ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.
“මූල්‍ය අරමුදල කියන පදයට නටන්න තඹුත්තේගම “ඩබල් පොකට්” නැට්ටුවා ඕන නෑ, මූල්‍ය අරමුදල කියන පදයට නටන්න මල් පාරේ රනිල් ඊට වඩා හොඳට දන්නවා. මූල්‍ය අරමුදල කියන පදයට නටන්න මල් පාරේ ‘ටයිකෝට්’ නැට්ටුවාට තරම් තඹුත්තේගම “ඩබල් පොකට්” නැට්ටුවාට පුළුවන් කමක් නැහැ. ඒ නිසා ‘ඩබල් පොකට්’ නැට්ටුවාට මේ රට බාර දුන්නේ මූල්‍ය අරමුදල කියන පදයට නටන්න නෙවෙයි, මල් පාරේ ‘ටයිකෝට්’ නැට්ටුවා නටපු නැටිල්ල නටන්න නෙවෙයි, ඒකවත් නටාගන්න බැරි විදිහට අඩිය තියන්න නෙවෙයි.” යයි ඔහු කියා සිටියේ, අද (මැයි 12) පෙරවරුවේ බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
වර්තමාන පුනරුද ආණ්ඩුව බලයට පත්වීමට පෙර ජනතාවට බොරු කියමින්, ඔවුන් තුළ දහසකුත් එකක් බලාපොරොත්තු මෝදු කරමින් ජනතාවට ලබා දුන් බොරු පොරොන්දු සියල්ල අද “බියකරු මායාකාරී සිහින” ලෙස බිඳවැටී ඇති බවත්, වැඩ බැරි “ජනාධිපති හා ආණ්ඩුව” අද වන විට හොරකමින්, අල්ලසෙන්, දූෂණයෙන් හා නාස්තියෙන් පිරි තම අසාර්ථක පාලන ක්‍රමය ගොඩ ගැනීමට විපක්ෂයේ සහාය යදිමින් සිටින බවත් විමල් වීරවංශ මෙහිදී කියා සිටියේය.
වත්මන් ජනාධිපති බලයට ඒමට පෙර ජනතාව හමුවේ තැබූ පොරොන්දු ඉටුකරදීම සදහා මෙන්ම දිනෙන් දින ගරා වැටෙමින් පවතින ආර්ථිකය ගොඩ ගැනීම සදහා අද “සුන්බුන් විපක්ෂය” යනුවෙන් ගර්හාවට ලක්කළ කණ්ඩායමේ “දක්ෂයන් යැයි” හදුන්වන පිරිසක සහාය යදින තත්ත්වයකට පත්ව ඇති බව විමල් වීරවංශ සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මෙසේද පැවසීය.
''හොරකමේ සහ බැරිකමේ වන්දි ජනතාව මත පටවමින් “බුන්වත් ආණ්ඩුව” දැන් “සුන්බුන් විපක්ෂයෙන්” දක්ෂයෝ හිගමනේ යනවා...''
"අනුර කුමාර දිසානායක මහතා බලයට එන්න පෙර කිව්වේ හොරකම සහ නාස්තිය නැති කර විදුලි බිල 33%කින් අඩු කරනවා කියායි. නමුත් අද සිදුව ඇත්තේ කුමක්ද? 2025 ජනවාරි මාසයේ රුපියල් 24.20ක්ව තිබූ විදුලි ඒකකයක මිල අද වන විට රුපියල් 37.26ක් දක්වා 54%කින් ඉහළ දමා තිබෙනවා. සිංහල අවුරුද්දෙන් පසු අවස්ථා දෙකකදී විදුලි බිල වැඩි කරමින් මධ්‍යම පාන්තිකයාගේ සහ කර්මාන්තකරුවාගේ කොන්ද කඩා දමා තිබෙනවා."
සුනිත්‍ය බලශක්ති උත්පාදනය ආණ්ඩුව විසින් සිතාමතාම අධෛර්යවත් කරන බවට චෝදනා කළ විමල් වීරවංශ, පෞද්ගලික අංශයේ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදකයන්ට ගෙවිය යුතු රුපියල් බිලියන 10ක මුදල මේ වනවිට නොගෙවා ඔවුන් ව්‍යාපාරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුව කුමන්ත්‍රණය කරන බවද පැවසීය. මේ හරහා “පොසිල ඉන්ධන මාෆියාව” සහ “ඩබල් පොකට්” දේශපාලනඥයන් තම මඩි තර කරගන්නා බවත්, බාල ගල්අඟුරු ආනයනය හේතුවෙන් සිදුවන අධික ප්‍රමාද ගාස්තු සහ පාඩුව ජනතාව මත පටවා ඇති බවත් ඔහු කියා සිටියේය.
“මේ වෙනකොටත් ජාතික විදුලිබල පද්ධතියට තමන් නිපදවන සුනිත්‍ය විදුලි බලය ලබා දී තිබෙන ඒ සුනිත්‍ය විදුලි බල නිෂ්පාදකයන්ට රුපියල් බිලියන 10කට වඩා මුදලක් ගෙවන්නේ නැතුව කල් මරමින් ඉන්නවා විදුලිබල මණ්ඩලය.
ඒ මගිනුත් කරන්නේ සුනිත්‍ය විදුලි බලය නිපදවන ඒ පෞද්ගලික අංශයේ නිෂ්පාදකයන්ව අධෛර්යයට පත් කරන එක, ඒ ව්‍යාපාරයෙන් පලවා හැරීම. මෙහෙම කරලා පිරිවැය අඩු විදුලිය ජනනය කරන ක්‍රම වලට ප්‍රමුඛත්වය දෙනවා වෙනුවට, ඒවා අධෛර්යයට පත් කරලා, ඒවාට නොතිබුණු බදු අය කරලා, ඒවා නිපදවන මිනිස්සුන්ට ගෙවන ගෙවීම් ප්‍රමාද කරලා තවදුරටත් කරන්නේ පොසිල ඉන්ධන මාෆියාවේ බඩ කට පුරවන එක, ඒ මඟින් තමන්ගේ ඩබල් පොකට් එක පුරවා ගන්න එක. ඒක තමයි ප්‍රධාන හේතුව.
''ආණ්ඩුවේ හොරකමේ බරයි බැරි කමේ බරයි බදු බරයි ඔක්කොම ජනතාවගේ කරමත පටවන්න හදනවා...''
අනිත් එක තමයි මේ රටේ බාල ගල්අඟුරු ගෙනල්ලා ඒ බාල ගල්අඟුරු වලින් නියමිත විදුලි ඒකක නිපදවා ගන්න බැරි වෙලා, ඒ බැරි වෙච්ච ප්‍රමාණය නිපදවන්න ඩීසල් අධික මිලට අරගෙන ඒ ඩීසල් වලින් විදුලිය නිපදවන්න ගියාම පිරිවැය වැඩි වෙන එක වළක්වන්න බැහැ.
බාල ගල්අඟුරු ගේන බාල සමාගම තෝරාගත්තේ කවුද? බාල ගල්අඟුරු ගෙනත් දීලා දැන් අද ගණන් හදාගෙන ඉන්නවා නොරොච්චෝල බලාගාරය ගිය මොහොතේ. එක නැවක් බාන්න දවස් හයක් හතක් යනවා වාරකම් වෙලාවේ. නැවෙන් 20%ක් පමණ මුහුදට වැටෙනවා. නැව් පහක් බෑවොත් එක නැවක් මුහුදේ.
ඒ නැව් ටික බානකල් අනිත් නැව් ටික තියාගෙන ඉන්නවා, ප්‍රමාද ගාස්තු ගෙවනවා ඇමෙරිකානු ඩොලර් වලින්. මේ කාගේ සල්ලිද? 'ඩබල් පොකට්' ගමෙන් ගෙනාපු සල්ලිද? තමුන්ගේ ගමින් අරන් ආපු සල්ලිද?”
රටේ ආර්ථික කළමනාකරණය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, රනිල් වික්‍රමසිංහ රට භාර දෙන විට 293ක්ව තිබූ ඩොලරයේ අගය අද 325 ඉක්මවා ගොස් ඇති බවයි. රුපියල අවප්‍රමාණය වීම නිසා පමණක් මෙරට ණය බර රුපියල් බිලියන 1,257කින් ඉහළ ගොස් ඇති බවත්, මූල්‍ය පාලනයක් නොමැති මහ බැංකු නිලධාරීන් ලක්ෂ ගණනින් පඩි ලබමින් සිටින බවත් වීරවංශ සඳහන් කළේය.
"එදා සාම්පූර් බලාගාරයට විරුද්ධව උසාවි ගිය, උද්ඝෝෂණය කරපු අයම අද ලැජ්ජාවක් නැතිව ඉන්දීය අගමැතිවරයා සමඟ එක්ව එම බලාගාරයටම මුල්ගල් තබනවා. තමන් 'සුන්බුන්' සහ 'වල් පැළ' ලෙස හැඳින්වූ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අද ආණ්ඩුවට එකතු වෙන්න කියලා ආරාධනා කරන්නේ ආණ්ඩුව පාලනය කරගත නොහැකිව හතරගාතයෙන් වැටී ඇති නිසයි. මේක දැන් බුන්වත් ආණ්ඩුවක්."
මෙම පීඩාකාරී බදු බරට සහ ජීවන බරට එරෙහිව පාරට බැසීමට සූදානම් වන ලෙසත්, මෙම 'බුන්වත්' ආණ්ඩුව පන්නා දමන තෙක් අරගල කළ යුතු බවත් විමල් වීරවංශ මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.




