වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් අහෝසි කරමින් නිකුත් කළ ගැසට් නිවේදන මාලාවක් වෘත්තීය සමිති විරෝධය හමුවේ හකුලා ගැනීමට ආණ්ඩුවට සිදු වී තිබේ.
ජනාධිපතිවරයා ප්‍රමුඛ මාලිමා ආණ්ඩුවේ මෙම කම්කරු විරෝධී තීරණය පසු බැස්සවීමට හැකිවීම මෑත කාලීනව තමන් විසින් ලබා ගත් විශිෂ්ඨ ජයග්‍රහණයක් බව වෘත්තීය සමිති නායකයෝ පවසති.
කොළඹ වරාය නගරයේ ආයෝජනය කර ඇති බ්‍රවුන්ස් සමාගම අනුබද්ධ සිලෝන් රියල් එස්ටෙට් හෝල්ඩින්, ක්ලොත්ස්පින් කළමනාකරණ සහ සංවර්ධන, අයි.එෆ්.සී කොළඹ, අයි.සී.සී පෝර්ට් සිටි යන ව්‍යාපාරික දැවැන්තයන් ‘ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාර’ ලෙස සලකා සහන ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අංක 2445/2, 2445/3, 2445/4 සහ අංක 2445/5 දරන ගැසට් නිවේදන නිකුත් කරනු ලැබුවේ ඉකුත් ජුලි 14 වැනිදාය. ඒ සඳහා ජූලි 1 දා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බව ජනාධිපතිවරයා සිය නිවේදන මගින් පවසයි.
කම්කරුවන් හිතුමතේ රැකියාවෙන් පහකිරීම වලක්වාලමින් අඩසියවසකට වැඩි කාලයක් බලපැවැත්වුණු සේවය අවසන් කිරීමේ පනත බල රහිත කිරීමට ආණ්ඩුව විසින් ගන්නා ලද තීරණයට එරෙහිව වෘත්තීය සමිති විසින් අභියාචනාධිකරණයේ නඩුවක් පවරා තිබිණි.
එම නඩුව සඳුදා [27] කැඳවූ අවස්ථාවේදී ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටී නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයා දන්වා සිටියේ අදාළ ගැසට් නිවේදනය ආපසු කැඳවීමට ආණ්ඩුව තීරණය කර ඇති බවයි.
ඒ අනුව වරාය නගරයේ ව්‍යාපාර පවත්වාගෙන යන සමාගම් හතරකට සේවය අවසන් කිරීමේ පනත වලංගු නොවන බවට ජනාධිපතිවරයා නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදන හතර අහෝසි කරමින් අදාළ පනත පෙර පැවති අයුරින්ම මුළු රටපුරාම ක්‍රියාත්මක කළ යුතු බවට කම්කරු කොමසාරිස්වරයාට අධිකරණය මගින් දන්වා ඇත.
වරාය නගරයේ සමාගම් හතරකට බදූ සහන සලසමින් කම්කරු නීති බලාත්මක නොවන මෙම අති විශේෂ ගැසට් නිවේදන නිකුත් කරනු ලැබුවේ “කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන සහ අමාත්‍යය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව” බව ජනාධිපති අනුර කුමාර දිසානායක සිය අත්සනින් යුතුව ප්‍රකාශ කර තිබේ.
කම්කරු අයිතීන් සුරකින බවට ප්‍රතිඥා දී බලයට පත් මාලිමා ආණ්ඩුවේ ආයෝජන හිතවාදී මෙම ක්‍රියාමාර්ගය වෘත්තීය සමිති නායකයන් විසින් හෙලා දැක තිබුනේ ‘එක රටක නීති දෙකක්’ලෙසිනි.
``වරාය නගරය පිහිටුවීමට එරෙහිව එදා පැවති දැවැන්ත විරෝධතාවයේ ප්‍රබල කොටස් කාරයෙකු වූ ජනාධිපතිවරයා විසින්ම ඊට සහන ලබා දීම මගින් එක් රටක් තුල තවත් රටක් බිහි කිරීමක් හා නීති දෙකක් ක්‍රියාත්මක වීමක්,`යැයි නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවක සංගමයේ සම ලේකම්, ඇන්ටන් මාක්ස් පවසයි.
එකතුකළ අගය මත බදු හෙවත් වැට් බදු වලින්, මුදල් පනතේ විධිවිධාන වලින්, සුරා බදු වලින්, රේගු බදු වලින්, වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බදු හෙවත් පැල් බදු වලින්, අපනයන සංවර්ධන පනතෙන් , කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ පනතින්, හා විදේශ විනිමය පනතින් එම සමාගම් හතර නිදහස් කර තිබුනේ වසර 25 ක වැනි දිගු කාලයක් සඳහා ය.
මෙම ගැසට් නිවේදන මගින් කම්කරු නීති වරාය නගරයේ සමාගම් වලට අදාළ නොවීමට එරෙහිව අංක 875/2025 යටතේ පෙත්සමක් මගින් නඩුවක් ගොනු කරනු ලැබුවේ ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවක සංගමය, කොමියුනිස්ට් පක්ෂයට අනුබද්ධ ලංකා වෘත්තීය සමිති සම්මේලනය, ලංකා වතු සේවා සංගමය ඇතුළු තවත් සමිති තුනක් ඒකාබද්ධවයි.
කම්කරුවන් 15 දෙනෙකුට වැඩිය සේවය කරන ආයතනවල කම්කරුවන්ගේ රැකියා සුරක්ෂිතතාව වෙනුවෙන් වූ 1971 අංක 45 දරන සේවය අවසන් කිරීමේ පනත මෙම සමාගම් හතර සඳහා බලාත්මක නොවීම මගින් බරපතල අර්බුදයක් මතු විය හැකි බවයි වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.
සේවය අවසන් කිරීම පනත යටතේ ඕනෑම කම්කරුවකු විනය නොවන කරුණක් මත ඔහුගේ ස්වකැමැත්ත මත සේවය අවසන් කළ හැකි අතර කම්කරු කොමසාරිස් වරයාට ලිඛිතව දැනුම් දීමෙන් අනතුරුව සාධාරණ හේතු ඇත්නම් කොමසාරිස් වරයා විසින් සේවය අවසන් කිරීමට අනුමැතිය දෙනු ඇත. අදාළ ගැසට් නිවේදනය මගින් වරාය නගරයේ ක්‍රියාත්මක මෙම සමාගම් හතරේ කම්කරුවන්ගේ සේවය හාම්පුතුන්ට හිතු මනාපෙට අවසන් කළ හැකිය.
ජේ ආර්ටත් බැරිවුනු දේ
``1977 බලයට ආපු ජේ.ආර්. ජයවර්ධන මුලින්ම නිදහස් වෙළෙඳ කලාප ඇති කළෙත් මහ කොළඹ ආර්ථික කොමිසම් පනත යටතේ නිදහස් වෙළෙඳ කලාප වල කම්කරු නීති ක්‍රියාත්මක නොවන කලාපයක් කරලා. ඒත් ඒ ක්‍රියාදාමයට එරෙහිව වෘත්තීය සමිති විසින් අධිකරණය වෙත ගොස් ලබා ගත් නඩු තීන්දුවක් තියෙනවා. එදා ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වේ එක රටක නීති දෙකක් ක්‍රියාත්මක වෙන්න බැහැ කියලා,``යැයි වෘත්තීය සමිති නායක ඇන්ටන් මාක්ස් පෙන්වා දෙයි.
1971 අංක 45 දරන සේවය අවසන් කිරීමේ පනත ගෙන ඒමට පසුබිම වුයේ 70 දශකයේ මුල නිෂ්පාදනයට අමුද්‍රව්‍ය නොමැති බව පවසමින්, කම්හල් වසා දමමින්, දහස් ගණන් කම්කරුවන් දොට්ට දමමින්, පෞද්ගලික අංශයේ හාම්පුතුන් ගෙන ගිය ක්‍රියා පිළිවෙත වළක්වාළිමේ අරමුණු ඇතිවය.
``70 කාලයේදී මාසයකට වැඩි කාලයක් පුද්ගලික අංශයේ 70 කටත් වඩා කර්මාන්ත ශාලාවල කම්කරුවෝ වර්ජනය කරමින් තමයි සමගි පෙරමුණු ආණ්ඩුවෙන් මේ පනත සම්මත කර ගත්තේ. අපේ දිවංගත බාලා තම්පෝ සහෝදරයා තමා පනත සකස් කරන්න මුල් වුනේ,’`යැයි ලංකා වෙළෙඳ, කාර්මික හා පොදු සේවක සංගමයේ (CMU) ප්‍රධාන ලේකම්, සෙල්ලයියා පලනිනාදන් සඳහන් කරයි.
සී.එම්.යු. ප්‍රධාන ලේකම්වරයා අවධාරණය කරන්නේ, කම්කරුවන්ගේ රැකියා සුරක්ෂාවට හා සාධාරණයක් ඉටු කිරීමට බල කරන වගන්ති ඇතුලත් මෙම පනත සකස් කිරීමට මුල්වූ වෘත්තීය සමිතියක් ලෙස එය තවදුරටත් රැක ගැනීම තම වගකීමක් බවයි.





