Voice Referendum : ඕස්ට්‍රේලියාවේ ආදිවාසී ජනයාට වඩා හොඳ අනාගතයක් ලබාදෙමු !


xdgfre

VOICE  ජනමත විචාරණය (Voice Referendum-2023) ඓතිහාසික අවස්ථාවක් ලෙස සළකා, අන් සියළු දෙනාටම මෙන්ම ආදිවාසී ජනයා වෙත වඩා හොඳ අනාගතයක් ලබා දෙන්නට උපකාරී වෙමු යයි 'ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා වූ ඔස්ට්‍රේලියානු සහයෝගිතාව' යෝජනා කර සිටියි.

එම සංවිධානයේ සභාපති ආචාර්ය ලයනල් බෝපගේ සහ ලේකම්, ඇන්ටනි ග්‍රේෂන් ගේ අත්සනින් යුතුව එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ, මාධ්‍ය නිවේදනයක් තුලිනි.

එම නිවේදනය පහත පළවේ.


VOICE ජනමත විචාරණය: අන්තර්ග්‍රාහී, ගෞරව සම්පන්න සහ එක්සත් ඕස්ට්‍රේලියාවක් සඳහා කරන ඇරයුමක්



ඔක්තොම්බර් 14 වෙනිදා පැවැත්වීමට නියමිත VOICE ජනමත විචාරණය අනවශ්‍ය ලෙස දේශපාලනීකරණය කර වුවමනාවෙන්ම භේදකාරී එකක් බවට පත්කරමින් ඇත.

 මුලින්, 2022 ජූලි මස ඕස්ට්‍රේලියානු අගමැතිවරයා මෙම යෝජනාව ඉදිරිපත් කල විට, එයට විශාල අනුමැතියක් සහිතව ද්විපාර්ශ්වික සහයෝගය ලැබෙනු ඇතැයි සිතන ලදි.



2023 අගෝස්තු මස ජනමත විචාරණ දිනය ප්‍රකාශයට පත් කරනු ලැබූ විට, දේශපාලන වටපිටාව බොහෝ සරලකරණය කරන ලද වැරදි නිරූපණයන්, සාවද්‍ය ප්‍රකාශ සහ මවාගත් චෝදනා එල්ල කරනු ලැබීමෙන් දැඩි ලෙස ධ්‍රැවීකරණය කිරීමට පත්ව ඇත.

මූලික වශයෙන්, ජනමත විචාරණය යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ආදිවාසී ඔස්ට්‍රේලියානුවන් පිළිගැනීම සහ ඔවුන්ට බලපාන ගැටළු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ට උපදෙස් දීමට ඔවුන්ව බල ගන්වා ලීම යි. එම ප්‍රස්තුතය ගැන ගැඹුරෙන් පරීක්ෂා කිරීමත්, වාද විවාද කිරීමත් හොඳ දෙයක් වන අතර එය යහපත් ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා අත්‍යවශ්‍ය වේ.



නමුත් සිදුවන්නේ මෙය නොවේ. සම්බන්ධයක් නොමැති කරුණු මත පදනම් වූ වාර්ගික වශයෙන් බර පටවන ලද ප්‍රකාශ විවාදය අභිභවනය කර ඇත. YES වෙනුවෙන් උද්ඝෝෂණය කරන අයට එරෙහිව NO වෙනුවෙන් උද්ඝෝෂණය කරන අය විසින් එල්ල කරනු ලබන ප්‍රහාර වැඩි වැඩියෙන් පුද්ගලික ස්වරූපයක් අත් කර ගෙන තිබෙන අතර වැරදි වැටහීම් බහුල වී ඇත.

එබඳු වැදගත් කරුණක් පිළිබඳව කරන ඕනෑම විවාදයක් පදනම් විය යුත්තේ සැබෑ කරුණු මත මිස අතිශයෝක්ති කියා පෑමෙන් හෝ බිය ගැන්වීමෙන් නොවේ. එසේ නොවුවහොත්, සංහිඳියාව කරා යන ගමන වෙනුවෙන් වසර 15 කට වැඩි කාලයක් තිස්සේ සලකා බලන ලද උත්සාහයන් මුළුමණින් පීලි පැනීමට ලක් විය හැකිය.

YES


YES ව්‍යාපාරයට එරෙහිව මතු කරනු ලබන ප්‍රධාන කරුණු වන්නේ:

1. VOICE ප්‍රස්තුතය බෙදීමට හේතු වේ:

කණගාටුදායක මෙන්, NO ප්‍රචාරකයින් හිතාමතාම බෙදීම් ඇති කරවන බව වැඩි වැඩියෙන් පෙනෙන්නට තිබේ. වසර 15 ක් තිස්සේ සිය ගණනක් වැඩිහිටියන් මෙන්ම ආදි වාසී ජනයාගේ නායකයන් සමඟ පවත්වන ලද ඉවසිලිවන්ත සහ කල්පනාකාරී ලෙස කරන ලද සාකච්ඡාවලින් පසුව, YES උද්ඝෝෂකයෝ සරල ලෙසම, සමාජ ආර්ථික විෂමතා ආමන්ත්‍රණය කරන්නටත් ඕස්ට්‍රේලියාව වඩා ශක්තිමත් සහ වඩා එක්සේසත් කරන්නටත් ව්‍යවස්ථාමය වෙනස්කම් සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ඉල්ලා ඇත.

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය වෙනස් කිරීම 1967 ජනමත විචාරණය මගින් ඉවත් කරන ලද බවට NO වෙනුවෙන් උද්ඝෝෂනය කරන අය විසින් ව්‍යාජ ලෙස ප්‍රකාශ කරන, පවතින ‘වර්ග බලය’ - 51 (xxvi) වගන්තිය - වැනි වාර්ගික පදනමක් මත පදනම් වූ විධිවිධානයක් නොවන බව ව්‍යවස්ථා නීති විශාරදයින් පෙන්වා දී තිබේ. ඇත්ත වශයෙන්ම, ව්‍යවස්ථාවේ වගන්ති දෙකක වර්ගය (race) සඳහන් කර ඇත.


2. VOICE යෝජකයන් විස්තර සැපයීමෙන් වැළකී සිටින අතර, ඕස්ට්‍රේලියානුවන් "නොදන්නා" දෙයකට ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා ඇත:


ජනමත විචාරණය යනු 'පාර්ලිමේන්තුවට පත් කර ගන්නා හඬක් තුලින් පිළිගැනීමේ' ප්‍රතිපත්තිය පිළිබඳවයි. මෙම ‘උපදේශන මණ්ඩලයේ’ ආකෘතිය සහ සංයුතිය ජනමත විචාරණයෙන් පසු ආදිවාසී ප්‍රජාවන් සහ පුළුල් මහජනතාව සමඟ සාකච්ඡා කර පාර්ලිමේන්තුව විසින් නීතිගත කරනවා ඇත. ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම විනිවිද පෙනෙන එකක් වනවා ඇත. NO උද්ඝෝෂකයින් පවසන පරිදි මෙය පරීක්ෂා කිරීමකින් තොරව නිවසක් මිලදී ගැනීමක් හෝ හිස් චෙක්පතකට අත්සන් කරන ලෙස ඉල්ලා සිටීමක් නොවේ. ඒ වෙනුවට, ඕස්ට්‍රේලියානුවෝ මේ රටේ ආදිවාසී ජනයාගේ අදහස්වලට පළමුවෙන් සවන් දීමෙන් ඔවුන්ගේ ජීවිත වැඩිදියුණු කරන්නට දැනුවත් තෝරා ගැනීමක් කරති.


3. බලය ඩැහැගැනීම සඳහා කරන වාම කුමන්ත්‍රණයක්:

YES උද්ඝෝෂණයේ ඉතිහාසය සහ විකාශනය සලකා බලන විට, මෙය සම්පූර්ණයෙන්ම වැරදි සහගත ය. මෙම ක්‍රියාවලියට ආදිවාසී සහ ආදිවාසී නොවන පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් දායක වී ඇති අතර, බොහෝ කම්කරු, ලිබරල්, හරිත, ස්වාධීන සහ වාම දේශපාලඥයින් උද්ඝෝෂනයට මඟ පාදන සජීවී සාකච්ඡාවලට උනන්දුවෙන් සම්බන්ධ වී ඇත. මේ ප්‍රශ්නය මුල් කරගෙන ලිබරල් පක්‍ෂයේ ඡායා ඇමැතිවරු කිහිප දෙනෙක්‌ ඉල්ලා අස්‌වී ඇත.


4. ව්‍යවස්ථානුකූලව කාවද්දන ලද හඬක් නීතිමය අභියෝගවලට දොර විවර කර දෙනවා ඇත:

බොහෝ ව්‍යවස්ථාමය විශේෂඥයින් විසින් ප්‍රතික්ෂේප කර ඇති මෙම උද්වේගයන් ගැන සොලිසිටර් ජනරාල්වරයා විසින් පැහැදිලි උපදෙස් ලබා දී තිබේ.


5. ආදිවාසී ජනයාට සෘජුවම අදාළ නොවන කරුණු සම්බන්ධයෙන් අදහස් දැක්වීමට VOICE ආයතනයට ඉඩ සලසයි:


උපදේශක පුද්ගලයාට හෝ ආයතනයට හැමවිටම එවැනි ඕනෑම කරුණක ඇති අදාළත්වය ගැන පරීක්ෂා කොට ඒ කරුණ ගැන කරන නියෝජනය නොසලකා හැරිය හැකිය. මූලික වශයෙන් උපදෙස් පිළිබඳව වන VOICE ආයතනයට නීති හෝ තීරණ නිෂේධ කරන්නට බලයක් නැත. අවසාන තීරණය පාර්ලිමේන්තුව සහ ආණ්ඩුව සතු වේ.

 
6. VOICE කැන්බරා පදනම් කරගත් ඉහළ පැලැන්තියේ ආයතනයක් වන හෙයින් එය ආදී වාසී ප්‍රජාවන්ගේ සැබෑ අවශ්‍යතා නියෝජනය නොකරනු ඇත:

මෙම සැක සහිත උපකල්පනය අවසානයේදී ජනතාව ආකර්ෂණය කර ගැනීම සඳහා කරන්නකි. VOICE යනු “දකුණුදිග අහසේ හැම තැනින්ම පැමිණෙන” ආදිවාසී සහ ටොරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන් නියෝජනය කරන ආයතනයක් ඉල්ලා තිබෙන ‘හදවතෙන් නැඟෙන උළුරු ප්‍රකාශයේ’ ප්‍රතිඵලයකි. දැනටමත් හඳුනාගෙන තිබෙන දේශීය සහ ප්‍රාදේශීය ආයතන 35 ක් VOICE ආයතනයේ පහළ ස්ථරය ලෙස යොදා ගන්නට යෝජනා කොට ඇත. ජාතික VOICE ආයතනය මේ තුලින් බිහි වනවා ඇත.


7. VOICE ආයතනය ආදිවාසී ජනයාගේ ප්‍රශ්න නිසි ලෙස ආමන්ත්‍රණය නොකරනු ඇති අතර එබැවින් එය අකාර්යක්ෂම වනවා ඇත:

සංඛ්‍යා ලේඛනවලට අනුව, පවතින නියෝජිත ආයතන ආදිවාසී ප්‍රජාවන් උදෙසා අපේක්ෂා කල ප්‍රතිඵල ලබා දී නැත. ‘පරතරය පියවීමේ’ ඉලක්ක 19 න් 4ක් පමණක් ඉදිරියට යමින් ඇත. බිම් මට්ටමේ සිටින ජනයාගේ හඬට ඇහුම්කන් දීමෙන්, හොඳින් සම්බන්ධීකරණය කරන ලද සහ ඉලක්ක සහගත සේවාවන් වඩාත් ඵලදායී ලෙසත්, කාර්යක්ෂම ලෙසත් ලබා දිය හැකිය. එසේ වුවත්, දිගුකාලීන විසඳුම පවතින්නේ කළු ජාතික ස්වෛරීභාවය පිළිගන්නා ගිවිසුමක් තුල යි.


8. ඉඩම් හිමියන්ට ආදිවාසී සභා වෙත බදුකුලී ගෙවීමට සිදුවනු ඇත:

මෙය ප්‍රශ්නයට ලක් කොට තිබෙන ජනමත විචාරණයට කිසිදු සම්බන්ධ නැත. ඇතැම් 'ප්‍රගතිශීලී' NO උද්ඝෝෂකයින් අවධාරණය කරන පරිදි, VOICE යනු එවැනි පියවර බලාත්මක කරන්නට තරම් බලයක් නොමැති උපදේශක ආයතනයකි.


9. ඡන්ද මංකොල්ල කෑමේ හැකියාව!

පසුගිය එක්සත් ජනපද ජනාධිපතිවරණ සමයේ ට්‍රම්ප් ව්‍යාපාරය කලාක් වැනි මෙය සියල්ලටම වඩා හාස්‍යජනක ආකාරයේ කියමනකි. ඕස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම විසින් මෙම ප්‍රකාශය මුළුමණින් ප්‍රතික්ෂේප කර ඇත.

NO ව්‍යාපාරයේ අය කෙතරම් අසත්‍ය චෝදනා, සාවද්‍ය නියෝජන සහ උපකල්පන කරමින් සිටියත්, ඉදිරි ජනමත විචාරණය අසාර්ථක වුවහොත් නැවත ජනමත විචාරණයක් පවත්වන බවට විපක්ෂ නායකවරයා කර ඇති ප්‍රකාශය හැරෙන්නට ඔවුහු මෙතෙක් පිළිගත හැකි විකල්ප යෝජනාවක් ඉදිරිපත් කර නොමැත.

ආදිවාසී ජනයා පිළිගැනීම කෙරෙහි සහාය දක්වන බව පෙන්වන ඔහු ඊට වැඩි යමක් පවසා නැත. එබැවින් හරයක් ලෙස ගත් විට, NO උද්ඝෝෂකයින් පවසන්නේ: VOICE නැත, උපදෙස් ලබා ගැනීමක් නැත, බලගැන්වීමක් නැත, පාලනයේ ලීවරය ස්ථිර ලෙසම ආදිවාසී ජනයා සතුව නොව, ‘අන් අය’ සතුව පැවතිය යුතුය.

අප ශ්‍රී ලංකාවේ අවස්ථා ගණනාවකදීම අත්විඳ ඇති පරිදි, NO ව්‍යාපාරය බොහෝ දුරට රැවටීම, ව්‍යාකූලත්වය සහ අවධානය වෙනතකට යොමු කිරීම මත රඳා පවතින බව පෙනේ. බහු සංස්කෘතික පසුබිම් සහිත ඕස්ට්‍රේලියානුවන් වශයෙන්, ආදිවාසී ජනයාගේ අනාගතය කෙරෙහි බලපාන තීරණ පිළිබඳව අදහස් දැක්වීමට අවස්ථාවක් ලබා දීම සඳහා ඡන්දය දීමට අපට යුතුකමක් මෙන්ම වගකීමක් ද තිබේ. මූලික අයිතිවාසිකමක් වන එය, සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදයේ ම අංගයක් වේ.


සමහර NO උද්ඝෝෂකයින් චෝදනා කරන පරිදි මෙය කම්කරු පක්ෂයේ බෙදුම්වාදී හඬ නොවේ; 

no

 

ආදි ජනයාගේ ජීවිත වැඩිදියුණු කර ලීම සඳහා ඕස්ට්‍රේලියානු ජනතාවට උදාර ලෙස ප්‍රතිචාර දක්වන්නට කරන ආයාචනයකි. මෙය ‘හදවතෙන් නැඟෙන උළුරු ප්‍රකාශය’ විසින් ඕස්ට්‍රේලියාවේ ජාතිකත්වයේ පූර්ණ ප්‍රකාශනයක් ලෙස ඔවුන්ගේ "පුරාතන ස්වෛරීභාවය බැබලෙන්නට හැකි වන" පරිදි ඉදිරිපත් කරන ලද සංකල්පයක් වේ. දයාව, අවබෝධය සහ ඉවසීමෙන් යුතුව සමස්තය වෙත ප්‍රවේශ විය යුතුය.


අග්‍රාමාත්‍යවරයා ජනමත විචාරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී ඔහු පැවසුවේ “YES ව්‍යාපාරය ජය ගන්නා විට සියලුම ඕස්ට්‍රේලියානුවන් ජය ගන්නවා ඇත. එබැවින්, උදාරත්වයෙන් ශුභවාදී හැඟීමෙන් යුක්තව YES වෙනුවෙන් ඡන්දය දෙන්න.”

මෙම ජනමත විචාරණය ඓතිහාසික අවස්ථාවක් ලෙස සළකා අපි අන් සියළු දෙනාටම මෙන්ම ආදිවාසී ජනයා වෙත වඩා හොඳ අනාගතයක් ලබා දෙන්නට උපකාරී වෙමු.


ඔබේම විශ්වාසි
අත්සන් කළේ,

ආචාර්ය ලයනල් බෝපගේ - සභාපති
ඇන්ටනි ග්‍රේෂන් - ලේකම්


ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා වූ ඔස්ට්‍රේලියානු සහයෝගිතාව
Melbourne, Australia
Mobile: +61 405 452 130
Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්