හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධ වංචාවට සම්බන්ධ මහ මොළකරුවන් අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි දැයි විපක්ෂ නායකවරයා

පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධ වංචාව සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගන්නේ ඊට සම්බන්ධ සාමාන්‍ය පුද්ගලයන් බවත් එම වංචාවට සම්බන්ධ ප්‍රබල චරිත කැබිනට් මණ්ඩලයේ පවා සිටින බැවින් එම මහ මොළකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය.



මෙතෙක් කතාව සැකෙවින් ....

ඉමියුනෝග්ලොබියුලීන් මානව ප්‍රතිදේහ 5g එන්නත සම්බන්ධ වංචාවේ තෝරු, මෝරුන්ට වඩා විශාල “තල්මසාව” මේ වන විට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇත.

Isolez biotech pharma AG limited නැමති සමාගමේ අධ්‍යක්ෂ වරයෙක් සහ Isolez biotech pharma AG නැමති තනි පුද්ගල ව්‍යාපාරයේ හිමිකරු මෙසේ අත්අඩංගුවට පත්වී ඇත.

 

2022 වර්ෂයේ මැද භාගයේ රටතුල පැනනැගී තිබුන උග්‍ර ඖෂධ හිගය නිසා සම්මත ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව කඩිනම් ඖෂධ මිළදී ගැනීමේ උපායමාර්ගික සැලසුමක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන අතිරේක ලේකම් විසින් අමාත්‍යවරයාට යෝජනා කරඇත. ඔහු යටතේ තිබූ 2019 වසරේ කෝවිඩ් සමයේ ක්‍රියාත්මකවූ හදිසි මිළදී ගැනීමේ ඒකකය හරහා ඖෂධ මිළදී ගැනීමට ඒ අනුව කැබිනට් පත්‍රිකාවක් සකස්විය.

 

රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුව වෙනදා ඖෂධ මිළදීගත් රාජ්‍ය ඹෟෂධ සංස්ථාව සහ කැබිනට් මණ්ඩලය පත්කර තිබූ ටෙන්ඩර්කමිටුව මගහැර අමාත්‍යාංශයේ ඖෂධ සැපයීම් අංශය වෙනුවෙන් නව ටෙන්ඩර් කමිටුවක් පත්විය.

ඉහත සදහන් කැබිනට් පත්‍රිකාව ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ කඩිනමින් ඖෂධ මිළදී ගැනීම සදහා සකස් කල එකකි.

මෙම කැබිනට් පත්‍රිකාව අමාත්‍යවරයා 26/ 09 / 2022 දින අත්සන් කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුනි.

නමුත් එය කැබිනට් මණ්ඩලයේ සාකච්චාවට ගෙන ඇත්තේ 03/10/2022 දිනයේදීය.

එදින එම කැබිනට් පත්‍රිකාවේ 4.1 සහ 4.2 යන ඉල්ලීම් වෙනුවෙන් අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා ගේ අත්සනින් යුතුව එම අනුමැතිය අදාල ආයතනවලට නිකුත් වෙන්නේ 11/10 2022 දිනයේදීය.

 

නමුත් සැප්තැම්බර් 26 වෙනිදා අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාව අත්සන් කරන දිනයේම වෛද්‍ය සැපයුම් අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් ඉතා හදිසි ඖෂධ 182 ක ලයිස්තුවක් අතිරේක ලේකම් ප්‍රසම්පාදනට යොමුකරන අතර ඊට පසුදින මුදල් අමාත්‍යාංශය යටතේ තිබෙන රජයේ ටෙන්ඩර් වෙබ් අඩවිය වන promise වෙබ් අඩවියේ ඉහත ඖෂධ 182 සදහා ටෙන්ඩර් කැදවා ඇත.

 

සැප්තැම්බර් 27 වන දින කැදවූ ටෙන්ඩර් අවසාන දිනය සහ විවෘත කරන දිනය ඔක්තෝම්බර් 03 වෙනිදා ලෙස දක්වා ඇත.

මෙම ඖෂධ ලයිස්තුවේ එක් ඖෂධයක් වන ඉමියුනෝග්ලොබියුලීන් වල ආසන්න වටිනාකම රුපියල් මිලියන දහසකි.

දල වශයෙන් අනිත් ඖෂධ 181 සමග එකතුව රුපියල් මිලියන 30,000 කට අධික වටිනා කමකි.

බිලියන 30 කට අධික රාජ්‍ය ටෙන්ඩරයක් සැප්තැම්බර් 27 කැදවා , ඔක්තෝම්බර 03 වනදා විවෘත කර ඇත.

 

27 කැදවූ ටෙන්ඩරය 28,29,30 යන තෙදින සහ 03 වෙනිදා දහවල් 12 දක්වා ලංසුකරුවන් වෙනුවෙන් විවෘතව තබා ඇත.( ඔක්තෝම්බර් 01 සහ 02 සෙනසුරාදා සහ ඉරිදාය.) රජයේ ප්‍රසම්පාදන නීති රෙගුලාසි අනුව ටෙන්ඩර් කැදවිය යුතු අවම දින ගනන රජයේ වැඩකරන දින 14 කි. මහා වංචාවේ ආරම්භය එසේ සනිටුහන් වේ. තවද සෞඛ්‍ය අමාත්‍යාංශය සදහා කැබිනට් මණ්ඩලය පත්කර තිබෙන ටෙන්ඩර් කමිටුව වෙනුවට අමාත්‍යාංශය පත් කරගත් කමිටුවක් හරහා ප්‍රසම්පාදන කටයුතු සිදුකර ඇත.

 

ඉමියුනෝග්ලොබියුලින් එන්නත් 5g 100ml කුප්පි 7500 ක් සදහා වන ටෙන්ඩරය ඇමරිකානු ඩොලර් 130 ලෙස අඩුම මිළ ගනන් ඉදිරිපත් කල Isolez biotech pharma AG limited වෙත ප්‍රධානය කර ඇත.

ටෙන්ඩරයේ ප්‍රධානතම රෙගුලාසි අනුව අදාල ඖෂධ ඉන්දියානු නිෂ්පාදන විය යුතුයි.

එසේම අදාල ඖෂධය රට තුල ලියාපදිංචි වී නොමැතිනම් අනිවාර්යයෙන්ම ලියා පදිංචිය අත්හැරීමේ සහතිකයක් සදහා ඖෂධ නියාමන අධිකාරියට ඉල්ලීම් කර එහි පිටපතක් ටෙන්ඩර් පත් සමග ඉදිරිපත් කල යුතුව ඇත. 

තවද අදාල ලංසු කරුවන්ගේ පහසුව පිනිස ඖෂධ නියාමන අධිකාරියේ අයදුම් පත බාගත කරගත හැකි වෙබ් අඩවිය පවා ටෙන්ඩර් පත්‍රිකාවේ ඇතුල්කර තිබේ.

 

Isolez සමාගමේ හිමිකරු හෙවත් මේ මහා වංචාවේ “තල්මසා “ සිය ලංසු පත්‍රිකාවේ සිටම කූඨ ලෙඛණ සැකසීම ආරම්භ කර ඇත. අදාල ඖෂධය ඉන්දියානු සමාගමක් නිෂ්පාදනයක් බව සදහන් කර ඇත. එමෙන්ම අමුද්‍රව්‍ය එම ඉන්දියානු සමාගමෙන් ආනයනය කර ඔහුට අයත් කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කර නැවත ඉන්දියාවට යවා ඉන්දියානු සහතික සහිතව ප්‍රති  ආනයනය කරන බව ලංසු පත්‍රිකාවේ සදහන්කර තිබේ.

 

තාක්ශණ ඇගයීම් කමිටුව ක්‍රියා කරතිබෙන ආකාරය බරපතල සැකයක් !

ඔහුට මෙම ටෙන්ඩරය පිරිනැමීමට කලින් තාක්ශණ ඇගයීම් කමිටුව ක්‍රියා කරතිබෙන ආකාරය බරපතල සැකයක් මතුකරයි.

1- ප්‍රථමයෙන් මෙවැනි අතිසංවේදී ප්‍රතිදේහ සහිත එන්නතක් නිෂ්පාදනය කල හැකි කිසිදු සමාගමක් රටතුල නොමැති බව ඔහුන් නොදැන සිටියාද?

2- එමෙන්ම Isolez සමාගමට පෙනඩෝල් පෙත්තක්, විටමින් කරලක් හෝ නිශ්පාදනය කිරීමට ඖෂධ නියාමන අධිකාරිය අවසර දී නැතිබව ඔහුන් නොදැන සිටියාද?

3- එමෙන්ම ලංසු පත්‍රිකාවේ සදහන් ඉංදියානු සමාගම ගැන සොයා බැලුවාද?

4- අඩුම තරමින් අන්තර්ජාලය ඔස්සේ අදාල සමාගම ගැන සහ ඔහුන් මෙම එන්නත නිෂ්පාදනය කරනවාද කියා සොයා නොබැලුවේ ඇයි ?

5- එමෙන්ම ඉන්දියානු සමාගමේ නමින් ඉදිරිපත් කල තත්වසහතික පරීක්ෂා නොකලේ ඇයි ?

6- ඉතා හදිසි මිළදී ගැනීමක් ලෙස සදහන් මෙම ටෙන්ඩරය ලබාගත් පසු ඖෂධ සැපයීම මාස ගානක් පසුවුනේ ඇයී ?

7- 7500 බැගින් මාස 3 කට ඖෂධ කුප්පි 22500 ක සැපයුමක් කල යුතු සමාගමක් මැයිමාසේ 27 වෙනිදා කුප්පි 100 ක් පමනක් සපයද්දී එය බාරගත්තේ ඇයි ? 

8- ඉන්පසු වාර 14ක් තුල වරකට 250 බැගින් වාර දහයක් පමන මාස කිහිපයක් තුල ඔහු සපයා ඇත්තේ 4000කට අඩු සංඛ්‍යාවකි.


මේ  අතර අදාල එන්නත ලබාදුන් රෝගීන් කිහිපදෙනෙකුට සංකූලතා ඇතිවීමට පටන් ගෙන ඇත.  මුලින්ම මාතලේ රෝහලේ රෝගියෙකුට මෙම එන්නත නිසා අසාත්මික තාවයක් ඇතිවී ඇත.

මාතලෙන් පසුව මහනුවර, මාතර සහ කොළඹ මහ රෝහලෙන්ද මේ තත්වය මතුවන අතර මෙම සිදුවීම  අදාල රෝහල් මගින් MSD සහ NMRA දැනුවත් කර ඇත. 

 

වහාම ක්‍රියාත්මක වන NMRA ආයතනය අදාල ඖෂධය භාවිතාකිරීම නැවැත්වීමට උපදෙස් ලබා දී ඇති අතර එම රෝහල් වලින් එම එන්නතේ විස්තර ලබාගෙන පරීක්ෂා කර බැලීමේදී එය NMRA ලියාපදිංචි ඖෂධයක් නොවන බව තහවුරුවීම නිසා එය හදිසි අවශ්‍යතාවය මත ලියාපදිංචිය අත්හැරීමේ සහතිකයක් මත ආනයන කර තිබේද කියා සොයා බැලීමේදී අඩුම තරමේ ඒ සදහා අයදුම්කර හෝ නොමැතිබව පෙනීගොස් ඇත.

 

ඒ අනුව ක්‍රියාත්හක වන NMRA විධායක අධ්‍යක්ෂ වරයා මෙම ඖෂධය වංචාකාරී එකක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධරීන්ට දැනුම් දෙන අතරම ලෝක සෞඛ්‍ය සංවිධානයද දැනුම්වත් කර ඇත.

වැඩිදුරටත් සොයා බැලීමේදී අදාල ඉන්දියානු සමාගම මෙම එන්නත් වර්ගය නිෂ්පාදනය නොකරන බව NMRA වෙත ලිඛිතව දන්වා ඇත. එමෙන්ම Isolez සමාගම සමග කිසිදු ගනුදෙනුවක් නොමැති බවද සදහන් කර ඇත.

සැකකරුවන් කිහිපදෙනෙකු රිමාන්ඩ් භාරයේ 

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ ඇතුළු උසස් නිලධාරී සිව්දෙනා එළැඹෙන 29 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගත් මෙම පිරිස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදුන්නේය.

වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල වික්‍රමනායක, සහකාර අධ්‍යක්ෂ දේවශාන්ත සොලමන්, ගණකාධිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය සහ තොග පාලක සුජිත් කුමාර යන අය මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.  

මේ අතර ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි සිද්ධිය සම්බන්ධයෙන් මෙරට සමාගමේ හිමිකරු මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියි.

මිනිස් රුධිරයෙන් නිපදවන හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධයේ ප්‍රමිතියෙන් තොර එන්නත් කුප්පි 22,500 ක් ව්‍යාජ ලේඛන සකස් කරමින් ඇනවුම් කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.  


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්