පලස්තීන හමාස් සටන්කාමී සංවිධානයේ තුවක්කුකරුවන් විශාල පිරිසක් අනපේක්ෂිත ප්‍රහාරයකින් පසු
ගාසා තීරයෙන් දකුණු ඊශ්‍රායලයට ඇතුළු වීමත් සමඟ තමන් "යුද්ධයකට" එළඹ සිටින බව ඊශ්‍රායලය පවසයි.
සටන්කාමී සාමාජිකයෝ ගාසා තීරයේ සිට රොකට් ප්‍රහාර එල්ල කරමින් අද අළුයම් කාලයෙන් පසු ආරක්ෂිත වැට තරණය කළහ.
ඊශ්‍රායල බලධාරීන්ට අනුව ප්‍රහාරවලින් 545 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර අවම වශයෙන් ඊශ්‍රායල ජාතිකයින් 22 දෙනෙකු මිය ගොස් ඇත.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත්තේ හමාස් සංවිධානයට “කවදාවත් අත්නොදුටු ප්‍රතිවිපාකයකට” මුහුණ දීමට සිදුවනු ඇති බවයි.
ප්‍රහාරක ජෙට් යානා ගණනාවක් ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කරන බවත්, දහස් ගණනක් සෙබළුන් බලමුලු ගන්වා ඇති බවත් ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේය.
ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන් පවසන්නේ අවම වශයෙන් එක් පලස්තීන ජාතිකයෙකු ප්‍රහාර වලින් මිය ගොස් ඇති බවයි.
හමාස් විසින් පාලනය කරනු ලබන ගාසා තීරයේ සිට රොකට් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ වූයේ සෙනසුරාදා, යුදෙව් සබත් දිනය සහ සිම්චැට් ටෝරා උත්සවය පැවැත්වෙන දිනය උදාවීමෙන් පසුවය.
ඊශ්‍රායලය පුරා සයිරන් හඬ නාද වෙමින් ඇති අතර, ඊශ්‍රායල් හමුදාව නිවේදනය කළේ "ත්‍රස්තවාදීන්" ඊශ්‍රායල භූමියේ "විවිධ ස්ථාන ගණනාවකට" රිංගා ඇති බවයි.
හමුදාව විසින් දකුණු සහ මධ්‍යම ප්‍රදේශවල සිවිල් වැසියන්ට ගාසා තීරය ආශ්‍රිත ප්‍රදේශයේ ආරක්ෂිත ස්ථාන අසල සහ නවාතැන් තුළ රැඳී සිටින ලෙස දන්වනු ලැබ තිබේ.
අන්තර්ජාලයේ පළ කරන ලද දර්ශනවල පෙනී ගියේ දැඩි ලෙස සන්නද්ධ පලස්තීන සටන්කාමීන් කණ්ඩායමක් කළු පැහැති ඇඳුම් වලින් සැරසී පික්-අප් ට්‍රක් රථයකින් ස්ඩෙරොට් නගරය වටා ගමන් කරන ආකාරයයි.
එක් වීඩියෝවක, එම සටන්කාමීන් ගාසා තීරයේ සිට කිලෝමීටර් 1.6ක් (සැතපුම් 1ක්) දුරින් පිහිටි එම නගරයේ වීදිවල ඊශ්‍රායල හමුදා සමඟ වෙඩි හුවමාරු කරගන්නා බවක් පෙනෙන්නට තිබුණි.
ඊශ්‍රායල ජාතිකයන් ගණනාවක් සටන්කාමීන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බවට තහවුරු නොකළ වාර්තා සහ ගාසා තීරයේ පලස්තීනුවන් ඊශ්‍රායල හමුදා වාහන පදවාගෙන යන අයුරු දැක්වෙන දර්ශන ද පලස්තීන මාධ්‍යවල පළ කර තිබේ.
ඊශ්‍රායල-ගාසා ආරක්ෂිත වැට අසලදී ගිනි තබන ලද ඊශ්‍රායල යුද ටැංකියක් අසලට පලස්තීනුවෝ රැස් වූහ
මෙම ප්‍රහාරයෙන් ඊශ්‍රායලයට සිදුවූ හානි මෙතෙක් පැහැදිලි නැත.
නමුත් ෂාර් හනෙගෙව් ප්‍රාදේශීය සභාව නිවේදනය කළේ එහි නායක ඔෆිර් ලිබ්ස්ටයින් තම ප්‍රජාව ආරක්ෂා කිරීමට යාමේදී සටන්කාමීන් සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් මිය ගිය බවයි.
මේ අතර සෙනසුරාදා උදෑසන පුරා රොකට් ප්‍රහාර අඛණ්ඩව එල්ලවූ අතර ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළේ මේ වන විට ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර 2,500 කට වැඩි ප්‍රමාණයක් එල්ල වී ඇති බවයි.
ඊශ්‍රායලයේ මැගන් ඩේවිඩ් ඇඩොම් ගිලන්රථ සේවයේ මූලික වාර්තාවක සඳහන් වූයේ පලස්තීන රොකට් ප්‍රහාරයෙන් එක් අයෙකු මිය ගොස් ඇති බවයි.
දකුණු දිග නගරයක් වන අෂ්කෙලෝන්හි රෝහලක් අනාවරණය කළේ තුවාල ලැබූවන් 68 දෙනෙකුට ප්‍රතිකාර කරන බවත්, බියර් ෂෙවාහි තවත් රෝහලක් තවත් 80 දෙනෙකුට ප්‍රතිකාර කරන බවත් සඳහන් කළේය.