තමන්ට ක්ෂණිකව වාර්තා කරනවා මෙන් ම අල්ලස් කොමිසම තුළ සිදුවන දේවල් ද තමන්ට ක්ෂණිකව වාර්තා වන බව පිිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (29) පිවිතුරු හෙළ උරුමය පක්ෂය කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල...
'පිවිතුරු විමසුම් කවය' යනු කුමක් ද...?
''ඊයේ අල්ලස් කොමිසමට ගෙන්වා ගත් රාජ්‍ය නොවන සංවිධානයක පුද්ගලයෙකු යොදා ගෙන මට එරෙහිව පැමිණිල්ලක් සටහන් කර ගත්තා. එම පැමිණිල්ලෙන් කියැවුණේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පත්වීමට එරෙහිව මා ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා කළ ප්‍රකාශ තුළින් අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කීර්ති නාමයට හානි සිදු වුණු නිසා දූෂණ විරෝධි පනතේ 125 වගන්තිය යටතේ මම දඬුවම් ලැබිය හැකි වරදක් කර තිබෙන බව යි. ඒ පැමිණිල්ල කරන්න පැමිණිලිකරුට තිබුණු උවමනාවට වඩා ඒක සටහන් කර ගන්න නිලධාරින්ටයි උවමනාව තිබුණේ.
රාජ්‍ය නොවන සංවිධානයක් වෙනුවෙන් පැමිණිලි කරන්න ආවත් ඒ පුද්ගලයා සතුව ඒ සංවිධානයේ ලියාපදිංචි සහතිකය තිබුණේ නෑ. අවම වශයෙන් ලියාපදිංචි අංකයවත් තිබුණේ නෑ. දූෂණ විරෝධි පනතේ 125 වගන්තිය යටතේ පැමිණිල්ල කරනවා කියන එකත් නිලධාරින් තමයි සටහන් කළේ. ඔහුට ඒ ගැන අවබෝධයක් තිබුණේ නෑ. ඒ සියල්ල දාලා මේ මේ ප්‍රකාශය සකස් කර ගන්න අල්ලස් කොමිසමේ නිලධාරීන් කටයුතු කර බවයි අපිට දැන ගන්නට ලැබුණේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ, පැලවත්තේ ජවිපෙ මූලස්ථානයේ සහ අමාත්‍යාංශවල සිදුවන දේවල් පිවිතුරු විමසුම් කවය විසින් අපට ක්ෂණිකව වාර්තා කරනවා වගේම අල්ලස් කොමිසම තුළ සිදුවන දේවල් ද අපට ක්ෂණිකව වාර්තා වෙනවා.
ආණ්ඩුවේ සැලසුම මාව හිරේ දාන්න
අපි සාක්ෂි සහිතව පෙන්වා දුන්නේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු තෝරා ගැනීම සඳහා පැවැති සම්මුඛ පරීක්ෂණයේ දී වැඩිම ලකුණු ලැබූ මාධව තෙන්නකෝන් වෙනුවට රංග දිසානායක පත් කර ගැනීමට ජනාධිපතිවරයා, අගමැතිවරිය සහ සභානායකවරයාගෙත් මැදිහත් වීමෙන් සිදුවුණ දූෂිත මෙහෙයුමක ප්‍රතිපලයක් ලෙස බවයි. අපි ඒවා කිව්වේ ඕපදූප අනුව නොවේ. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනු කර තිබෙන දිවුරුම් ප්‍රකාශවල සටහන් කරුණු උපුටා දක්වමින්.
දූෂණ සොයන කොමිසමේ ලොක්කා පත් වන්නේ දූෂිත මෙහෙයුමක ප්‍රතිපලයක් වශයෙන් නම් ඊට වඩා බරපතළ දූෂණයක් රටක තවත් වෙන්න පුළුවන් ද? අපි ඒ වැරැද්ද පෙන්වා දුන්නා ම වරද නිවැරදි කරනවා වෙනුවට දූෂණ සොයන්න ආපු ආණ්ඩුව ඇත්ත හෙළිදරව් කිරීමේ වරදට අපිව හිරේ දාන්න කුමන්ත්‍රණය කරනවා. නොවැම්බර් 21 නුගේගොඩ පැවැත්වෙන මහජන හඬ රැළියට කලින් මාව අඩුම සති දෙකක් ඇතුළෙ තියන එක තමයි ආණ්ඩුවේ සැලසුම.
නින්ද නොයන දකුණු පළාතේ ඇමති
“ගම්මන්පිල සිර ගෙදරට” නාඩගමේ සත්වන ජවනිකාව තමා දැන් රග දක්වමින් තියෙන්නේ . මීට කලින් සය වතාවක් මාව අත්තඩංගුවට ගැනීමට මේ ආණ්ඩුව හැදුවත් ඒ පදනම් විරහිත ද්වේශසහගත අත් අඩංගුවට ගැනීම් නීතිපතිතුමාගේ මැදිහත්වීමෙන්, අධිකරණයේ මැදිහත්වීමෙන් ඒවා මග හරින්න අපට පුළුවන් වුණා. සත්වන වතාවේ මමත් ලැහැස්තියි හිරේ ගිහිං මේ මල කරදරේ ඉවරයක් කර ගන්න.
ඇයි දෙයියනේ හැමදාම බොරු චෝදනා නගමින් අත් අඩංගුවට ගන්නවා කියනවා .ඒ විතරත් නෙවේ මාව හිරේ දාන තුරු නින්ද යන්නේ නැති ඇමති කෙනෙක් දකුණු පළාතේ ඉන්නවාලු. පවුනේ අහිංසකයා. දිගින් දිගටම ඔහොම නිදි මරන්න හොඳ නෑනෙ. ඒ නිසා ආණ්ඩුවේ ලොක්කන්ට අනුකම්පා කරලා මේ පාර මමත් ටික දවසක් ආණ්ඩුවේ වියදමෙන් ආණ්ඩුවේ බෝඩිමේ ජීවත් වෙන්න සූදානම් කියලා ආණ්ඩුවට කියනවා. එතකොට මේ ආණඩුවේ නායකයින්ට තියෙන ලෙඩේ හොදවෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
ළඟදී ම මඩ පොතක්...?
ඔය අතරේ මට මඩ ගහන්න පොතක් ලියන කොන්ත්‍රාත් එක යූ ටියුබ්කරුවෙකුට භාරදීලා තියෙනවා. පොලිසියේ ලොක්කන් රහසේ දෙන තොරතුරු, පොලිසියට අත් අඩංගුවට ගන්න අයගේ ප්‍රකාශවල අඩංගු කරුණු පොලිසියේ ලොක්කන් විසින් රහසේ ලබා දීලා ඒවා යූ ටියුබ් නාලිකාවක ප්‍රචාරය කරලා ලක්ෂ ගණනින් මාසික ආදායමක් උපයන කෙනෙකු තමයි පොලිස් ලොක්කෙකුගේ ඉල්ලීම මත මේ පොත ලියන වැඩේට අත ගහලා තිබෙන්නේ. අපි ඒ මඩ රචකයට අවවාද කරන්න කැමතියි මඩ ගැහුවට කමක් නෑ පුතො ඔය යූ ටියුබ් නාලිකාවෙන් සොයන මුදල මගේ අපහාස නඩුවේ වන්දි ගෙවන්න වෙන් කරන්න කියලා.
කොට්ටහච්චිට සිර දඬුවම්...?
විපක්ෂය එකතු වෙන්නේ නීතියේ රැහැනෙන් ගැලවෙන්නයි කියා උගන්ඩා කුමාරි ලෙස සුප්‍රකට නීතිඥ නිලන්ති කොට්ටිහච්චි මන්ත්‍රිතුමිය ඊයේ ප්‍රකාශයක් කරනවා අපි මාධ්‍යවලින් දැක්කා. නීතියේ රැහැන ලෙස සාහිත්‍යමය ලෙස ප්‍රකාශ කරන්නේ මිනිසුන් නීතියට ගැට ගසන මිනිසුන් හික්මවන නීතියේ ආධිපත්‍යයටයි. නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක කරන්නේ අධිකරණය. යම් පුද්ගලයෙකු නීතියේ රැහැනෙන් ගැලවෙනවා කියන්නේ ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න අධිකරණය කටයුතු කරන්නේ නෑ කියන එකයි. විපක්ෂය සමගි වෙලා විපක්ෂයේ බලය පෙන්නුවාම අධිකරණය බියට පත්වෙලා අධිකරණය විසින් විපක්ෂයේ දේශපාලකයින්ට නීතිය ක්‍රියාත්මක කරන්නේ නෑ කියන එකයි නිලන්ති මන්ත්‍රිතුමිය කියන්නේ.
මේක සෘජුවම අධිකරණයට කරන ලද අපහසයක්. නැතිනම් ඒ ක්‍රමය හැරුණු විට නීතියේ රැහැනෙන් ගැලවෙන්න විපක්ෂයට හැකියාවක් නෑනෙ. විපක්ෂය සමගි බලය පෙන්නුවාම අධිකරණය බියට පත් වෙනවා කියන්නේ අධිකරණය පිළිබඳ ජනතාවගේ විශ්වාසය පලුදු කිරීමක්. අධිකරණය පිළිබඳ තිබෙන ගෞරවය විනාශ කිරීමක්. 2024 අංක 8 දරණ අධිකරණයට අපහාස කිරීමේ පනත අමු අමුවේම උල්ලංඝණය කිරීමක්. ඒ පනතේ 3 වන වගන්තිය අනුව අධිකරණ ආයතනයක් අගෞරවයකට හෝ අවතක්සේරුවකට ලක් කිරීම අධිකරණයකට අපහාස කිරීමක් වෙනවා. ඒක වසර පහක සිර දඬුවමක් ලැබිය හැකි වරදක්.
උගන්ඩාවේ සඟවා තිබෙන ඩොලර් ගේනවා කිව්වා වගේ නිලන්ති කොට්ටිහච්චි මන්ත්‍රීතුමියගේ තවත් එක් ටොම් පචයක් කියලා මේක මග හරින්න බෑ. අධිකරණයේ නිලධාරියෙකු ලෙස සැලකෙන නීතිඥවරියක් විසින් මේ ප්‍රකාශය කළාම සාමාන්‍ය පුද්ගලයෙකු කරනවාටත් වඩා බරපතළ අපහාසයක් අධිකරණයට වෙනවා. මොකද අධිකරණයේ නිලධාරියෙක් විධියට නීතිඥයෙක් සලකන නිසා අධිකරණ අභ්‍යන්තර ක්‍රියාදාම කරන අධිකරණය ගැන හොඳින් ම දන්නා කෙනෙක් විධියටයි නීතිඥයාව සමාජය සලකන්නේ.
නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට අධිකරණයට අපහාස කිරීම පිළිබඳ දඬුවම් කිරීමේ දී ඔහු නීතිඥයෙකු වීම ගැන අධිකරණයේ විශේෂ අවධානය යොමු වුණා. එහෙව් නීතිඥ කොට්ටහච්චි තමයි විපක්ෂය සමගි වුණොත් එයින් බියට පත්වෙලා විපක්ෂයේ අයට නීතිය ක්‍රියාත්මක වන එකක් නෑ කියන අදහස සමාජගත කරන්න උත්සහා කරන්නේ.
අධිකරණයට බරපතළ අපහාසයක්
මේ පසුබිම යටතේ නිලන්ති කොට්ටිහච්චි මන්ත්‍රිතුමියට එරෙහිව අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නඩු පැවරීම වැළැක්වීමට නම් තමන් ඒ ප්‍රකාශයෙන් ඇත්තටම අදහස් කළ දේ ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න එතුමියට වෙනවා. මොකද අධිකරණයට අපහාස කිරීමට වැඩියෙන්ම කටයුතු කරන්නේ නීතිඥ මන්ත්‍රිතුමියන්ලා. මීට සති දෙකකට පෙර නීතිඥ ලක්මාලි මන්ත්‍රිතුමියත් අධිනරණ නියෝගයක් ක්‍රියාත්මක කරන්න එපා කියලා ජනතාවට උපදෙස් දීම හරහා අධිකරණයට බරපතළ අපහාසයක් කළා.
දැන් නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රිතුමිය විපක්ෂය සමගි උනොත් අධිකරණය ඒ අයට විරුද්ධව නිතිය ක්‍රියාත්මක නරන්නේ නෑ ඇගවෙන ප්‍රකාශයක් කරමින් අධිනරණයට අපහාස කරා. ඒ නිසා අධිකරණයේ ගෞරවය තව දුරටත් කෙලසන්න මාලිමා නීතිඥ මන්ත්‍රිතුමියන්ට ඉඩ දෙන්න බෑ.
අසෝක රන්වලගේ කාන්තා වේශය
අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නීති විද්‍යාලයේ දී විශේෂයෙන් ම උගන්වනවා. ඒ මූලික ඉගැන්වීම ගැනවත් දන්නේ නෑ කියන්නේ නිලන්ති මැතිනිය නීතිඥයෙකු කියන එක ගැනත් සැකයක් ඇති වෙනවා. අපිට මතකයි පසුගිය කාලයේ මාලිමා අපේක්ෂකයින් විශාල ගණනක් මැතිවරණය ඉලක්ක කරගෙන තමන්ට නැති හොර ආචාර්යලා, ඉංජිනේරුවෝ, විශේෂඥ වෛද්‍යවරු, ජනාධිපති නීතිඥවරු යනාදි නැති සුදුසුකම් උලුප්පා දක්වමින් මැතිවරණයේ හිටියා කියලා පස්සේ හෙලි වුණානෙ. හොඳම උදාහරණය අසෝක රන්වල.
මේ රටේ ගෞරවනීය තුන්වන පුරවැසියා වන කතානායක තනතුරට මාලිමාව පත් කළේ හොර ආචාර්ය උපාධියක් තිබුණු අසෝක රන්වල මහත්තයානෙ. කවුද දන්නේ නිලන්ති කොට්ටහච්චි කියන්නේ අසෝක රන්වලගේ කාන්තා වේශයෙන් නෙවෙයි මේ රටට දැනගන්න නම් එහෙම නෙවෙයි කියලා ඔප්පු කරන්න නම් එතුමියගේ ශ්‍රේඨධිකරණයෙන් ලැබුණු නීතිඥ සහතිකය වහාම සමාජ මාධ්‍යවලට එක් කරලා ඔබ තවත් අසෝක රන්වල කෙනෙකු නොවේ කියා ඔප්පු කරන්න කියා අපි නිලන්ති මන්ත්‍රිතුමියට දැනුම් දෙනවා.''




