මෙවර ලෝක කුසලාන එක්දින තරගාවලියේ පළමුවෙන්ම නැවත තම මව්බිම බලා පැමිණි

කණ්ඩායම වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමයි.

2019 වසරේ එංගලන්තයේ දී පැවති ලෝක කුසලාන එක්දින තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 06 වන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉන් සිව්වසරකට පසුව ද පළමු වටයෙන්ම ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.

නැවත ලෝක කුසලාන එක්දින තරගාවලියක් සඳහා සහභාගී වීමට තවත් වසර 04ක කාලයක් බලා සිටීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවේ.

මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට ද තීරණය කිරීමේ නිල නිවේදනය නොවැම්බර් මස 10 වැනිදා නිකුත් කරනු ලැබිය.

ඒ අනුව අද ( නොවැම්බර් මස 12 වෙනිදා) ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී මාධ්‍ය හමුවකට එක්විය. ඒ ක්‍රීඩා අමාත්‍යවරයාගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් විසින් ඊයේ ( නොවැම්බර් 11) පැවැත්වූ ආන්දෝලනාත්මක මාධ්‍ය හමු දෙකේ උණුසුම මැකී යාමටත් පළමුවයි.

'කණ්ඩායමට බලපෑමක් නෑ'

එහිදී මාධ්‍යවේදීයෙකු විමසා සිටියේ ඉන්දියාව සමග පැවති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට යම් ආකාරයක බලපෑමක් එල්ල වූයේද යන්නයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පැවසුවේ සිය කණ්ඩායමට කිසිදු බලපෑමක් කිසිවෙකුගෙන් එල්ල නොවූ බවයි.

"මෙවර ලෝක කුසලාන තරගාවලියේදී හොඳින් ක්‍රීඩා කිරීමට නොහැකිවීම ගැන සියලු ප්‍රේක්ෂකයින් ගෙන් සමාව අයදිනවා."

"ඉන්දියාවත් සමග තරගයේ දී දෙවන ඉනිමේදී තණ තීරුවේ ඇතිවූ වෙනස්කමත් සමග පන්දුවට පහරදීමට අපට අපහසු වුණා"

"ඉන්දියාව හමුවේ ලකුණු 50 කටත් ලකුණු 55 කටත් දැවී යාම සම්බන්ධයෙන් කණගාටු වනවා, ඉදිරියේදී ඉන්දියාව සමග හොඳින් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වනවා."

"එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේදී ලකුණු 50, 100ට හෝ ලකුණු 200 කට දැවී යන බවට සිතා ක්‍රීඩා කරන්න බැහැ." ඔහු පැවසුවේය.

'තරුණ ප්‍රතිපත්තිය' අසාර්ථක ද?

බීබීසී සිංහල විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් "තරුණ ප්‍රතිපත්තිය" මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට යාම අසාර්ථක වී තිබේ ද යන්න පිළිබඳ කළ විමසීමකට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන කියා සිටියේ වත්මන් ක්‍රිකට් කණ්ඩායම අනාගතය සඳහා ආයෝජනයක් වන බවකි.


"මේ කණ්ඩායම අවුරුදු දෙකක් වෙනවා එකට ක්‍රීඩා කරන්න පටන් අරන්. ලෝක කුසලාන තරගාවලිය කියන්නේ අභියෝගයක්."

"මේ තරගාවලියේදී අපිට බලපෑ ප්‍රධානම හේතුව ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාවය ගැටළු සහගත වීමයි. අපේ ප්‍රධාන පන්දු යවන්නන් 05 දෙනා මාස 16 කින් එකට එක් තරගයක් ක්‍රීඩා කරලා නැහැ."

"ඒ වගේම මේ තරගාවලියේදී පළමු කණ්ඩායම් 6-7 අතරට එයි කියලා පෞද්ගලිකව හිතුවා. නමුත් එහෙම වුනේ නැහැ."

"ඒ වගේම ලෝක කුසලාන තරගාවලියේදී අපේ ක්‍රීඩකයින් අතින් යම් අඩු පාඩු සිද්ධ වුණා. ඒ අඩු පාඩු මගහරවා ගන්න දිගටම ක්‍රීඩා කරන්න අවශ්‍යයි."

"අපේ පිතිකරණ, පන්දු යැවීම සහ පන්දු රැකීමේ අංශ තවත් දියුණු වෙන්න ඕන. නමුත් ක්‍රීඩකයින් මහන්සි වෙනවා." ඔහු කියා සිටියේය.


'ලෝකයේ පුහුණුකරුවන් වෙනුවෙන් ගෙවන වැටුප් ප්‍රමාණයක් තිබෙනවා'

මෙහිදී ඉන්දියාව සමග වන්කඩේ ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු යැවීමට තීරණය කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ප්‍රශ්නයක් නැගුවේය.

ඊට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක මහේල ජයවර්ධන පැවසුවේ වන්කඩේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පළමුවෙන් පන්දුවට පහරදීමට සැලසුම් කර තිබුණද රාත්‍රී කාලයේ පින්න ඇතිවීම නිසා දෙවන අවස්ථාවේදී පන්දුවට පහරදීමට තීරණය කළ බවයි.

"එදා තරගයේදී රෝහිත් දෙවැනි පන්දුවේදී දැවී ගියා. මොකද ඔහුත් පුදුම වුණා තණ තීරුව හැසිරුණු ආකාරය ගැන."

"එම තරගයේදී උඩ පන්දු දෙකක් ගිලිහුණා. පළමු පන්දු වාර 10 යේදී ඔවුන් පන්දුවේ දෝලනයත් එක්ක පරිස්සම් වුණා. නමුත් අර උඩ පන්දු දෙකත් අල්ලලා ඉන්දියාව ලකුණු 250 කට සීමා කර ගන්න හැකිවුණා නම් තරගයේ ප්‍රතිඵලය මීට වඩා වෙනස් වෙන්න තිබුණා." ඔහු කියා සිටියේය.

මේ අතර ඉන්දියාව සමග පැවති තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය නොකිරීම පිළිබඳ තමන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයෙකු එල්ල කළ චෝදනාව ගැන ද මහේල ජයවර්ධන අදහස් දක්වා සිටියේය.


පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ හිදිමින් මන්ත්‍රීවරයෙකු විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් තමන් පිළිතුරු දීමට කටයුතු නොකරන බව මහේල ජයවර්ධන පැවසිය.  එමෙන්ම කිසියම් අයෙකුට ඒ සම්බන්ධයෙන් යම් තොරතුරක් තිබේනම් ක්‍රීඩා අමාත්‍යාංශයේ ඇති විශේෂ ඒකකයට ඒ පිලිබඳව දැනුම් දීමට හැකි බව මහේල ජයවර්ධන කියා සිටියේය.

 

මේ අතර ලෝක කුසලාන තරගාවලිය අතර වාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන්ගේ වැටුප් පිළිබඳ මාධ්‍ය තුළින් ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහේල ජයවර්ධන පැවසුවේ එය එසේ සිදුවීම ගැන කණගාටු වන බවයි.

"පුහුණුකරුවන් බොහෝ කැපවීම් කරනවා සැලසුම් සකස් කරන්න. ඒ වගේම කණ්ඩායමේ ක්‍රීඩකයින් සමග පුහුණුවීම් සිදුකරනවා. "

"ලෝකයේ පුහුණුකරුවන් වෙනුවෙන් ගෙවන වැටුප් ප්‍රමාණයක් තිබෙනවා. "

"ජාත්‍යන්තර කණ්ඩායම් සමග මම වැඩ කරද්දී ගෙව්ව වැටුප එක්ක බලද්දී මට මෙහෙදී ගෙවන වැටුප සාමාන්‍යයෙන් සති 4-5 කට සරිලන වැටුපක්. නමුත් මම බොහොම කැමැත්තෙන් මේ දේ කරන්නේ."

"අපි වෘත්තීය මට්ටමකින් මේ දේ කරන්නේ...පුහුණුකරුවන් කැපවීමෙන් කටයුතු කරන්නෙ..ඒවට තමයි ඔවුන්ගේ වේතන ලැබෙන්නේ නියාමනයක් ඇතුව...කරන කෙනාගේ කකුලෙන් අදින එක තමයි මේ රටේ චාරිත්‍රය...අපි අපි කරන දේ අනුව තමයි අපේ වේචන ලැබෙන්නේ...ජනතාවට වැරදි දේවල් ප්‍රචාරය කරන එක ගැන කණගාටු වෙනවා..විදෙස් පුහුණ කරුවන්ටත් ගෙවපු මේ තැනම අපිටත් ගෙවන්න ඕනේ..."

"නමුත් අපේ කර්තව්‍යය හොඳ නැත්නම් වෙන අය ගේන්න ක්‍රිකට් පාලනය කරන අයට හැකියාව තියෙනවා." ඔහු කියා සිටියේය.


'මම කණගාටුවෙනවා අර විදිහේ පිළිතුරක් දුන්න එක ගැන'

ශ්‍රී ලංකාව ඉන්දීය කණ්ඩායම හමුවේ භීතිකාවකින් පසුවනවාදැයි මෙහිදී බීබීසී සිංහල සේවය විසින් යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් නායක කුසල් මෙන්ඩිස් පැවසුවේ එවැනි බියක් නොමැති බවත් අනෙක් කණ්ඩායම් සමග ක්‍රීඩා කරන ආකාරයෙන් තමන් ඔවුන් සමග ද ක්‍රීඩා කරන බවයි.

එමෙන්ම ඉන්දියාව සමග තරගවලදී ඇතිවූ පසුගාමිත්වයට හේතුව පිතිකරුවන් පිතිකරණයේ දී ගනු ලැබූ තීරණ බවත්, ඇති අඩු පාඩු මගහරවා ගැනීමට මහන්සිවී කටයුතු කළ යුතු බවත් ඔහු කියා සිටියේය.

මේ අතර විරාත් කෝලිගේ 49 වෙනි ශතකය වාර්තා කිරීම සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ජාවකදී ලබාදුන් පිළිතුර පිළිබඳව ද මෙහිදී මාධ්‍යවේදීන් නායක කුසල් මෙන්ඩිස්ගෙන් ප්‍රශ්න කළේය.

එයට පිළිතුරු දෙමින් කුසල් මෙන්ඩිස් පැවසුවේ එවැනි පිළිතුරක් ලබාදීම සම්බන්ධයෙන් තමන් කණගාටු වන බවයි.

" මම එදා ප්‍රැක්ටිස් කරන් ඉද්දී ප්‍රෙස් එකට කතා කළේ. මම එතනට යද්දී දන්නේ නැහැ විරාත් කෝලි කොච්චර ලකුණු ගහලද හිටියේ කියලා. නමුත් මැච් එකක් යනවා කියලා දන්නවා."

"එතැනට ගිහින් ඉද්දි අර අහපු ප්‍රශ්නයට මම දුන්න පිළිතුර ගැන මම කණගාටු වෙනවා. පිතිකරුවෙක් විදිහට ශතක 49ක් ගහනවා කියන එක ලේසි නැහැ කියලා මම දන්නවා."

"ඒ වගේම ඉන්දියන් ප්ලේයර්ස්ලත් අපේ ක්‍රීඩකයෝ ගැන එක එක දේවල් කියලා තිබුණා. මම කැමති නැහැ මගේ රටවත්, ටීම් එකවත් පල්ලෙහාට දානවට කවුරුවත්."

"නමුත් මම කණගාටුවෙනවා අර විදිහේ පිළිතුරක් දුන්න එක ගැන." ඔහු පැවසීය.

ක්‍රිකට් තහනම හා ක්‍රීඩකයින්ගේ මානසික සුවතාවය


මේ අතර දැනට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තහනම පිළිබඳ නායක කුසල් මෙන්ඩිස් අදහස් දක්වමින් පැවසුවේ ඉක්මණින් එම තහනම ඉවත් වී නැවත ක්‍රීඩා කිරීමට අවස්ථාවක් උදාවෙනු ඇති බවට බලාපොරොත්තුවෙන් සිටින බවයි.


" අපි ඉක්මනින් මේක අවසන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නැවත අපේ පුහුණුවීම් පටන් ගන්න බලන් ඉන්නවා."

"අපේ ක්‍රිකට් ඉස්සර තිබුන තැනට ගේන්න කැපවෙලා කටයුතු කරනවා. ඉදිරියේදී අපිට තව ලෝක කුසලාන 3-4ක් තියෙනවා."

"අපි කවදාවත් යන්නේ නැහැ පරදින්න. අපිට වරදින වෙලාවට දාන පෝස්ට් එහෙම දකිනවා. මටත් පහුගිය අවුරුදු දෙක තුනේදී මේ වගේ දේවල් කළා. අලුත් ප්ලේයර්ස්ලට මෙහෙම වුනාම මානසිකව වැටෙනවා."

"ඒ නිසා අපි නරකට කරද්දී පුලුවන්නම් අපි හොදට සෙල්ලම් කරපු වීඩියෝ ෂෙයාර් කරලා දිරිගැන්වීමක් කරන්න කියලා ඉල්ලනවා." ඔහු පැවසුවේය.

මෙයට අමතරව ක්‍රීඩකයින්ගේ මානසික සුවතාවය සම්බන්ධයෙන් මනෝ විද්‍යාඥවරයෙකුගේ සහාය කණ්ඩායමට ලැබීමේ අවශ්‍යතාවය, මාධ්‍ය හැසිරවීමේදී හා ප්‍රතිචාර දැක්වීමේදී දැක්විය යුතු පරිණත භාවය සම්බන්ධයෙන් පුහුණුවීමේ අවශ්‍යතාව ද කණ්ඩායමේ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන අවධාරණය කළේය.

(BBC සිංහල සේවය) 

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්