ආණ්ඩුවේ යෝජිත තවත් පනත් කෙටුම්පතකින් ජනතාවගේ මානව හිමිකම් කඩවීම් සිදු විය හැකි ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අනතුරු අඟවා තිබේ.


ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විනිසුරු එල් ටී බී දෙහිදෙණියගේ අත්සනින් යුතුව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා වෙත යොමු කළ ලිපියක් මගින් පෙන්වා දී ඇත්තේ, ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කෙටුම්පතේ 44 සහ 45 වගන්ති වලට අනුව, යම් පරිශ්‍රයකට ඇතුළු වීමට, සෙවීමට ලක් කිරීමට හෝ පරික්‍ෂා කිරීමට සහ පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීමට ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ජාතික කවුන්සිලයට පුළුල් බලතල පවරා ඇති බවයි.

ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ජාතික කවුන්සිලයට සාමාජිකයන් පත් කිරීමේදී, අදාල අමාත්‍යංශයේ අමාත්‍යවරයා සහ අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු නිල බලයෙන් පත් වන 13 දෙනාට අමතරව, අනෙකුත් සාමාජිකයන් 12 දෙනා ජනාධිපතිවරයා විසින් අදාල අමාත්‍යංශ ලේකම්වරුන් විමසා පත් කරනු ලබයි.

 

මෙම පත්වීම් ක්‍රියාවලිය මගින් එකී පත්වීම්ලාභීන්ගේ ස්වාධීනත්වය ප්‍රමාණවත් පරිදි සහතික කිරීමක් සිදුනොවන බව පෙන්වා දෙන කොමිසම, කවුන්සිලයට අදාළ සංයුතිය සහ පත්වීම් ක්‍රියාවලිය නැවත සලකාබලන ලෙස නිර්දේශ කර තිබේ. කවුන්සිලයේ ස්වාධීනත්වය සහතික කිරීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් ආරක්‍ෂාවක් නොමැති අවස්ථාවක, එවැනි පුළුල් බලතල කවුන්සිලයට පැවරීම නුසුදුසු බවයි  මානව හිමිකම් කොමිසම අමාත්‍යවරයාට වැඩි දුරටත්  අවධාරණය කර ඇත්තේ.

 

"එවැනි බලතල අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තියෙන් සහතික කර ඇති නීතියේ සමාන ආරක්ෂාව සඳහා වන මූලික අයිතිය ඇතුළුව පුද්ගලයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමට හේතු විය හැකියි."

අමාත්‍ය විජයදාස රාජපක්ෂ වෙත යොමු කර ඇති ලිපිය මඟින්, ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කෙටුම්පතේ 44 සහ 45 වගන්ති නැවත සලකා බැලීමට නිර්දේශ කරන මානව හිමිකම් කොමිසම, ඇතුළුවීම, සෙවීම් සහ පරික්‍ෂා කිරීම සහ ප්‍රශ්න කිරීම සඳහා බලය පැවරීමේ බලතල අධිකරණ අධීක්ෂණයට යටත් දේශපාලනිකව ස්වාධීන ආයතනයකට පමණක් පැවරිය යුතු බවට අවධාරණය කරයි.

 ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය යටතේ ශ්‍රී ලංකාවේ වගකීම් ඉටු කිරීම සහතික කිරීම වෙනුවෙන් ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පත, "ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, උසස් කිරීම සහ ඉටු කිරීම සඳහා වටිනා නීතිමය රාමුවක් පිහිටුවීම" උදෙසා ඉදිරිපත් කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වැඩි දුරටත් පෙන්වා දෙයි.

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ වෙත 2023 සැප්තැම්බර් 21 යොමු කරන ලද ලිපිය මඟින්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කෙටුම්පත සම්බන්ධයෙන් පොදු නිර්දේශ 5ක් ද, වගන්ති 19ක් ද සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ සහ නිර්දේශ වෙන වෙනම ද දක්වා තිබේ.

පොදු නිර්දේශ 5ක්

1. ගැලපෙන වාසස්ථානයක් පිළිබඳ ප්‍රමිතිය මෙම පනත් කෙටුම්පතේ විධිවිධානවලට වඩාත් පුළුල් ලෙස ඒකාබද්ධ කළ යුතුය.

 2. ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ ඉටු කිරීම වෙනුවෙන් රාජ්‍යය පියවර ගනිද්දී ස්ත්‍රී, පුරුෂ භාවය සහ වයස පිළිබඳව සංවේදී නිශ්චිත කැපවීමක් ද සහිතව, විශේෂයෙන්ම ආබාධ සහිත කාන්තාවන් සහ ළමුන් 'බහුවිධ' හෝ 'අන්තර් අංශ' වෙනස් කොට සැලකීම්වලට මුහුණ දෙනවාය යන අදහස පනත් කෙටුම්පතට පුළුල් ලෙස ඒකාබද්ධ කළ යුතුය.

 3. පනත් කෙටුම්පත මඟින් ඉදිරිපත් කර ඇති ආකාරයට, එහි ස්වාධීන අධීක්ෂණ යාන්ත්‍රණයක් ලෙස කොමිෂන් සභාවට ඇති කාර්යභාරයේ නිශ්චිත ස්වභාවය සහ විෂය පථය පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සමඟ අර්ථවත් සාකච්ඡාවක් පැවැත්විය යුතුය.

 4. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දක්වා ඇති ජනතාවගේ මූලික අයිතිවාසිකම්වලට ගරු කිරීම මෙන්ම වැඩි ස්වාධීනත්වයක් සහතික කිරීම සඳහා ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික කවුන්සිලයේ සංයුතිය, පත්වීම් ක්‍රියාවලිය සහ බලතල සමාලෝචනය කළ යුතුය.

 5. යෝජිත ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික සභාව අයත් විය යුතු රේඛීය අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය විය යුතුය.

වගන්ති 19ක්

ඉන්පසුව පනතේ එන වගන්ති 19ක් එකින් එක ගෙන, ඒවායෙහි කොමිසම විසින් නිරීක්ෂණය කළ අඩුපාඩු සහ, ඒ සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ නිර්දේශ, ජනාධිපතිවරයාට ද පිටපත් කර ඇති මෙම ලිපිය මඟින් ඉදිරිපත් කර තිබේ.
 
* 9 වැනි වගන්තිය තුළ ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 18 වැනි වගන්තියට අයත් බොහෝ අංග අඩංගු වනමුත්, රට හැර යාමට හෝ තම රටට ඇතුළු වීමට ඇති නිදහස ඇතුළුව සංචරණය සඳහා ඇති නිදහස සම්බන්ධයෙන් වන බැඳීම් 9 වැනි වගන්තිය සඳහන් නොකරන බව පෙන්වා දෙන කොමිසම මෙය පනත් කෙටුම්පත තුළ තවත් ශක්තිමත් කළ යුතු බවට නිර්දේශ කරයි.
 
* 10 වැනි වගන්තිය සම්බන්ධයෙන් සිය නිරීක්ෂණයන් ඉදිරිපත් කිරමින් කොමිසම, ආබාධ සහිත දරුවන් සම්බන්ධ සියලු කාරණාවලදී, 'දරුවාගේ යහපත' මූලික වශයෙන් සලකා බැලිය යුතුය බවට නිර්දේශ කරයි.
 
* ආබාධ සහිත කාන්තාවන් පිළිබඳව වන 15 වගන්තිය තුළ ස්ත්‍රීන් සහ ගැහැණු ළමයින් 'බහුවිධ වෙනස්කම්වලට' මුහුණ දෙන බව විශේෂයෙන් සඳහන් නොකරන බව පෙන්වා දෙන කොමිසම, එහිදී ඔවුන් ලිංගිකත්වය සහ ආබාධිතභාවය යන දෙක හරහාම වෙනස් කොට සැලකීමට මුහුණ දෙන බව අවධානයට ගත යුතු බවට නිර්දේශ කරයි.

 * පනත් කෙටුම්පතේ 22 වැනි වගන්තිය හරහා ආබාධ සහිත පුද්ගලයන්ට අනෙකුත් අයට මෙන්ම ගුණාත්මක සත්කාර ලබාදීමේ අරමුණින් මහජන සහ සෞඛ්‍ය වෘත්තිකයන් සඳහා ප්‍රමිතීන් සැකසීමට සහ පුහුණුව ලබාදීමට අදාල බැඳීම් ඇතුළත් විය යුතු බවට ද කොමිසම නිර්දේශ කරයි.

 

මේවාට අමතරව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සැලකිල්ලට ගත යුතු කාරණා කිහිපයක් කෙරෙහිද කොමිසම සිය ලිපියේදී අවධාරණය කර තිබේ. ඒ අනුව කොමිසම විසින්, සියලුම ආබාධ සහිත පුද්ගලයන්ගේ  'ජීවත්වීම සඳහා ඇති අයිතිය' පිළිබඳ නිශ්චිත විධිවිධාන පනත් කෙටුම්පතට ඇතුළත් කිරීම නිර්දේශ කර තිබේ.

 

ඊට අමතරව, කෙනකුගේ කායික හා මානසික ඒකාග්‍රතාවයට ගරු කරනු ලැබීමේ අයිතිය ද පනත් කෙටුම්පතට විශේෂයෙන් ඇතුළත් කළ යුතු බව ද, ආබාධ සහිත පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට ගරු කිරීමේ අයිතිය පනත් කෙටුම්පතින් පිළිගත යුතු බවට ද කොමිසම නිර්දේශ කර ඇත.

 ක්‍රමානුකුලව අත්පත් කරගත හැකි  ප්‍රමිතියකට අනුකූලව ප්‍රමාණවත් ජීවන මට්ටමක් සහ සමාජ ආරක්ෂණයක් සඳහා ඇති අයිතිය ද මෙම පනත් කෙටුම්පත මඟින් පිළිගත යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වැඩිදුරටත් අවධාරණය කරයි.

 2023 ජූලි 17 කොමිසම වෙත යොමු කරන ලද කෙටුම්පත මසක අධ්‍යයනයකින් පසුව සිය නිරීක්ෂණ සහ නිර්දේශ ඉදිරිපත් කරමින් කොමිසම විසින්, 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 10 (ඇ) වගන්තිය ප්‍රකාරව 'මූලික අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා.... නීති සම්පාදනය කිරීමේදී රජයට උපදෙස් දීමට සහ සහාය වීමට' කොමිෂන් සභාවට ලබා දී ඇති කාර්යභාරය ඉටු කිරීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය දක්වන ලද සහයෝගයට ස්තූතිය ප්‍රකාශ කර තිබේ.


 

JW

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්