාගේ නියෝගයක්ද කියන ඇත්ත මං දැනං හිටියා," අසාද් මවුලානා සඳහන් කරයි.
 
 
ගෝඨාභය රාජපක්ෂගේ නියෝගයකට අනුව රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක තුවාන් සුරේෂ් සලේ හරහා මෙම ප්‍රහාරය සම්පූර්ණයෙන්ම සැලසුම් කළ බවට සාක්ෂි ඇති බව වාර්තා චිත්‍රපටයේ වැඩිදුරටත් සඳහන් වේ.
 
 
සමාජ මාධ්‍ය අමතමින් විධායක නිෂ්පාදක බෙන් ඩි පියර් “එක් පවුලක රාජවංශය නැවත බලයට ගෙන ඒමට මිනිස්සු 269 ක් ඝාතනය කළාද?” යනුවෙන් ප්‍රශ්න කරයි.

කෙසේ වෙතත්, මේජර් ජෙනරාල් සලේ විසින් එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.
 
තමන්ටත් දරුවන්ටත් විශාල තර්ජනයක්' - බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ
 
රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක තුවාන් සුරේෂ් සලේ
 
ගෝඨාභය රාජපක්ෂ සමග අසාද් මවුලානා සහ ඔහුගේ නායක වත්මන් ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයකුද වන පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් අතර හමුවකදී, ‘ට්‍රිපොලි ප්ලැටූන්’ නමින් සන්නද්ධ ඝාතක කල්ලියක් පිහිටුවන ලෙස එවකට ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය ඔවුන්ගෙන් ඉල්ලා සිටි බව චැනල් 4 වාර්තා කරයි.

"ට්‍රිපොලි ප්ලැටූන් එක ක්‍රියාත්මක උනේ ගෝඨාභය ගේ සෘජු අණ යටතේ" යි අසාද් මවුලානා පවසයි.

මිනීමැරුම් චෝදනා මත සිරගතව සිටින අතරතුර පිල්ලෙයාන් විසින් අසාද් මවුලානා අමතා, තමන් සමඟ බන්ධනාගාරයේ සිටින මුස්ලිම් අන්තවාදීන් කිහිප දෙනකු හමුවීමට ඔහුට උපදෙස් දුන් බවත් එහිදී පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චූදිත මරාගෙන මැරෙන බෝම්බකාර සහරාන්ගේ සහෝදරයා වන සයිනී මවුලවි හමුවූ බවත් වාර්තා චිත්‍රපටයේ සඳහන් වේ. මෙම වාර්තා චිත්‍රපටයට අනුව, පසුව ඔවුන් බන්ධනාගාරයෙන් නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු ඔහු සංවිධානය කර තිබේ.

“2018 ජනවාරි මාසෙ පිල්ලෙයාන් මට කිව්වා, සුරේෂ් සලේ සහ මේ අය අතර රැස්වීමක් සංවිධානය කරන්න කියලා,” මවුලානා ප්‍රකාශ කරයි. පිල්ලෙයාන්ගේ ඉල්ලීම පරිදි සුරේෂ් සලේ සහ ඔහු බන්ධනාගාරයෙන් නිදහස් කිරීමට උදව් කළ පිරිස අතර හමුවක් සංවිධානය කළ බව මවුලානා එක්සත් ජාතීන්ගේ විමර්ශකයන්ට පැවසූ බව එහි වැඩිදුරටත් සඳහන් වේ. ඔහු කරඩිපුවල් නම් ස්ථානයක මෙම රැස්වීම සංවිධානය කර තිබේ. "ඒකයි මම හැමදේම දැනගෙන හිටියේ".

අසාද් මවුලානාගේ සාක්ෂියට අනුව සයිනී මවුලවී ඔහුගේ සහෝදරයා වන සහරාන් සහ තවත් හතර දෙනෙකු සමඟ එම රැස්වීමට පැමිණ ඇත.

"මම ඒ ගොල්ලන්ව සලේට අඳුන්නලා දුන්නා".

මෙම රැස්වීම පැය තුනක් තිබී ඇති අතර ඔහුට පිටත රැඳී සිටින ලෙස ඉල්ලා සිටි බව මවුලානා එක්සත් ජාතීන්ගේ විමර්ශකයන්ට පැවසුවේ යැයි වාර්තා චිත්‍රපටයේ සඳහන් වේ.
 
 
“රැස්වීම ඉවර වුනාට පස්සෙ සුරේෂ් සලේ මට කිව්වේ රාජපක්ෂලාට ශ්‍රී ලංකාව ඇතුලෙ අනාරක්ෂිත තත්ත්වයක් අවශ්‍යයි කියල. ඒක තමයි ගෝඨාභයට ජනාධිපති වෙන්න පුළුවන් එකම විදිය. ත්‍රස්තවාදී කණ්ඩායමයි සහ සුරේෂ් සලේයි තිබුණු රැස්වීම ඕක තමයි."
 
 
ඉහළ පෙළේ රජයේ නිලධාරියකු ලෙස හඳුන්වනු ලැබූ  අනන්‍යතාවය හෙළි නොකළ අයකු වැඩසටහනට සම්බන්ධ වෙමින් පැවසුවේ “ගෝඨාභය  රාජපක්ෂ සුරේෂ් සලේව පාලනය කළා. එයාට ඉතා ලේසියෙන්  තානාන්තරවල ඉහලට යන්න පුලුවන් වුනේ ඒකයි. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රශ්න වලට මිනිහා වගකිව යුතුයි," යනුවෙනි.

“මේකට NTJ සම්බන්ධයි කියලා CIDය අනිවාර්යයෙන්ම හොයාගන්න ඉඩ තිබුණා” යනුවෙන් සිය අනන්‍යතාවය හෙළි නොකළ මෙම නිලධාරියා චැනල් 4 වාර්තා චිත්‍රපටයට සම්බන්ධ වෙමින් පැවසීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාව, ජනාධිපති ගෝඨාභය විසින් කිසිදු අවස්ථාවක ප්‍රකාශයට පත් කරන ලද්දේ නැත. නමුත් මෙම වාර්තාව දුටු බව පවසන චැනල් 4 නාලිකාව හෙලිදරව් කරන්නේ, ප්‍රහාරයට වසර ගණනාවකට පෙර සිටම බුද්ධි අංශ විසින් ප්‍රධාන බෝම්බකරු දැන හඳුනා සිටි බවයි.
 
ලසන්ත ඝාතනය කර වසර 14 ක් - ඝාතකයන් නිදැල්ලේ !
 
 
පොලිස් පරීක්ෂක මෙම වැඩසටහනට පවසා තිබුනේ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම නිසා තමන්ට "මරණ බිය" එළැඹි බවයි. දැන් ඔහු ජීවත් වන්නේ විදේශගතවය.
 
 
ලන්ඩනය පදනම් කරගත් ගාඩියන් පුවත්පත මෙම වාර්තා චිත්‍රපටය සම්බන්ධයෙන් කළ සමාලෝචනයේදී එම චෝදනා බියජනක ලෙසින් හඳුන්වා ඇත.

“අභ්‍යන්තර තොරතුරු වමාරන්නකුගේ සාක්ෂි මත පදනම්ව ශ්‍රී ලංකාවේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද අලුත්ම විමර්ශනයකින්, මෙම ප්‍රහාර පිළිබඳ බරපතල නව චෝදනා එල්ල කරයි. මෙම චෝදනා බිය දනවන සුළු වුවත්, ඒවා පැහැදිලිය: චෝදනාව වන්නේ රාජපක්ෂ හිතවාදීන් NTJ සමඟ සම්බන්ධකම් පැවැත්වූ අතර, බෝම්බ ප්‍රහාරයට පෙර එහි නායකයන් අත්අඩංගුවට ගැනීමට හෝ ඉන්පසුව මෙම සමූලඝාතනය සම්පූර්ණයෙන් විමර්ශනයක් සිදු කිරීමට බාධා කළ බවයි."
 
 Ben De Pear.jpg
 
චිත්‍රපටයේ විධායක නිෂ්පාදක බෙන් ද පෙයාර්
 
ශ්‍රී ලංකාව පිළිබඳ නවතම වාර්තා චිත්‍රපටයේ විධායක නිෂ්පාදක බෙන් ද පෙයාර්, 2009 වසරේ යුද්ධයේ අවසන් අදියරේදී දෙමළ ජනයාට එරෙහිව සිදු කරන ලද මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ සිත සසළ කරවන චෝදනා අඩංගු කැලම් මැක්‍රේ ගේ "No Fire Zone: Killing Fields in Sri Lanka" වැඩසටහන විකාශනය කළ චැනල් 4 ප්‍රවෘත්ති අංශයේ එවක ප්‍රධාන සංස්කාරක විය.

2011 දී එලිදැක්වූ මෙම චිත්‍රපටයේ හෙළිදරව් කිරීම් විශ්වාසදායක බවට එක්සත් ජාතීන්ගේ පරීක්ෂණයක් මගින් හදුනා ගන්නා ලදී.

‘No Fire Zone’ චැනල් 4 වාර්තා චිත්‍රපටිය පෙන්වූ සිරකරුවන් නිරුවත් කර, දෑස් බැඳ, අත් බැඳ සොල්දාදුවන් විසින් වෙඩි තබා මරා දමන අයුරු දැක්වෙන දර්ශන සත්‍ය බවට සාක්ෂි ඇති බව 2015 දී ශ්‍රී ලංකා රජය විසින් පත් කරන ලද විනිසුරු මැක්ස්වල් පරණගම ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාවේ දැක්වීය.

එම වාර්තා චිත්‍රපටයේ සිංහල පිටපත මෙතනින්
 


JW



 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්