ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරුන් සහ අමාත්‍යංශ ලේකම්වරුන් අතර බරපතළ රාජකාරිමය ගැටුමක් හටගෙන ඇතැයි වාර්තා වෙයි. 

පසුගියදා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ රාජ්‍ය අමාත්‍යවරුන් තමන්ගේ විෂය භාර අමාත්‍යංශ ලේකම්වරුන් සමඟ තවදුරටත් රාජකාරි කළ නොහැකි බව ප්‍රකාශ කර ඇත. ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරුන් 38 දෙනාගෙන් 35 දෙනෙක්ම මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

මෙහිදී ඇතැම් රාජ්‍ය අමාත්‍යවරුන් තමන්ගේ විෂය භාර අමාත්‍යවරුන් සම්බන්ධයෙන්ද චෝදනාත්මකව අදහස් දැක්වීමට යාමේදී ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් එම තත්ත්වය පාලනය කරගෙන තිබේ. 

මෙම සාකච්ඡාවේදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරුන් අතර සුරේන් රාඝවන්, ඩී.බී. හේරත්, චාමර සම්පත් දසනායක, අරුන්දික ප්‍රනාන්දු, ශාන්ත බණ්ඩාර, ලසන්ත අලගියවන්න ඇතුළු රාජ්‍ය අමාත්‍යවරු රුසක්ම වූහ.

අමාත්‍යංශ ලේකම්වරුන් රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ඉල්ලීම් කිසිවක් ඉටු නොකිරීම, රාජ්‍ය අමාත්‍යවරුන් ගණන් නොගෙන අමාත්‍යවරුන්ගේ නියෝග පමණක් ක්‍රියාත්මක කිරීම, ඔවුනට අවශ්‍ය මූලික පහසුකම්වත් ලබා නොදීම ඇතුළු චෝදනා ගණනාවක්ම අමාත්‍යංශ ලේකම්වරුන්ට එරෙහිව රාජ්‍ය අමාත්‍යවරු ඉදිරිපත් කළහ. 

ඇතැම් දිස්ත්‍රික්කවල පාසල්වලට ළමුන් ඇතුළත් කර ගැනීමට හැක්කේ විපක්ෂ මන්ත්‍රීන්ට පමණක් බවද නම් ගම් සහිතවම රාජ්‍ය අමාත්‍යවරු චෝදනා කළහ. 

මේ ආකාරයට රාජ්‍ය අමාත්‍යවරුන් අමාත්‍යංශ ලේකම්වරුන්ට චෝදනා එල්ල කිරීමෙන් පසුව ඔවුන් ඉල්ලා සිටියේ තමන්ටද විෂයන් කිහිපයක් ගැසට් කර රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරයකු පත්කර මෙම ප්‍රශ්නය නිරාකරණය කර දෙන ලෙසය.

අනතුරුව ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් සහ අගමැති ලේකම්ගෙන් සමන්විත කමිටුවක් හරහා මෙම ප්‍රශ්නය විසඳීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍යවරුනට දැනුම්දී ඇත.

(deshaya.lk)

 
 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්