නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි නිවසකට ගිනිඅවි අතැතිව ඇතුළුවී එහි පදිංචි පුද්ගලයන්ට තර්ජනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ සියලු ම සැකකරුවන් වහා

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන පොලිසියට නියෝග කළේය.

පින්නතැන්න ප්ලාන්ටේෂන් පෞද්ගලික සමාගමේ කුමාර ධර්මසේන, ඔහුගේ බිරිය හා එහි අධ්‍යක්‍ෂවරුන් ඇතුළු දොළොස් දෙනෙකුට එරෙහිව ඇසෙන්ට් ඉන්ටර් නැෂනල් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ මාලිංග ප්‍රනාන්දු අධිකරණය හමුවේ ගොනු කර තිබූ පෞද්ගලික පැමිණිල්ලක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේ පෙරේදා (ඔක්. 12) දිනයේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා කුමාර ධර්මසේන ඇතුළු වගඋත්තරකරුවන් 12 දෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පසුගිය නඩු වාරයේදී අධිකරණය මගින් නොතීසි නිකුත් කර තිබුණ ද කුමාර ධර්මසේන විදේශගතව සිටීම හේතුවෙන් ඔහු හැර සෙසු වගඋත්තරකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.

කුමාර ධර්මසේන ඇතුළු පිරිසක් ගිනිඅවි ද අතැතිව නාරාහේන්පිට පිහිටි එම නිවසට ඇතුළු වූ බවට නිවසේ පදිංචිකරුවන් වෙනුවෙන් එහි රියැදුරු ඉකුත් අගෝස්තු 17 දින නාරාහේන්පිට පොලිසියට පැමිණිලි කර ඇති නමුත් පොලිසිය ඒ පිළිබඳව නිසි අවධානයක් යොමු කර නොමැති බව ද පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස අධිකරණය හමුවේ පැවසීය.

 පැමිණිලි පාර්ශවය එම පැමිණිල්ල සිදුකර මාසයකුත් දින තුනක් ගත වූ පසුව මෙම සිද්ධියේ වගඋත්තරකාර පාර්ශවය ද මේ සම්බන්ධයෙන් ඉකුත් සැප්තැම්බර් මස 19 වන දින පොලිසිය හමුවේ පැමිණිල්ලක් කර ඇති බව ද පැමිණිලිකාර පාර්ශවය ඉකුත් 17 දින කර තිබූ පැමිණිල්ල සම්බන්ධයෙන් අවධානය යොමු කර නොමැති පොලිසිය, මෙම සිද්ධියේ වගඋත්තරකාර පාර්ශවය කළ පැමිණිල්ල පිළිබඳව පමණක් විමර්ශනය කර සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන සිය වගකීම පැහැර හැර ඇති බව ද ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේය. 

පැමිණිලි පාර්ශවය මුලින් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන සිදු නොකර වගඋත්තරකාර පාර්ශවය ඉන් මාසයකුත් දවස් තුනකට පසුව කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් පමණක් විමර්ශනය සිදු කළේ කුමන හේතුවක් නිසා ද යන්න පිළිබඳව මහේස්ත්‍රාත්වරයා විමසූ අවස්ථාවේදී, නාරාහේන්පිට ස්ථානාධිපතිවරයා හා අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ, තම පොලිස් ස්ථානය කිසිදු පාර්ශවයකට පක්ෂපාතීත්වයකින් කටයුතු නොකළ බවත් දෙපාර්ශවයක් අතර තිබුණ පැමිණිලි කිහිපයක් නිසා විධිමත් විමර්ශනයක් සිදුකිරීමට කිසියම් කාලයක් ගතවූ බව ත් ය.

මෙම විමර්ශනයේදී අනාවරණය වන ඕනෑ ම පුද්ගලයෙකු තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීමට තම පොලිස් ස්ථානය කටයුතු කරන බව ද නාරාහේන්පිට පොලිසියේ ස්ථානාධිපතිවරයා හා අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අධිකරණය හමුවේ පැවසූහ.

අදාළ පාර්ශ්ව අධිකරණය හමුවේ දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් වහා ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එසේ නියෝග කළේ ය.

පැමිණිලි පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස සමග මල්ක දේනෙත්ති හා සමිත දිසානායක යන නීතිඥවරුන් පෙනී සිටි අතර වගඋත්තරකාර පාර්ශව වෙනුවෙන් හර්ෂණ නානායක්කාර හා සුනිල් වටගල ඇතුළු නීතිඥවරුන් පිරිසක් පෙනී සිටියහ.

(mawbima.lk)


සබැඳි ලිපියක් :
කුමාර ධර්මසේනට නොතීසි ! - ඉසිපතන ඉඩමේ අලකලංචිය මෙන්න

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්