විවිධ හේතුන් මත මාස හයකට පමණ ආසන්න කාලයක් ප්‍රමාද වූ ඉන්දියාවේ නාගපට්නම්

සහ කන්කසන්තුරේ අතර මගී යාත්‍රා සේවාව ආරම්භ කරමින් ⁣"චෙරියපාණී" මගී යාත්‍රාව අද (14)  දින පෙ.ව  11.30 ට කන්කසන්තුරේ වරායට සේන්දු විය.

මෙහි මගීන් 50 දෙනෙකු පමණ පැමිණි අතර, ඔවුන් සහ යාත්‍රාවේ කාර්ය මණ්ඩලය වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් පිලිගන්නා ලදී.  

ඉන් අනතුරුව ⁣"චෙරියපාණී" මගී යාත්‍රාවේ ප්‍රථම චාරිකාව සනිටුහන් කරමින් සමරු එලක හුවමාරු කර ගැනීමක් සිදුකරනු ලැබීය.

ඉන්දියානු නැව් සංස්ථාවට (S.C.I) අයත් දිගින් මීටර් 35ක් සහ පලලින් මීටර් 9.6 වූ අධිවේගී ⁣"චෙරියපානි" යාත්‍රාවෙන් මගින් 150 ක් රැගෙන යාමට හැකියාව ඇත.


නාගපට්නම් සිට කන්කසන්තුරේ වරායට යාත්‍රා කිරීමට පැය හතරක් පමණ කාලයක් ගතවන අතර එක් ගමන් වාරයක් සඳහා ශ්‍රී ලංකා රුපියල් 26,750 ක්ද, යන එන ගමන් වාර දෙකක් සඳහා ශ්‍රී ලංකා රුපියල් 53,500 ක්ද අයකරනු ලබයි. එ වෙනුවෙන් එක් මගියකු හට කිලෝ 50 බරකින් යුතු භාණ්ඩ රැගෙන යා හැකි බව මගී යාත්‍රා සේවා හිමියන් ප්‍රකාශ කරයි.


මෙම යාත්‍රා සේවාවේ මෙහෙයුම් සහ අලෙවි කටයුතු ශ්‍රී ලාංකික සමාගමක් වන "ආශා නියෝජිත පුද්ගලික සමාගම" (Asha Agency Ltd ) විසින් සිදුකරනු ලබන අතර යාපනය නගරයේද ගමන් ප්‍රවේශපත් අලෙවි නියෝජිතයකු  පත්කර ඇති බව සමාගම පවසයි.

මෙම යාත්‍රා සේවා මෙහෙයුම් කටයුතු සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රුපියල් මිලියන 450 ක වියදමකින් නවීන පහසුකම් වලින් සමන්විත මගී පර්යන්තයක් ඉදිකර ඇති බව අමාත්‍යාංශය පවසයි. මෙම පර්යන්තය තුල ආගමන විගමන රේගු ,සෞඛ්‍ය සේවා ඇතුළු සියලු යටිතල පහසුකම් සැලසීමට කටයුතු කර ඇත.

කන්කසන්තුරේ වරායට පැමිණි "චෙරියපාණී" යාත්‍රාව තුල පහසුකම්  අදාළ පාර්ශවයන් විසින් පරීක්ෂාවට ලක් කරන ලද අතර මෙම යාත්‍රාව පස්වරු 2.30 ට නාගපට්නම් බලා යාත්‍රා කරන ලදී.

මෙම අවස්ථාවට සහභාගි වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියේ, දෙරට අතර ආරම්භවූ මෙම ප්‍රවාහන සේවාව තුළින් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර මිත්‍රත්වය සහ අන්තර් සබඳතාව ගොඩ නැගෙන බවයි. එමෙන්ම යාපනයේ ජනතාවගේ ව්‍යපාරික කටයුතු පුළුල් කරගැනීමට ⁣විශාල පහසුවක් සැලසෙන බවත්, දඹදිව සිද්ධස්ථාන වන්දනා කිරීමට සැලසුම්කර ඇති වන්දනා කරුවන් සඳහා අඩු ගාස්තු ප්‍රමාණයක් වැය කර තම වන්දනා ගමන් යාමට හැකියාව ලැබෙන බවත් ය.

මෙම අවස්ථාවට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර , ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති ගයාන් අලගේවත්ත ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගි විය.

Cheriyapani 1 2

Cheriyapani 1 4

Cheriyapani 1 5

Cheriyapani 1 6

Cheriyapani 1 1

Cheriyapani 1 3

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්