* “බෙලිඅත්තේ නිවසක් මට නෑ”
* “ජන්ද වියදම් පිළිබඳ පක්ෂ කාර්යාලයෙන් අහන්න”
2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේදී ලබා දුන්නේ යැයි කියන අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ප්‍රශ්න කිරීම් අතරතුරදී, කපිල චන්ද්‍රසේන විසින් ඔහුට රුපියල් ලක්ෂ 600ක මුදලක් ලබා දුන්නේදැයි විමර්ශන නිලධාරීන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා ඇති බව මෙම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
එහිදී ඊට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ, තමන්ට එලෙස රුපියල් ලක්ෂ 600ක මුදලක් ලැබුණේ නම් තමන් කොළඹින් නිවසක් මිලදී ගන්නා බව යැයිද වාර්තා වෙයි.
දේශපාලන ආරංචි මාර්ග හරහා වැඩිදුරටත් දැනගැනීමට ලැබෙන පරිදි, මෙම ප්‍රශ්න කිරීමේදී විමර්ශන නිලධාරීන් සහ හිටපු ජනාධිපතිවරයා අතර මෙවැනි ආකාරයේ සංවාදයක්ද සිදුවී තිබේ. අදාළ රුපියල් ලක්ෂ 600ක මුදල බෙලිඅත්තේ පිහිටි නිවසට ගෙනවිත් දුන්නේදැයි විමර්ශන නිලධාරීන් එහිදී විමසා ඇති අතර, ඊට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ තමන්ට බෙලිඅත්තේ නිවසක් නොමැති බවත්, තම නිවස පිහිටා ඇත්තේ තංගල්ලේ බවත්ය.
ඉන් අනතුරුව, එම මුදල් මැතිවරණ අරමුදලට ලබා දුන්නේදැයි නිලධාරීන් ප්‍රශ්න කළ අවස්ථාවේදී, තමන්ට බෙලිඅත්තේ නිවසක් නොමැති නම් එම මුදල් ගෙනවිත් දුන්නා යැයි පවසන්නේ කෙසේදැයි ඔහු පෙරළා ප්‍රශ්න කර ඇත. තවද, පක්ෂයට ලබාදුන් මුදල් සම්බන්ධයෙන් යම් සටහනක් ඇත්දැයි නිලධාරීන් විමසූ විට ඔහු පෙන්වා දී ඇත්තේ, තමන් පක්ෂ නායකයා වුවද එම ගනුදෙනු සියල්ල සිදු වන්නේ පක්ෂ කාර්යාලය හරහා බැවින් ඒ පිළිබඳව පක්ෂ කාර්යාලයෙන් විමසීම වඩාත් යෝග්‍ය බවයි.
අදාළ විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දෙන ලෙස අල්ලස් කොමිසම කළ දැනුම්දීමකට අනුව හිටපු ජනාධිපතිවරයා අද උදෑසන 9.30ට පමණ කොමිසම හමුවට පැමිණියේය. පැය දෙකකට වැඩි කාලයක් කොමිසම හමුවේ රැඳී සිටිමින් ප්‍රකාශය ලබා දුන් ඔහු පෙරවරු 11.50ට පමණ ඉන් පිටව ගියේය.
මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදී ඔහුට සහාය පළ කිරීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විශාල පාක්ෂිකයින් පිරිසක්ද එම ස්ථානයට පැමිණ සිටියහ.
මීට අමතරව මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍ය පියංකර ජයරත්න ද අද දිනයේදී කොමිසම හමුවේ පෙනී සිටීමට පැමිණ සිටියේය.
( lankalokaya | රන්ජිත් ආනන්ද ජයසිංහ)




