LTTE සංවිධානය යළි නගා සිටුවිය යුතු බවට 2018 වසරේ ප්‍රකාශයක් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටි හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා

මහේෂ්වරන් නීතිපති උපදෙස් මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (ඔක්තෝම්බර් 19 වැනිදා) නියෝග කළේය.

මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉදිරියේ අද කැඳවනු ලැබීය.

මීට පෙර පොලීසිය විසින් අධිකරණයට දැනුම් දී තිබුණේ මෙම සැකකාරියට එරෙහිව නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් කරුණු නොමැති බවට නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බවය.

පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී සැකකාර විජයකලා මහේෂ්වරන් අධිකරණය හමුවේ පෙනී සිටියාය.

මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ සැකකාරියට එරෙහිව නඩු කටයුත්තක් පවත්වාගෙන නොයන බවට නීතිපතිවරයා තීරණය කර ඇති හෙයින් ඇය නිදහස් කිරීමට නියම කරන බවය.

2018 වසරේ ජූලි මස 2 වැනිදා යාපනය වීරසිංහම් ශාලාවේ පැවති රැස්වීමක දී LTTE සංවිධානය යළි නඟාසිටුවිය යුතු බවට ප්‍රකාශයක් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්ට එරෙහිව කොළඹ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම පැමිණිල්ල කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබුණි.

එල්.ටී.ටී.ඊ සංවිධානය පිළිබඳ ප්‍රසිද්ධ උත්සවයකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් (2018 ඔක්තෝබර් 8වැනිදා) අත්අඩංගුවට ගන්නා ලද විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය පසුව ඇප මත මුදා හැරිණ.

ඇය අත්අඩංගුවට ගනු ලැබුනේ, අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් ආරම්භ කර තිබූ විමර්ශනයක් වෙනුවෙන් ප්‍රකාශයක් ලබා දීම පිණිස පොලිස් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණි අවස්ථාවේය.

කවුද මේ විජයකලා මහේෂ්වරන්?

යාපනයේ ව්‍යාපාරික කාන්තාවක වන විජයකලා මහේෂ්වරන්, ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ වූයේ සිය සැමියා වූ ටී මහේෂ්වරන් 2008 ජනවාරි පළමු වෙනි දින කොළඹ දී වෙඩි තබා ඝාතනය කරනු ලැබීමෙන් අනතුරුවය.

සිවිල් යුද්ධය සමයේ උතුරට භූමිතෙල් ඇතුළු ඉන්ධන සපයන ප්‍රධාන පෙළේ නැව් හිමි ව්‍යාපාරිකයෙකු වූ ටී මහේෂ්වරන්, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය.

දියණියන් දෙදෙනෙකුගේ මවක වන විජයකලා මහේෂ්වරන් ඉන් අනතුරුව දේශපාලනයට පිවිසියේ සිය සැමියාගේ ව්‍යාපාරික කටයුතු ද මෙහෙයවමිනි. ඇය 2010 පැවති මහ මැතිවරණයේදී යාපනය දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියක ලෙස මුලින්ම පාර්ලිමේන්තුවට තේරී පත්වූවාය.

vijayakala 098

ඇය 1999 සිට ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටි බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් වේ.

ඉන් අනතුරුව 2015 අගෝස්තු මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඇය, අගමැති රනිල් වික්‍රමසිංහගේ නිර්දේශය මත කාන්තා සහ ළමා කටයුතු රාජ්‍ය ඇමතිවරිය ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත්කරනු ලැබීය.

දේශපාලනයට අවතීර්ණ වූ අවධියේ සිටම ආවේගශීලීව අදහස් පළකිරීම ගැන මෙන්ම ජනප්‍රිය අදහස් පළකිරීම සම්බන්ධයෙන් ද ඇය ප්‍රසිද්ධියක් ඉසිලූ බව යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ කථිකාචාර්ය සාමිනාදන් විමල් බීබීසී සිංහල සේවයට පැවසීය.

එල්ටීටීඊය ගැන ඇය කීවේ කුමක්ද?

මේ අතර උතුරේ පවතින ස්ත්‍රී දූෂණ ඇතුළු අපරාධ රැල්ල සහ මත් ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සඳහා එල්ටීටීඊ සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට පසුගිය ජුලි මාසයේ යාපනයේ වීරසිංහම් ශාලාවේ දී ඇය කළ ප්‍රකාශයක් රට පුරා මහත් ආන්දෝලනයකට ලක්විය.

"ඇත්තටම ගැණූ කෙ‍නෙකුගේ අමාරුව තවත් ගැහැණියකටම පමණයි තේරුම් ගැනීමට හැකියාව තිබෙන්නේ. වයස අවුරුදු හයක දැරියක් දූෂණය කොට මරා දමලා තිබෙනවා. අපේ දැරියන් අද කිසිදු සරණක් නොමැතිව දිවි නසා ගැනීමේ තත්ත්වයට පත්වෙලා තිබෙනවා. අපි උරදීලා තමයි අපේ ජනාධිපති පත් කරගත්තේ. ජනාධිපතිතුමා අද මොකක්ද කරන්නේ. එයාගේ පක්ෂය විතරක් දියුණු කරනවා. අපේ මිනිස්සු ආරක්ෂා කරලා නැහැ," ඇය සඳහන් කළාය.

vijayakala 3635

"2009 මැයි 18 දිනට කලින් අපේ ජනතාව ජීවත්වුණේ කොහොමද කියලා ඔබලා දන්නවා. මේ අවස්ථාවේ තත්ත්වය බලන විට නැවත එල්ටීටීඊ ය ගෙන ආ යුතු තත්ත්වයක් තමයි තිබෙන්නේ. අපේ ළමයි, අපේ ගැහැණු අය පාසල් ගොස් නැවත නිවෙස් කරා එන තත්ත්වයක් ඇති කිරීමට නම් නැවත එල්ටීටීඊ පාලනයක් පැමිණිය යුතුයි."

එම ප්‍රකාශය සම්බන්ධයෙන් මතු වූ ආන්දෝලනයත් සමගම රාජ්‍ය අමාත්‍ය පදවියෙන් ඇය ඉල්ලා අස් වූ අතර, සිහළ රාවය සංවිධානයේ සංවිධායක මාගල්කන්දේ සුදන්ත හිමියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් පරීක්ෂණ ද ආරම්භ කෙරිණ.

එහෙත් කථිකාචාර්ය සාමිනාදන් විමල් සඳහන් කරන ආකාරයට ඇය එදින පළ කළේ උතුරේ සාමාන්‍ය වැසියන් නිරන්තරයෙන් පළ කරන සාමාන්‍ය අදහසකි.

"එයා කීව දේ සහ උතුරේ සාමාන්‍ය වැසියන්ගේ අදහස අතරේ කිසිම වෙනසක් නැහැ. එකම වෙනස අනිත් අයට මයික්‍රෆෝනයක් නෑ. යාපනේ දුප්පත් මනුස්සයත්, විශ්වවිද්යාල කථිකාචාර්යවරයත් පළකරන්නේ ඔය වගේම අදහසක්," ඔහු පැවසීය.

"දේශපාලනිකව ගත්තහම ඒ අදහස වැරදියි. ඒත් විජයකලා දේශපාලනඥයෙක් නොවෙයි."

vidya 7643

විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය ඒ හා සමාන අදහසක් පළ කළ ප්‍රථම වතාව එය නොවේ.

එමෙන්ම ඇය දේශපාලන ආන්දෝලනවලට මුහුණ දුන් පළමු වතාව ද එය නොවේ.

ශිවලෝගනාදන් විද්‍යා දැරිය යාපනයේදී සමූහ දූෂණයට ලක් කර මරා දැමූ ස්විස් කුමාර් නිදහස් කරන මෙන් යාපනයේ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට නියෝග කළ බවට එවක ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමති පදවිය දැරූ විජයකලා මහේෂ්වරන්ට චෝදනා එල්ලවිය.


(BBC සිංහල සේවය)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්