theleaderlk 01

රුධිර පීඩනය වැඩි වී නිවසට වී විවේක ගනිමින් සිටි මහනුවර ජාතික රෝහලේ සේවය කරන වෛද්‍ය ෆාහිමා සහඬින් එම රෝහලේ 4 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසු වන මාස දෙකක් වයසැති

දරුවකුගේ සිරුර නිල් පැහැ ගැන්වී ගෙන එන බව දැන වහාම රෝහලට ගොස් ප්‍රතිකාර කර එම දරුවා පත්ව සිටි අවදානම් තත්වයෙන් මුදා ගත් නමුත් තමන්ට තිබූ රුධිර පීඩනය තවත් වැඩි වී දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර දින දහයක් පමණ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇත.

දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමට ප්‍රථම වෛද්‍යවරියගේ රුධිර පීඩන තත්වය මැන බැලීමේදී දෙසීයකට ඉහළ ගොස් තිබූ බව මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය ජනක ජයසූරිය පවසයි.

වෛද්‍යවරිය මිය ගොස් තිබුණේ පසුගිය සති අන්තයේය. මියයන විට වෛද්‍යවරිය පනස් දෙ හැවිරිදි වියේ පසු වී ඇත. අධි රුධිර පීඩනය නිසා වෛද්‍ය ෆාහිමා සහඬින්ගේ හිසේ නහරයක් පුපුරා යෑම නිසා අභ්‍යන්තර ලේ වහනයක් සිදු වී ඇය මිය ගොස් ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වූ බව වෛද්‍ය ජනක ජයසූරිය පෙන්වා දෙයි.

විවේකීව සිටිය යුතු වෛද්‍ය ෆාහිමා සහඬින් රෝගී දරුවාගේ ජීවිතය බේරා ගැනීමට වෙහෙස මහන්සි වීම නිසා ඇයගේ රුධිර පීඩන තත්වය තවත් වැඩි වී මෙවැනි තත්වයකට පත්ව තිබෙන බවත් ඇයගේ සේවා කාලය තුළ දිවා රෑ නොබලා රෝගීන් වෙනුවෙන් දැඩි කැපවීමකින් කටයුතු කළ බවත් වෛද්‍ය ජනක ජයසූරිය පවසයි.

වෛද්‍ය ෆාහිමා සහඬින්ගේ සැමියා සබරගමුව විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයකු වන අතර ඇයගේ වැඩිමහලු සොහොයුරියද වෛද්‍යවරියකි. වෛද්‍ය ෆාහිමාගේ වැඩිමල් දියණිය පසුගියදා ප්‍රතිඵල නිකුත් වූ අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් සමත්ව වෛද්‍ය විද්‍යාලයට තේරි පත්ව සිටින බවත් ඇයගේ පුතෙකු තවමත් පාසල් අධ්‍යාපනය ලබන බවත් වෛද්‍ය ජයසූරිය සඳහන් කරයි. 

වෛද්‍ය ෆාහිමා පදිංචිව සිටියේ මහනුවර අනිවත්ත ප්‍රදේශයේය.

(lankatruth.com)


 

JW