පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු සභාපතිවරයාගේ ක්‍රියාකලාපය

සම්බන්ධයෙන් කථානායකවරයා විසින් පරීක්ෂණයක් සිදුකළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඊයේ (14) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් සහභාගීත්වයෙන් පැවති කෝප් කමිටු රැස්වීමේ දී කමිටු සභාපතිවරයාගේ හැසිරීම ගැටලු සහගත බව විපක්ෂ නායකවරයා අද (15) පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.

එහිදී විපක්ෂ නායකයට අමතරව නලීන් බණ්ඩාර සහ ප්‍රේමනාත් සී දොලවත්ත යන මන්ත්‍රීවරුන්ද අදහස් පළ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු විපක්ෂ නායකවරයා මෙසේ පැවසිය.

"කෝප් එකේ යම් යම් නිර්දේශ පිළිබඳව කරුණු විමසීම්වලදී අපි දැක්කා රූප රාමුවක්. එකේ අපි දකිනවා, කෝප් සභාපතිවරයා කටට ඇඟිල්ලක් තියලා යම් පුද්ගලයෙකුට උපදෙස් දෙනවා උත්තර දෙන්න එපා කියලා අපි හිතන විදියට. ඒ පැත්තේ රූපරාමු විතරයි දැන් එළියට ඇවිත් තියෙන්නේ. හැබැයි ඒ රූපරාමුවලට අපි මැච් කරොත් ඒ කෝප් කමිටුව ඇතුළේ අපේ සාමාජිකයෝ දක්වපු කරුණු කාරණා බොහෝම බරපතළයි. ඒ කියන්නේ කෝප් කමිටු සභාපතිවරයා අනියම් හෝ නියම් ක්‍රමයකින් උපදෙස් දෙනවා, හසුරවනවා සාක්ෂිකාරයෝ ලබාදෙන උත්තර පිළිබඳ. මේක බරපතළ කාරණයක්. මේක ගැන කථානායකතුමා පරීක්ෂණයක් කරන්න."

ක්‍රීඩා ඇමති කෝප් කමිටුවට චෝදනා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ සභාපතීත්වයෙන් වෙනම පාර්ලිමේන්තු කමිටුවක් පත්කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ කථානායකවරයාගෙන් ඉල්ලා සිටියි.

ඔහු පැවසුවේ කෝප් කමිටුව වෙනුවට එම අලුතෙන් පත්කරන කමිටුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ඉඩ දිය යුතු බවයි.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ, ක්‍රිකට් බලධාරීන් කෝප් කමිටුව හමුවට ඊයේ කැඳවූ අවස්ථාවේදී අවශ්‍ය දේ විමසනු වෙනුවට අදාළ නොවන කාරණා සම්බන්ධයෙන් කෝප් සාමාජිකයින් කරුණු විමසූ බවයි.

"මට සැකයි කෝප් එකත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විකිණිලා ද කියලා.." ඇමතිවරයා කියා සිටියේය.

 
කෝප් කමිටුවේදී ශම්මි ගෙන් ඇසූ ප්‍රශ්නය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ව තවත් දින 3ක් කෝප් කමිටුව හමුවට කැඳවීමට ඊයේ (14) තීරණය කළේය.

ඒ අනුව මෙම මස 24, 27 සහ 28 යන දිනවල ක්‍රිකට් ආයතන බලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කෙරිණි.

එහිදී 2022 වසරේදී ඔස්ට්‍රේලියාවේ පැවති 20/20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විගණන වාර්තාවේ සඳහන් තවත් කරුණු සහ 2019 වසරේ විගණකාධිපතිවරයා නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් විමසීම ට නියමිතය.

මේ අතර සිය නැන්දම්මා සහ මස්සිනා ඇතුළුව තවත් හිතවතුන් පිරිසක් ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය නැරඹීමට රැගෙන ගිය බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ශම්මි සිල්වා කෝප් කමිටුව හමුවේ ඊයේ පිළිගෙන තිබේ.

 

කෝප් කමිටුව ක්‍රිකට් ආයතනය කැඳවා තිබුණේ පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ පැවති 20යි 20 ලෝක කුසලාන තරගාවලියට එම ආයතනයේ නිර්දේශ සහිතව සහ එම ආයතනයෙන් සහභාගීවූවන්ට අදාළ විගණකාධිපතිවරයා නිකුත් කර තිබූ වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය.

 

විගණන වාර්තාවේ සඳහන් ආකාරයට සිය බිරිඳට වීසා ලැබුණේ ලෝක කුසලාන තරගාවලිය නිසා නොවන බවත් ඊට පෙර ඇය ඔස්ට්‍රේලියාවේ සිටි බවත් සභාපතිවරයා එහිදී සඳහන් කළේය.

තරගාවලියට ගෙන ගිය සෙසු පිරිස සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක ප්‍රශ්න කළේය. එහිදි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේ, තමන් ගෙන ගිය පිරිස ප්‍රකාශ කරන ලෙසය.

"රොබට් සිල්වා කියන්නේ මගේ මස්සිනා ඩේසි ජෙනට් කියන්නේ මගේ බිරිඳගේ මව. ශ්‍රීමාල් ගුණරත්න මගේ හිතවතෙක්. නිෂාදි පද්මසිරි කියන්නේ එයාගේ බිරිඳ, සංජය සමරසිංහ කියන්නේ මගේ යාළුවෙක්. ආර්. ඒ ෂෙනුලා දිනූසිකා සහ සාරා දිනාලි කියන්නේ මිනිස්ටර්ගේ දුවලා. ඒ දෙන්නටම ලිපිය දුන්නේ මම. මිනිස්ටර්ටත් මම ලිපියක් දුන්නා. නමුත් ඒ වෙලාවේ දේශපාලකයන්ට ඔස්ට්‍රේලියාවේ වීසා දුන්නේ නෑ. සුදත් රෝහණ චන්ද්‍රෙස්කරගේ නමට එනකල් ඉන්නවා..."

ලෝක කුසලානය නැරඹීමට ගිය අනුරාධා එදිරිසිංහ සහ ශලනි තාරකා යන නිළියන් දෙදෙනා නම් කළේ, උපසභාපති ජයන්ත ධර්මදාස බව පැමිණි නිලධාරිහූ පැවසූහ‍.

මේ අතර ආබාධවලට ලක්වන ක්‍රීඩකයන් සුවවීම සඳහා ගත වන කාලය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් තිබෙන බව ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.


මන්ත්‍රී දයාසිරි ජයසේකර :

"ක්‍රිකට් ආයතනයේ මෙඩිකල් පැනල් එකෙක් ඔබතුමන්ලා කරලා තියෙන දේවල් මම කියන්නම්. අද වෙනකොට වනිඳු හසරංගේ පළමු ස්ථරය තිබුණු එක තුනවන ස්ථරය දක්වා වැඩිවෙලා. බිනර ප්‍රනාන්දුට මේ කියන පැනල් එක වෙදකම් කළා. ඔහුට තියෙනවා කිව්වේ, කකුලේ අමාරුවක්. අවුරුදු 7ක් වෙදනම් කළා කකුලේ අමාරුවට. ඒත් එයාට තිබුණේ කොන්දේ අමාරුවක්. ලංකාවේ ඉන්න අඩි 6යි අඟල් 4ක් උස හොඳම වේග පන්දු යවන ළමයෙක් එයා. අවුරුදු 7ක් ඔහුව විනාශ කළා. ඔය පැනල් එක කරුණාකරලා ඉවත් කරන්න. මොකද හේතුව ඔතනින් තමයි මේ වැඩේ පටන් අරන් තියෙන්නේ. ක්‍රීඩකයින් පස්දෙනෙක් මේ තරග සංචාරයෙන් ආපසු ආවා. මේ කියන 20/20 එකේදීත් අරන් යනවා ඔය කියන පැනල් එක. ඒ පැනල් එක තමයි අද මේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයන්ව විනාශ කරලා තියෙන්නේ. කරුණාකරලා යම් නියෝගයක් දෙන්න ස්පොර්ට්ස් මෙඩිසින් යුනිට් එකක්. ඒක හරහා ක්‍රියාදාමය කරන්න කියලා. 30ක් නම් ඉන්නේ ඒ 30 ලියාපදිංචි කරලා අඛණ්ඩව පරීක්ෂා කරන්න ඉඩදෙන්න. ඔබතුමන්ලා වෙනම පැනල් එකක් තියාගෙන ඉන්නවා. මම ඒ ඩොක්ටර්ගේ නම කියන්නේ නෑ. ඔවුන් දීපු බෙහෙත්වල ප්‍රතිඵලය තමයි අවසානයේ දී වෙලා තියෙන්නේ."


මන්ත්‍රී නිමල් ලාන්සා :

"ඔබතුමන්ලාට බරපතළ චෝදනාවක් හිටපු ක්‍රීඩා ඇමති එල්ල කරන්නේ. ඔබතුමන්ලා මේ ගැන පැහැදිලි කළා නම් හොඳයි. අවුරුදු 7ක් සුව කරන්න පුළුවන් ක්‍රීඩකයෙක්ව වෙනත් දෙයකට බෙහෙත් කළා නම් ලංකාවට ගහන එකනේ නැති වෙලා තියෙන්නේ."


ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා :

 "අපිට තියෙනවා මෙඩිකල් පැනල් එකක්. ඒක අත්දැකීම් බහුල අය ඉන්නේ."

කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බංඩාර :

 "දයාසිරි ජයසේකර මහතා යෝජනා කරන්නේ මේ පැනල් එක ගැන."

මන්ත්‍රී දයාසිරි ජයසේකර :

"එක ඩොක්ටර් කෙනෙක් ඉන්නවා. එයාට ක්‍රීඩාව ගැන තියෙන දැනුම මොකද්ද කියලා කියන්න. ඔයාලා කියන කෙනා තමයි මෙච්චර කාලයක් අපේ ක්‍රීඩකයින්ට එන්නත් ගැහුවේ."


මන්ත්‍රී එස්. එම්. මරික්කාර් :

"කවුද වන් ෂොට් කියන්නේ. "

මන්ත්‍රී දයාසිරි ජයසේකර :

"මට නම කියන්න බෑ..."

මන්ත්‍රී නිමල් ලාන්සා :

"ඇයි මෙයාව තවත් තියාගෙන ඉන්නේ ?"

ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා :

"අත්දැකීම් බහුල අය ඉන්නේ. පළවෙනියා මහාචාර්ය අර්ජුන ද සිල්වා. තව වෛද්‍ය හරිඳු ඉන්නවා. තව ඉන්නවා වෛද්‍ය චන්න සිල්වා."

මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා :

"මේ ඩොක්ටර්ස්ලාගේ ක්‍රියාකාරීත්වය සහ ක්‍රීඩකයින්ගෙන් එන තොරතුරු අනුව සෑහීමකට පත්වුණා ද?"

 

ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා :

"ක්‍රීඩකයින්ගෙන් කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වෙලා නෑ..."


මන්ත්‍රී දයාසිරි ජයසේකර :

"මේ වන ෂොට් තමයි කවුරු හරි ඉන්ජර්ඩ් වුණාම ක්‍රියා කරන්නේ. ඩෝස් එකක් දීලා ප්ලේ කරන්න යවනවා. දෙන්නේ පේන් කිලර්ස්. එහෙම වුණාම මාසයක් ගහන්න පුළුවන්. ඒත් තුවාලේ වැඩි වෙනවා. මෙතන තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ඉන්නවා. මට කියන්න මේ ඉන්ජරීස් නෙවෙයි ද තියෙන්නේ ?"


තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ :

"ඇත්තටම ඉන්ජරීස්වල ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම හොඳ වෙන කාලයේත් ප්‍රශ්නයක් තියෙනවා."

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්