හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ විමර්ශනය කඩිනමින් අවසන් කර ඊට සම්බන්ධ තවත් සැකකරුවන් සිටී නම් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර අද (ඔක්තෝබර් 29 වැනිදා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
මෙම නඩුව අද දහවල් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින සැකකාර රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ අධිකරණය හමුවේ පෙනී සිටියහ.
ඉන් අනතුරුව විමර්ශනවල ප්‍රගතිය අධිකරණය හමුවේ පැහැදිලි කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා "ස්වාමීනී.. මෙම සැකකරුට ඇප ලබා දීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කළා. මෙම විමර්ශනයට අදාළව එවක බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරිය වශයෙන් කටයුතු කළ සරෝජා සිරිසේනගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍යව තිබෙනවා.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ තමා මෙම නඩු ගොනුවේ සිද්ධිමය කරුණු ගැන අධ්‍යනය කර තිබෙන බවයි.
එම නිසා මෙම විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටියේ ය.
ඊට ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා "මෙම සැකකරු බ්‍රිතාන්‍ය සංචාරයේදී සැප්තැම්බර් මස 22 සහ 23 යන දිනවල රුපියල් මිලියන 16කට අධික මුදලක් වැය කර ඇති බවට අනාවරණය වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා." යනුවෙන් සඳහන් කළේය.
'ඇප නියෝගය යළි සලකා බැලිය යුතුයි'
ඊට පිළිතුරු දුන් දිලීප පිරිස් "ඔව් ස්වාමීනී... මේ සම්බන්ධයෙන් යළි සලකා බැලිය යුතුයි. එදා අපි ඉල්ලීමක් කළා දැඩි සත්කාර ඒකකයේ සිටින මේ සැකකරුගේ රෝගී තත්ත්වය ගැන කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා ඇතුළු වෛද්‍යවරු තුන්දෙනෙකු මාර්ගයන් පරීක්ෂණයක් කළ යුතු බව. අදත් අපි ඒ ඉල්ලීම කරනවා. මොකද රක්ෂිත බන්ධනාගාර ගත කළ පසුව මේ සැකකරු පැයක්වත් බන්ධනාගාරයේ හිටියේ නැහැ. රිමාන්ඩ් කළ පසුව ජාතික රෝහලේ වාට්ටුවකට ඇවිල්ලා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් වුණා. මේ සැකකරු දැඩි සත්කාර ඒකකයේ තඩි පොතක් තියාගෙන කියවනවා ඡායාරූපවලින් දක්වා තිබුණා.
වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා "ස්වාමීනි බ්‍රිතාන්‍ය පෞද්ගලික සංචාරයක නිරත වෙමින් මෙම සැකකරු පැය තිස් හයකට රුපියල් මිලියන 16 කට වැඩි මුදලක් වැය කර තිබෙනවා. මෙම සැකකරු 2022 වසරේ ජූලි මස 11 වන දා සිට 2024 වසරේ සැප්තැම්බර් මාසය දක්වා ජනාධිපති ධූරයේ කටයුතු කරලා තිබෙනවා. ජනාධිපතිවරයෙකුගේ මූලික වැටුප රුපියල් 97,500ක් පමණයි. ඒ අනුව ඔහු ධූරයේ සිටි කාලය තුළ රුපියල් 2,540,947.00 ක් මුදලක් වැටුප් වශයෙන් ලබාගෙන තිබෙනවා. නමුත් බ්‍රිතාන්‍ය සංචාරයේදී පැය තිස් හයකට රුපියල් මිලියන 16 කට වැඩි මුදලක් වැය කර තිබෙනවා. ඒ කියන්නේ පැයකට ඔහු විසින් වැය කළ මුදල රුපියල් 450,000.00 ක්. විනාඩියකට රුපියල් 7500 මුදලක් වැය කර තිබෙනවා" යනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් වරයා සඳහන් කර සිටියේ ය.
අපි ඉල්ලීමක් කරනවා මේ සිද්ධියේ සත්‍ය හොයන්න කියලා. පොලිස් කණ්ඩායමක් බ්‍රිතාන්‍යයට ගිහිල්ලා හරි මේ කරුණට අදාළ සත්‍ය සොයාගත යුතුයි. මොකද ඔහුට අදාළ විශ්වවිද්‍යාලයෙන් ආරාධනා කරන ලිපියක් අපි පොලිසියට ඉදිරිපත් කළා. එහෙත් එවැනි ලිපියක් තිබියදී තමයි පොලිසිය ඔහුව අත්අඩංගුවට ගත්තේ. මේක හරිම අසාධාරණයි. ඔහු අවුරුදු පනහක පමණ අත්දැකීම් තිබෙන නීතිඥවරයෙක්. ඔහු රුපියල් මිලියන 16 කට වඩා වැඩි සේවයක් කරලා තිබෙනවා." යනුවෙන් සඳහන් කර සිටියේ ය.
එහිදී වැඩිදුරක් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් "ස්වාමීනි... ඔහු අවුරුදු පනහක් සේවය කරපු නීතිඥවරයෙක් කියලා නම් කියන්න බෑ. ඔහු හිටපු ජනාධිපතිවරයෙක්. ඔහු විසින් නිල ආරාධනාවක් කළ බවට ඉදිරිපත් කරන ලිපිය කූට ලේඛනයක් හැටියට අපි තවමත් කියනවා. ඔහු මරණාසන්න රෝගී තත්ත්වයකින් පසු වන බව කියල තමයි ඇප ලබාගත්තේ. ඉන් පසුව ඒ සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබා ගත්තද? ශල්‍යකර්මයක් කළාද?" යනුවෙන් ප්‍රශ්න කළේය.
ඊට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති නීතිඥ තිලක් මාරපන "ප්‍රතිකාර ලබා ගත්තා ස්වාමීනි. ඔහුගේ හෘදය වස්තුවේ රෝගී තත්ත්වයක් තිබෙනවා. වෙනත් මාර්ගයකින් තමයි ඔහුගේ හෘදයට ලේ ගමන් කරන්නේ" යනුවෙන් සඳහන් කර සිටියේ ය.
'මේක සංකීර්ණ විමර්ශනයක් නෙවෙයි'
දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා "මෙම සැකකරුට පූර්වගාමී මහේස්ත්‍රාත්තුමිය විසින් ලබා දුන් ඇප නියෝගය පිළිබඳව යළි සළකා බැලීමක් සිදු කරන්නේ නෑ. පූර්වගාමී මහේස්ත්‍රාත්තුමිය මෙම ඇප නියෝග නිකුත් කර තිබෙන්නේ ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා පරීක්ෂා කර ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත් වූ පසුවයි. වෛද්‍ය වාර්තා නිවැරදි නම් ඒ සම්බන්ධයෙන් ගැටලුවක් මතු වෙන්නේ නෑ. නමුත් මේ වෛද්‍ය වාර්තා සම්බන්ධයෙන් පැමිණිල්ල අද අධිකරණයේ කරුණු ඉදිරිපත් කළා. ඒ නිසා මේ සැකකරුට ඇප ලබා දීමට පාදක කරගත් වෛද්‍ය වාර්තාව තුළ මොහුට ඇති රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව එය ලබා දුන් වෛද්‍යවරු ඔවුන්ගේ මතය පැහැදිලි කළ යුතුයි.."යනුවෙන් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.
වැඩිදුරටත් සිය නියෝගය ප්‍රකාශයට පත්කළ මහේස්ත්‍රාත්වරයා "මේක සංකීර්ණ විමර්ශනයක් නෙවෙයි. විමර්ශන කඩිනමින් අවසන් කිරීමට හැකියාවක් තිබෙනවා. ජනාධිපති ලේකම්වරයා මෙම නඩුවේ සැකකරුවෙක්ද? යනුවෙන් පැමිණිල්ලෙන් විමසීමක් කරනු ලැබීය.
ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා "ස්වාමීනී සියලු විමර්ශන අවසන් වීමෙන් පසුව තමයි ඒ සම්බන්ධයෙන් පියවරක් ගන්නේ" යැයි පැවසීය.
ඉන් අනතුරුව වැඩිදුරටත් සිය නියෝගය ප්‍රකාශයට පත්කළ මහේස්ත්‍රාත්වරයා "මීළඟ දිනයට පෙර විමර්ශන අවසන් කර ප්‍රගතිය අධිකරණයට වාර්තා කළ යුතුයි. තවදුරටත් සැකකරුවන් සිටීනම් ඔවුන් ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. මෙම සැකකරුගේ සංචාරය නිල සංචාරයක් ද නැත්නම් පෞද්ගලික සංචාරයක්ද කියලා අදාළ අංශ වලින් තොරතුරු ලබාගෙන විමර්ශනය කළ යුතුයි. ඒ මත තමා මේ නඩුව පවත්වාගෙන යන්න පුළුවන්ද? කියන කාරණයක් තීන්දු වෙන්නේ" යනුවෙන් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
වැඩිදුරටත් කරුණු දැක්වූ මහේස්ත්‍රාත්වරයා "මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දින අධිකරණයේ අවට සිදුවූ සිදුවීම් හා සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අධිකරණයට අපහාසයක් සිදුවී තිබේදැයි කරුණු වාර්තා කරන ලෙස මීට පෙර නියෝගයක් නිකුත් කර තිබුණා. ඒ සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන පවත්වා අදාළ ක්‍රියා වලින් අධිකරණයට අපහාසයක් සිදුවී තිබේද? එවැනි අපහාසයක් සිදු කළේ කවුද? සහ ඒ සම්බන්ධයෙන් ගන්නා නීතිමය ක්‍රියා මාර්ගය මීළඟ දින අධිකරණයට දැනුම් දිය යුතුයි" යනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර සිටියේ ය.
පැමිණිල්ල නැවත ජනවාරි මස 28 වැනිදා කැඳවන ලෙසත් මහේස්ත්‍රාත්වරයාව නියම කළේය.
| බීබීසී සිංහල




