කොරෝනා වෛරසය ආසාධිත බවට මුලින් හදුනා ගැණුනු චීන ජාතික කාන්තාව හැර එම වෛරසය ආසාධනය වූ කිසිවෙකු

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හදුනාගෙන නොමැති බවත් කොරෝනා වෛරසය ආසාධිත හෝ ආසාධිත බවට සැක කරන තැනැත්තන්ට ප්‍රතිකාර කිරීම සදහා ප්‍රමාණවත් පහසුකම් අයි.ඩී.එච්. උණ රෝහලේ පවතින බවත් එම රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ පැවති විද්වත් සැසියක් අමතමින් එබව පැවසු විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් බියයුතු තත්ත්වයක් තවමත් නොමැති බවද අවධාරණය කර සිටියේය.

මුඛ ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නැතැයි ද ඔහු කියා සිටියි.

ඒ සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති 'කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මෙසේ පවසයි.

''මේ මම දන්න ඉස්සර කාලෙ GMOA එකේ හිටපු ප්‍රධාන නිලධාරියෙක්, අද ඉන්න GMOAඑක මුල්‍ය ප්‍රතිලාභ ඉඳන් ඔක්කොම පහසුකම් ඕනෙ කියනකොට කොරෝනාවලට බෙහෙත් කරන්න, අයිඩීඑච් එකේ දොස්තර කියන්නෙ වෙනම කතාවක්. රෙස්පෙක්ට් බ්‍රෝ!''



 මුඛ ආවරණ පළඳින ලෙස දුන් උපදෙස් වෙනස් වුණේ ඇයි?

''කොරෝනා වෛරසයෙන් බේරෙන්න මුඛවාඩම් දාන්න කියල සෞඛ්‍ය අමාත්‍යංශය මුලින් කිව්වා. අපි වැඩි ගාණක් දීලා අමාරුවෙන් පවුලටම ඒවා ගත්තේ. දැන් කියනවා ඕනේ නෑ කියලා. සල්ලිත් අපරාදේ. අපිට හිතාගන්න බෑ දැන් මොනවා කරන්නද කියලා."

ඉහත දැක්වෙන්නේ චීනයෙන් ඔබ්බට පැතිර යමින් පවතින කොරෝනා වෛරසයයෙන් ආරක්ෂා වීම සඳහා මුඛ ආවරණ පැළඳිය යුතුද? නැද්ද? යන්න සම්බන්ධයෙන් දෙගිඩියාවෙන් පසුවන කාන්තාවක් බීබීසී සිංහල සේවය වෙත පළ කළ අදහසකි.

මුහුණු ආවරණ පැළදිය යුතුද? නැද්ද? යන්න පිළිබඳ නිවැරදි වැටහීමක් නොමැති තවත් සැලකිය යුතු පිරිසක් සිටින බව ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන අදහස් සහ මාධ්‍ය වාර්තා දෙස බැලීමේදී පෙනී යයි.

නව කොරෝනා වෛරසය (2019-nCoV) ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීම වළක්වා ගැනීම සඳහා වඩාත් සුදුසු පියවර ලෙස මුහුණු ආවරණ පැළඳීම යෝග්‍ය බව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පළමුව පෙන්වා දෙනු ලැබුණු නමුත් මේ වනවිට එය දෑත් පිරිසිදුව තබා ගැනීම දක්වා වෙනස් වී තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ මග තොටදී මුහුණු ආවරණ පැළඳීමට තරම් අවශ්‍යතාවක් නොමැති බව ද දැන් සෞඛ්‍ය බලධාරීහු පවසති. මේවන විට වෙළඳ පොළ තුළ මුහුණු ආවරණවල හිඟයක් දක්නට ලැබෙන අතර ඒවායේ මිළ පාලනයට මැදිහත් වන්නට ද රජයට සිදුවිය.

මුඛ ආවරණ

''මුඛ ආවරණයක් පැළදීම වඩාත් සුදුසුයි''

ශ්‍රී ලංකා රජයේ නිල පුවත් ඇතුළත් News.lk ෆේස්බුක් ගිණුමේ ජනවාරි 27 වෙනිදා සඳහන් කර තිබුණේ ''කැස්ස,සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇති අයෙක් පොදු ස්ථානවලට හෝ ජනාකීර්ණ ස්ථානවලට යන්නේ නම්, මුඛ ආවරණයක් පැළදීම වඩාත් සුදුසු බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුගත් සමරවීර මහතා අද (27) රජයේ නිල පුවත් අඩවිය පැවසීය'' යනුවෙනි. ඊට අදාළ වීඩියෝ පටයක්ද පළකර තිබුණි.

මුඛ ආවරණ 

මීට අමතරව, ලෙඩරෝගවලින් ආරක්ෂාවීම පිළිබඳ සමාජ ජාල ඔස්සේ සෞඛ්‍ය අධ්‍යාපනය ලබා දෙන පාර්ශව ද මුඛ ආවරණ පැළදීමේ වැදගත්කම හා ඒවා නිවැරදිව පළදින ආකාරය ගැන ජනතාව දැනුවත් කිරීමට පළමුව පියවර ගෙන තිබුණි. මේ වන විට ඔවුන් ද මුඛ ආවරණ භාවිතයට වඩා දෑත් පිරිසිදුව තබා ගැනීම හා වෙනත් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම වඩාත් යෝග්‍ය බව පවසයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය මුඛ ආවරණ මිලදී ගැනීම සඳහා පියවර ගෙන ඇති බවට ද මාධ්‍ය වාර්තා පළ විය.

මේ තත්ත්වය පිළිබඳ අදහස් දැක්වූ මහනුවර ජාතික රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුෂාන්ත මැදගෙදර සඳහන් කළේ කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් අතර රෝග ලක්ෂණ නොපෙනෙන රෝගීන් සිටිය හැකි බැවින් ඔවුන් රට තුළට ඇතුළු වී තිබේ නම් අවදානම් තත්ත්වයක් උද්ගතවිය හැකි බවය.

මේ වනවිට ශ්‍රී ලංකාවට විශාල බලපෑමක් නැති වුවද ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳ නිශ්චිතව කිව නොහැකි නිසා ආරක්ෂක පියවර අනුගමනය කිරීම ඉතා වැදගත් බව ඔහුගේ අදහසය.

''කොරෝනා වෛරසයට පමණක් නෙමෙයි, ඕනෑම කෙනෙකුට උණ, කිවිසුම් යාම, උගුරේ අමාරුව වගේ රෝග ලක්ෂණ තිබේ නම් මාස්ක් එකක් දාන එක ඉතා සුදුසුයි. විශේෂයෙන් මේ දවස්වල ඉන්ෆ්ලුවෙන්සා තියෙනවා. වැදගත්ම දේ රෝග ලක්ෂණ නොපෙන්නන රෝගීන් ඕන තැනක ඉන්න පුළුවන්. ඒ වගේ අය ලෙඩේ අනිත් කට්ටියට බෝ කරනවා. මම කියන්නේ යම්කිසි කෙනෙකුට පුලුවන්නම් මුඛ ආවරණයක් දාගන්න, ඒක ඉතාම හොඳයි.''

 

මුඛ ආවරණ හිඟයක් :

මුඛ ආවරණ

මුහුණු ආවරණයක් පැළඳීම තමන්ට රෝග බෝවීම වළක්වා ගැනීමට මෙන්ම අන් අයට තමන්ගෙන් රෝග පැතිරයාම වළක්වා ගැනීමට ඉවහල්වන ආරක්ෂිත උපක්‍රමයකි. එබැවින් කොරෝනා වෛරසය ආසාදිත චීන කාන්තාවක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වීමත් සමගම මුඛ ආවරණ සඳහා ඉල්ලුම එක්වරම ඉහළ ගියේය.

ඒ තුළින් මුඛ ආවරණවල හිඟයක් රටපුරා ඇති වුණි. එමෙන්ම ඇතැම් වෙළෙන්දෝ අධික ලාභයක් ලැබීම සඳහා ඒවා වැඩි මිලට අලෙවි කරන්නට වූහ.

මේ ගැන පාරිභෝගික කටයුතු අධිකාරියට පැමිණිලි ලැබී තිබුණු අතර, පසුගිය සතියේ වෙළඳසල් 106ක් පරික්ෂා කිරීමට පියවර ඔවුහු පියවර ගත්හ. එහිදී වැඩි මිළට මුඛ ආවරණ අලෙවි කළ වෙළඳුන් පස් දෙනෙකු හඳුනා ගැණුනි.

වැඩි මිළට අලෙවිය වැළක්වීම සඳහා මුඛ ආවරණ සදහා ජනවාරි 29 වෙනිදා උපරිම සිල්ලර මිලක් නියම කර ඇත. එම මිළ සීමාවන් පහත දැක්වේ.

 

උපරිම සිල්ලර මිල මෙන්න :

 # ඉවත දැමිය හැකි මුඛ ආවරණ - නොවියන ලද (ලූපය සහිත හෝ ගැට ගසන) රුපියල් 15 යි.

 # ඉවත දැමිය හැකි ශල්‍ය මුඛ ආවරණ - නොවියන ලද (ලූපය සහිත හෝ ගැටගසන) රුපියල් 15 යි.

 # මුඛ ආවරණ (එන් 95 වර්ගය - අංශු ශ්වසන පෙරණය) රුපියල් 150 යි.

 

මුහුණු ආවරණ කඩිනමින් වෙළඳ පොළට නිකුත් කරන්නැයි උපදෙස්:

Face Marskමේ අතර ප්‍රමාණවත් මුඛ ආවරණ වෙළඳපොළට කඩිනමින් නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය දේශීය නිෂ්පාදකයන් තිදෙනෙකුට දැනුම් දී තිබේ. එහිදී ඔවුන් පවසා තිබෙන්නේ අමුද්‍රව්‍ය වැඩි වශයෙන් ගෙන්වන්නේ ද චීනයෙන් බැවින් එකවර නිෂ්පාදනය වැඩි කිරීමේ ගැටලුවක් ඇති බවය.

මේ පිළිබඳව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි ජනවාරි 28 වෙනිදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළාය.

''චීනයෙන් මුඛ ආවරණ ගේන්න සමහරු අහනවා. ඒක ඊට වඩා භයානක තත්ත්වයක්. මේ වෙලාවේ ලෝකේ ඉල්ලුම වැඩි නිසා හැම රටකම හිඟ තත්ත්වයක් තියෙන්නේ. ඒක නිසා ප්‍රධාන විකල්පය විදියට අපේ කර්මාන්ත ශාලාවලට උපදෙස් දුන්නා නිෂ්පාදනය වැඩි කරන්න කියලා. ඒ වගේම මුඛ ආවරණ ගෙන්නන්න බලාපොරොතු වෙන අයට නීතිමය අවශ්‍යතාවන් කඩිනමින් ඉටු කර දෙනවා,'' යනුවෙන් සෞඛ්‍ය ඇමතිනිය කියා සිටියාය.

 

සාර්ස් වසංගතයට වඩා භයානකයි !

කොරෝනා වෛරසය ගෝලීය හදිසි තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර ඇති අතර, මේ වනවිට සාර්ස් වසංගතය පැතිරුණු ප්‍රමාණයට වඩා පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

මාස අටක් පුරා සාර්ස් (Sars - severe acute respiratory syndrome) වසංගතය පැතිර ගිය අවස්ථාවේ 8,100 කට වැඩි පිරිසකට එය වැළඳී තිබුණි. කොරෝනා වෛරසය මේ වනවිට ලොව පුරා 10,000 කට වැඩි පිරිසකට ආසාදනය වී තිබේ. ඒ අතරින් 100 කට වැඩි පිරිසක් චීනයෙන් පිටත වෙනත් රටවලය.

 

වෛරසය ශරීරගත විය හැකි ක්‍රම:

කැස්ස සහ කිවිසුම් යාම ඔස්සේ රෝග කාරක වෛරසය ශරීර ගත විය හැකි බව විශේෂඥ මතයයි.

"ආසාදිත පුද්ගලයෙකුට කැස්සක් ඇති වූ විට හෝ කිවිසුම් ගිය විට ඒ අසල සිටින අයෙකු ඒ වෛරස් රෝගකාරක ශ්වසනය කරනවා. නැතිනම් කැස්සෙන් හෝ කිවිසුම් යාමෙන් පිට වූ වෛරස් රෝගකාරක අවට මතුපිට තැන්පත් වෙනවා. යම් අයෙක් ඒ මතුපිට ස්පර්ශ කර ඇස හෝ නාසය හෝ මුඛය ස්පර්ශ කළ විට වෛරසය ශරීර ගත විය හැකියි," යනුවෙන් හොංකොං විශ්වවිද්‍යාලයේ සමාජ සෞඛ්‍ය පිළිබඳ විද්‍යාතනයේ වෛරස් අධ්‍යයන විද්‍යාව අංශයේ මහාචාර්ය මලික් පීරිස් බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

වෛරසය අසාදිත පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සමීප ඇසුරකින්, රෝගී පුද්ගලයා කසින විට, කිවිසුම් පිට කරනවිට වාතය හරහා එන කෙළ බිඳිති මගින් මෙම රෝගය බෝවන බව වසංගත රෝග විද්යා අංශය පවසයි.

දියවැඩියාව, කාලින ශ්වසන රෝග හා වකුගඩු රෝග ඇති පුද්ගලයන්ට කොරෝනා වෛරසය ශරීර ගත වීමේ අවදානමක් පවතින බවට ද සෞඛ්‍ය බලධාරීහු අනතුරු අඟවති.

ඔවුන් පවසන පරිදි උණ, උගුරේ අසාදනය, කැස්ස, ශ්වසන අපහසුව බහුලව දැකිය හැකි රෝග ලක්ෂණ වේ.

කොරෝනා 

නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා

ශ්වසන රෝග සඳහා භාවිත කරන ආරක්ෂිත ක්‍රමවේද කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ද පිළිපැදිය හැකි බව වෛද්‍යවරු පවසති. අතර ඒ සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක පහත දක්වා ඇත.

   #  නිතරම තම දෑත් සබන් ගා සෝදා ගත යුතු අතර මෙය පොදු ස්ථානයක සිටී නම් කළ යුතුමය. සබන් වෙනුවට දෑත් පිරිසිඳු කරන වෙනත් ආදේශක වුවද භාවිත කළ හැකිය.

    # කසින විට සහ කිසිවුම් පිට කරන විට ලේන්සුවක් හෝ ටිෂූ කඩදාසියක් මුව සහ නාසය වසාගැනීම සඳහා භාවිත කළ යුතුය. ටිෂූ කඩදාසි භාවිතයෙන් පසු ක්‍රමානුකූලව ඉවත දැමිය යුතුය. කසින විට සහ කිවිසින විට වැලමිට නවා මුව සහ නාසය ආවරණය වන පරිදි එය කළ යුතුය.

    # සෑම විටම ශ්වසන රෝගීන් ඇසුරෙන් ඉවත් වී සිටිය යුතු අතර පොදු ස්ථානවල නිකරුණේ ගැවසීමෙන් වැළකී සිටිය යුතුය.

    # ශ්වසන රෝග ලක්ෂණ පහළ වුයේ නම් වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් හමුවී ප්‍රතිකාර ලබාගත යුතුය.

   #  මස්, මාළු ආහාරයට ගැනීමේදී හොඳින් පිසින ලද ඒවා ගත යුතුය.

    # වන සතුන්ගෙන් හෝ සත්ව ගොවිපළවල සේවය කරන්නේ නම් රෝගී සත්වයන්ගෙන් ඈත් වී සිටිය යුතුය. මියගිය සතුන් පරිභෝජනයට නොගත යුතුය.

 (උපුටා ගැනීම් - බීබීසී සිංහල සේවය)

 

සබැඳි පුවත් :

ශ්‍රී ලන්කන් ඔයාල කළේ මාර වැඩක්, නියම මිෂන් එකක්!!  

''කොරෝනා තර්ජනය පහව ගොස් නැහැ: මුව ආවරණ නොමිලේ දෙන්න'' -සජිත් කියයි (වීඩියෝ)

වූහාන් බලා ගොස් පැමිණි ගුවන් යානයට නිවාඩුවක් !

කොරෝනාවෛරසය: ලොවම ගිනිතබන 'ෆේක් නිව්ස්'

''ලංකාවේ කොරෝනා ප්‍රතිකාර නෑ. ශ්‍රී ලාංකීය සිසුන්ට චීනයේම ඉන්න කියයි'' :  දියතලවට ගෙනයන තීරණයට දැඩි විරෝධයක්!!

කොරෝනා වෛරසය : ලංකාවේ ඔබ දැනගත යුතු කරුණු කිහිපයක් !

‘වූහාන් හි සිසුන් ගෙන්වා ගැනීමට නොහැකි තත්වයක් ! - ආවත් වහාම හමුදා කඳවුරට !

ලංකාවෙන් කොරෝනාවෛරස් ආසාදිතයෙක් හමුවෙයි! - ආගිය තැන් සොයා ගැනේ !
 
කොරෝනා වෛරසය : චීනයේ සිටින ලාංකික සිසුන් මුහුණදී සිටින තත්වය මෙන්න

කොරෝනා වෛරසය : චීනය දින හයක් තුළ දැවැන්ත රෝහලක් ඉදිකරන හැටි මෙන්න ! -(BBC පුවත්)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්