The Leader News
BREAKING
Top Ad
පුවත්

වසරක් තුළ ආණ්ඩුව කළේ විශ්‍රාමික ජනපතිවරු නිල නිවසෙන් එළියට දැමීම විතරයි - උදය ගම්මන්පිල

T

The Leader Desk

October 28, 2025 • 4:05 AM

වසරක් තුළ ආණ්ඩුව කළේ විශ්‍රාමික ජනපතිවරු නිල නිවසෙන් එළියට දැමීම විතරයි - උදය ගම්මන්පිල

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ: වංචනික ආණ්ඩුවේ මුග්ධ පාලනයට එරෙහිව යන තේමාව යටතේ ඊයේ (27) මහජන හඬ සංවිධානය විසින් සංවිධානය කරන ලද මාධ්‍ය හමුව අමතමිනි.
  • පසුගිය සැප්තැම්බර් 23 දිනට ජනපති පදවි ප්‍රාප්තියට හරියටම වසර යි.
  • ඒ දවස වන විට මාලිමාවේ මැතිවරණ ප්‍රකාශනයේ තිබුණු පොරොන්දු 1,329න් එකක්වත් ඉටු කර තිබුණේ නෑ.
  • හැබැයි ඒ නිදහසට කාරණය නොවැම්බර් 14 පාර්ලිමේන්තු මැතිවරණයෙන් අවසන් වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ: වංචනික ආණ්ඩුවේ මුග්ධ පාලනයට එරෙහිව යන තේමාව යටතේ ඊයේ (27) මහජන හඬ සංවිධානය විසින් සංවිධානය කරන ලද මාධ්‍ය හමුව අමතමිනි.

කොළඹ නිපෝන් හෝටලයේ පැවති මෙම මාධ්‍ය හමුවට විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින් සහභාගී විය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල...

ආණ්ඩුව ඉටු කළ, ජනතාවට ප්‍රයෝජනයක් නැති පොරොන්දු

''මේ මාධ්‍ය හමුව සංවිධානය කළ ''මහජන හඬ'' දේශපාලන පක්ෂ සහ ස්වාධීන හිටපු මැති ඇමතිවරුන්ගේ එකතුවක්.  සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, පොදුජන පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, එක්සත් මහජන පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය සහ නව ජනතා පෙරමුණත් තවත් හිටපු මැති ඇමතිවරු විශාල ගණනකුත්  මහජන හඬ නියෝජනය කරනවා. පසුගිය අප්‍රේල් මාසයේ සිට සති පතා හමුවෙමින්මේ රටේ දේශපාලනය පිළිබඳ සංවාද කරමින් ගත යුතු ගත හැකි ඉදිරි  ක්‍රියාමාර්ග ගැන තීන්දු ගත්තා ඒවා ක්‍රියාත්මක කළා.

පසුගිය සැප්තැම්බර් 23 දිනට ජනපති පදවි ප්‍රාප්තියට හරියටම වසර යි. ඒ දවස වන විට මාලිමාවේ මැතිවරණ ප්‍රකාශනයේ තිබුණු පොරොන්දු 1,329න් එකක්වත් ඉටු කර තිබුණේ නෑ.  ඒ ගැන අපි ප්‍රශ්න කළා ම ආණ්ඩුව පැත්තෙන් කිව්වේ ජනාධිපතිතුමා පත් වුනාට ඇමති මණ්ඩලය හිටයේ තුන්දෙනයි. පාර්ලිමේන්තු බහුතරය අපිට තිබුණේ නෑ යනාදි නිදහසට කරුණු ඉදිරිපත් කළා. හැබැයි ඒ නිදහසට කාරණය නොවැම්බර් 14 පාර්ලිමේන්තු මැතිවරණයෙන් අවසන් වුණා.

 නොවැම්බර් 14 වන විට වර්තමාන ආණ්ඩුවට පාර්ලිමේන්තු මැතිවරණය පවත්වලා වසරක් සම්පුර්ණ වෙනවා. නමුත් තවමත් දුන් පොරොන්දුවලින් ඉටු කරලා තියෙන්නේ විශ්‍රාමික ජනපතිවරු නිල නිවසෙන් එළියට දානවා වැනි ජනතාවට ප්‍රයෝජනයක් නැති පොරොන්දු කිහිපයක් පමණයි.  ඒ නිසා වගකිව යුතු විපක්ෂයක් විධියට දුන් පොරොන්දු ඉටු කරනු කියා ජනතාව වෙනුවෙන් ආණ්ඩුවට සිහිපත් කරන්න ආණ්ඩුවට බල කරන්න අපට වගකීමක් යුතුකමක් තියෙනවා. ඒ යුතුකම ඉටු කළ යුතුයි කියලා අපි කල්පනා කළා.

සැකකරුවකුට මරණ දඬුවම දෙන්න අධිකරණයටවත් බැහැ

කොටි ත්‍රස්තවාදයේ පරාජයෙන් පසු කිසිම කලක නොවුණු විධියට දැවැන්තම ජීවිත අවදානම මතු වෙලා තියෙනවා. වර්තමාන ආණ්ඩුව මේ රටේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය උතුරා ගෙන තියෙනවා. ලසන්ත වික්‍රමසේකර අධිකරණය ඉදිරියේ සැකකරුවෙකු පමණයි.  සැකකරුවකුට මරණ දඬුවම දෙන්න අධිකරණයටවත් බෑ.  අධිකරණයට මරණ දඬුවම නියම කළ හැක්කේ වැරදිකරුවෙකුට පමණයි. ඒත් ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් ජනපතිට විතරයි. අද ජනාධිපතිගේ විධායක බලයත් උසාවියේ අධිකරණ බලයත් දෙකම පාතාලයට විමධ්‍යගත කරලා.

ඒ වගේ ම අපි දැක්ක නගරාධිපතිවරයෙක් කියනවා ලක්ෂයක් මරලා හරි බලය රැක ගන්න සුදානම් කියලා. ඒ  ලක්ෂයෙන් පළමු කෙනා වැලිගම සභාපතිතමා ලසන්ත වික්‍රමසේකර ද කියන ප්‍රශ්නය මතු වෙනවා. මේ ආණ්ඩුව එක් පැත්තකින් සමාජයට ප්‍රචණ්ඩත්වය මුදා හරිනවා විතරක් නෙමෙයි. විරුද්ධ පක්ෂවල කාර්යාල ආණ්ඩුවේ මැති ඇමතිවරු පොලිස් ආරක්ෂාව යටතේ ගිහිල්ලා අත්පත් කර ගන්නවා අපි දැක්කා. මෙවැනි තත්ත්වයක් තිබ්බේ හිට්ලර්ගේ ජර්මනියේ විතරයි. ශ්‍රී ලංකා පොලිසිය අද හිට්ලර්ගේ ගෙස්ටාපෝ පොලිසිය වගේ වෙලා.


අද ශ්‍රී ලංකාව තුළ ෆැසිස්ට්වාදය මතු වෙමින් පවතිනවා
 
එදා හිට්ලර්ගේ ජර්මනියේ ෆැසිස්ට්වාදය මතු වන විට ඒකෙන් සමස්ත ලෝකය ම බියෙන් ඇලළුණා ම  අන් රටවල් තමන්ගේ තිබුණු මතවාදි වෙනස්කම් ඓතිහාසික කෝන්තර අමතක කරලා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සමගි වුණා.  සමාජවාදි සෝවියට් දේශයේ නායක ජෝසෆ් ස්ටාලින්, ධනවාදි ඇමෙරිකාවේ නායක ෆ්‍රෑන්ක්ලින් ඩී රූස්වෙල්ට්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදි බ්‍රිතාන්‍යයේ නායක වින්ස්ටන් චර්චිල් එකට එකතු වෙලා ෆැසිස්ට්වාදය පරාජය කරන්න ප්‍රජාත්‍රන්තවාදය රැක ගන්න සමගි වුණා. අද ශ්‍රී ලංකාව තුළත් ඒ ෆැසිස්ට්වාදය මතු වෙමින් තියෙනවා.

තුන්වරක් ප්‍රචන්ඩත්වයෙන් බලය ලබා ගන්න කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණට ප්‍රචන්ඩත්වයෙන් බලය ලබා ගන්න නොහැකි වුනත් නොසිතු මොහොතක නොහිතු විදියට ජවිපෙ ඔඩෝක්කුවට බලය කඩා පහත් වෙලා තියෙනවා. අවසනාවට එදා ජනාධිපතිතුමාගේ නැත්නම් අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ඇඟ තුල නිදා ගෙන හිටිය ඇඩොල්ෆ් හිට්ලර්  දැන් අවදි වෙමින් ඉන්නවා. ඒ නිසා වගකිව යුතු  විපක්ෂයක් විදියට අපි කල්පනා කළා ජනතාවගේ ජීවත්වීමේ අයිතිය රැකලා දෙන්න; ප්‍රජාත්‍රන්තවාදය රැක ගන්න. අපි අතර පවතින මතවාදි වෙනස්කම් පැත්තකින් තියලා, ඓතිහාසික ගැටුම් පැත්තකින් තියලා, පෞද්ගලික කෝන්තර සියල්ලම පැත්තකින් තියලා, සමගි වෙලා  ජනතාවගේ ජීවත් වීමේ අයිතිය ජනතාවට ලබා දෙන්න කියලා ආණ්ඩුවට බල කරන්න. 

විශ්වයෙන් ම ඔබ සිටිය යුතු එකම තැන...

මේ නිසා ආණ්ඩුවේ වසර සම්පුර්ණ වීමත් ජනතාවට ප්‍රජාත්‍රන්තවාදයේ අයිතිය අහිමි වීමත් කියන සියල්ලම පදනම් කරගෙන මේ පක්ෂ සියල්ලම එක් වෙලා නොවැම්බර් 21 සවස 2ට නුගේගොඩ දී මහා ජන රැළියක් පැවැත්වීමට සුදානම් වෙලා ඉන්නවා. මේ රටේ ප්‍රජාත්‍රන්තවාදය රැක ගත යුතුයි කියලා කවුරු හරි විශ්වස කරනවා නම්. මේ රටේ ජනතාවගේ ජිවත්වීමේ අයිතිය රැක ගත යුතුයි කියලා කවුරු හරි විශ්වස කරනවා නම්. මේ ආණ්ඩුවේ බොරුවට භීෂණයට දූෂණයට වහාම තිත තැබිය යුතුයි කියා ඔබත් විශ්වාස කරනවා නම් නොවැම්බර් 21 දා සවස මේ මහා විශ්වයෙන්ම ඔබ සිටිය යුතු එකම තැන නුගේගොඩ පමණමයි. කියන එක අපි සිහිපත් කරනවා.'' 

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මහ ලේකම් සාගර කාරියවසම්, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරළ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති මහින්ද අමරවීර, හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ද  මෙහිදී අදහස් දැක්වීය.

එක්සත් මහජන පක්ෂය නියෝජනය කරමින් එහි ලේකම් ටිරාන් අලස්, ශ්‍රී ලංකා මහජන පක්ෂය නියෝජනය කරමින් එහි නායක අසංක නවරත්න, නව ජනතා පක්ෂය නියෝජනය කරමින් එහි නායක සුගීෂ්වර බණ්ඩාර යන අය ද, පක්ෂ නියෝජිතයන් ලෙසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩීවී චානක, හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග, හිටපු අමාත්‍ය සාගල රත්නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, මොහොමඩ් මුසාමිල්, අජිත් රාජපක්ෂ, නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත, යන අය ඇතුළු පිරිසක්ද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.
 
maha jana hada
 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...