කොළඹදී අද (12) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.
අධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමට පෙර එහි තීන්දුව පිළිබඳව දන්නේ විනිශ්චයකාරතුමා පමණක් වන අතර ඔහුට එය තුන්වන පාර්ශවයකට හෙළිදරව් කිරීමට කිසිඳු අයිතියක් නොමැති බවද මහාචාර්ය ජී.එල්.පිරීස් පැවසීය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අධිකරණ කටයුතුවලට අයුතු ලෙස මැදිහත්වීම ඉතාම බරපතළ වරදක් වන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ජී.එල්.පිරීස්,
''මැයි දිනයේ දී ජනාධිපතිතුමා මහරගම දී සිදු කළ කතාවේ බොහොම පැහැදිලිව එතුමා කිව්වා මැයි 30 අහපු නඩුවේ තීන්දුව ලැබෙනවා කියලා මැයි 25 වෙනිදාට.. ඒත් එක්කම කිව්වා ඒ නඩු තීන්දුව අත්පුඩි ගහලා මහත් හරසරින් පිළිගන්න ලෑස්ති වෙලා ඉන්න කියලා.. අධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමට පෙර එම තීන්දුව දන්නේ එක පුද්ගලයෙකු විතරයි. ඒ නඩුව අහපු විනිශ්චයකාරතුමා විතරයි.. ඔහුට කිසිම අයිතියක් නෑ ඒ තීන්දුව තුන්වන පාර්ශවයකට කියන්න.. සාකච්ඡා කරන්න පුලුවන්කමකුත් නෑ.. අධිකරණ කටයුතුවලට අයුතු ලෙස මැදිහත්වීම කියන්නේ ඉතාම බරපතළ වරදක්... එහෙම කරන කෙනෙක්ට ලැබෙන දඬුවම තමා අවුරුද්දක් බන්ධනාගාර ගතවීම.. ඒත් එක්කම අවුරුදු 5ක කාලයකට ප්‍රජා අයිතිය අහිමි වීම.. ඒ නිසා විපක්ෂය නියෝජනය කරන පක්ෂ රැසක නායකයින් හා නියෝජිතයින් හැටියට අපි තීරණය කළා අගවිනිසුරුවරයාට සංදේශයක් යොමු කිරීමට.. එතුමාගේ ගෞරවාන්විත අවදානය මේ උග්‍ර ප්‍රශ්නය වෙනුවෙන් යොමු කරන්න කියන ආයාචනය තමා අපි සාමූහිකව කරන්නේ..''
අධිකරණයේ ස්වාධීනත්වයට ඉතා බරපතල තර්ජනයක් මතුව ඇතැයි ඒකාබද්ධ විපක්ෂය අගවිනිසුරු ප්‍රීති පත්මන් සූරසේන යොමුකර ඇති ලිපියෙහි සඳහන් වේ..
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක, එම්.ඒ.සුමන්තිරන් ඇතුළු නායකයන් විසි දෙනෙක් මෙම ලිපියට අත්සන් තබා තිබේ.
එම සම්පූර්ණ ලිපිය මෙසේය.
ගරු අගවිනිසුරු,
ප්‍රීති පද්මන් සූරසේන මැතිතුමා,
ගරු අගවිනිසුරුතුමාගේ නිල මැදිරිය, ශ්‍රේෂ්ඨාධිකරණය, කොළඹ 12.
ගෞරවණීය අගවිනිසුරුතුමනි,
අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල පහරදීමක් පිළිබඳවයි.
අධිකරණයේ ස්වාධීනත්වයට අදාළ ඉතා බරපතල තර්ජනයක් පිළිබඳව අපි ඔබතුමාගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමු.
2026 මැයි මස 01 වන දින ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු මාලිමා රජය මහරගම පවත්වන ලද මැයි රැළියේදි ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා, දැනට අධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතින නඩුවක් සම්බන්ධයෙන්, පෙර දින විභාගය පවත්වා ඇති බවත්, එම නඩුවේ තීන්දුව මැයි මස 25 වන දින ලබා දීමට නියමිත බවත් ප්‍රකාශ කළේය. උණුසුම් අත්පොළසන් දෙමින් එම තීන්දුව පිළිගැනීමට සූදානම් වන ලෙස ඔහු එහි පැමිණ සිටි සිය අනුගාමිකයන්ගෙන් ඉල්ලා සිටියේය. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් පවත්වන ලද කතාවේ ඉහත කි ප්‍රකාශයට අදාල කොටස පහත පරිදි වේ.
"මේ මැයි මාසයේ විතරක් මම දැක්කා ප්‍රධාන දුෂිත දේශපානඥයිනගේ නඩු 15 ක් මේ මැයි මාසෙට විතරක්, සමහර ඒවා ප්‍රධාන දුෂිත චෝදනා 10ක්, අපරාධ චෝදනා නඩු 05ක් සහිතනඩු 15 ක් මේ මැයි මාසයේ අධිකරණය හමුවේ තියෙනවා. අප්‍රේල් 30 ඊයේ එකක් ඇහුවා. තීන්දුව දෙනවා කිව්වා මැයි 25. ඊයේ ඇහුවා නඩුව. තීන්දුව මැයි 25. බලාගෙන ඉන්න අත්පුඩි ගහන්න මැයි 25 "
අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පදනම වු අධිකරණයේ ස්වාධිනත්වය සහ බලය බේදීමේ සංකල්පය විනාශ මුඛයට ලගා කරමින් කරන ලද මෙම ප්‍රකාශයෙන් අප බලවත් කම්පනයට පත්ව සිටිමු.
ජනාධිපතිවරයාගේ එකි ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ අධිකරණය මගින් ලබා දීමට නියමිතනඩු තීන්දුවක් පිළිබඳව පෙර දැනුමක් ජනාධිපතිවරයාට ඇති බවයි. යුක්තිය ඉටු වීම පමණක් නොව, එය ඉටුවන බව පැහැදිලිව හා නිසැකවම පෙනෙන්නට තිබීම අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පද්ධතියේ මූලික මූලධර්මයකි.
ජනාධිපතිවරයාගේ කතාවේ සඳහන් ඉහත කි කරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එකි මුලධර්මයන් සොදා පලුවට ලක් කිරිමකි.
නඩු විභාගයක් අවසන් වූ පසු, විනිසුරුවරයාගේ යුතුකම වන්නේ සාක්ෂි තක්සේරු කර නීතියට අනුකූලව ඔහුගේ නිගමනයට එළඹීමයි. එහිදී ඔහුගේ හෘද සාක්ෂිය ඔහුගේ එකම මාර්ගෝපදේශකයා වේ. විනිශ්චයකරු තම තීන්දුව ලබා දීමට පෙර, ඕනෑම තෙවන පාර්ශවයක් සමඟ සාකච්ඡා කිරීම, එකී තීන්දුව අන්‍ය ආකාරයකින් දැන ගැනීමට සැලැස්වීම පිළිකුල් සහගත සිද්ධියක් වනු ඇත. තීන්දුව අත්පොළසන් දෙමින් පිළිගැනීමට පෙළඹවීමට තුන්වන පාර්ශවයක් සතුටු කිරීමට බලපෑමක් ඇති කරයිද යන්න සම්පූර්ණයෙන්ම අදාළ නොවන අතර ඇත්ත වශයෙන්ම අතිශයින්ම නුසුදුසු සලකා බැලීමකි. අධිකරණ පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය බිඳ දැමීමට මෙය පැහැදිලි හැකියාවක් ඇති අතර එය වඩාත්ම දුරදිග යන ප්‍රතිවිපාකවලින් පිරුණු කරුණකි. මෙම පිළිකුල් ප්‍රකාශය අධිකරණයට අපහාස කිරීමක් නියෝජනය කරන බවට අපට සැකයක් නැත.
අවම වශයෙන් කිවහොත්, මෙය විනිසුරුවරයෙකු ඉදිරියේ විභාග වන නඩුවක් සම්බන්ධයෙන් ඔහුට බලපෑම් කිරීමට ගන්නා නින්දිත උත්සාහයකි. ජනරජයේ විධායක ජනාධිපතිවරයාගෙන් පීඩනය එල්ල වන බව තත්වයේ බරපතලකම වැඩි කරයි. විනිසුරුවරයෙකුට තම නිල රාජකාරි ඉටු කිරීම සම්බන්ධයෙන් මෙම මට්ටමේ දී ක්‍රියාත්මක වන මෙම තීව්‍රතාවයේ පීඩනයට යටත් වීම අපට දැඩි ලෙස අසාධාරණ ලෙස පෙනේ. එය අපගේ නීති සංස්කෘතියේ සහ වටිනාකම්වල අත්තිවාරම් නින්දිත ලෙස ඛාදනය කරයි.
අපේ රටේ තවමත් මහජනතාවගේ ගෞරවය භුක්ති විඳින ආයතන කිහිපයෙන් එකක් වන්නේ අධිකරණයයි. මෙවැනි දරුණු ප්‍රහාර වලින් අධිකරණය ආරක්ෂා කිරීම සඳහා, සාමූහිකව ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත‍්‍රවාදි රාමුව තුළ අපගේ ශක්ති ප්‍රමාණයෙන් කළ හැකි සියල්ල කිරීම අපගේ ස්ථිර අධිෂ්ඨානයයි.
මෙම කණගාටුදායක තත්ත්වය සම්බන්ධයෙන් ඔබතුමාට සුදුසු යැයි සැලකිය හැකි ක්‍රියාමාර්ග ගැනීම සඳහා, නිසි ගෞරවයෙන් යුතුව, මෙම ඛේදජනක අවස්ථාවේදි ඔබතුමානන් වෙත අවධානයට යොමු කිරීමට අපි කැමැත්තෙමු.
අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා විසින් පවත්වන ලද කතාවේ සම්පුර්ණ වීඩියෝ පිටපතක් ඔබතුමාගේ දැනගැනීම සහ පරිශිලනය සඳහා මේ සමඟ අමුණා එවා ඇති බව ගෞරවයෙන් සැල කර සිටිමු.
මෙයට,
ඒකාබද්ධ විපක්ෂය





