පවතින තත්ත්වය තුළ තමන්ගේ ජීවිතය අහිමි වුවහොත් එයට ජනාධිපතිවරයා සහ සාගල රත්නායක වගකිව යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.


අද (27) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා පවසා සිටියේ, තමාගේ ජීවිතය පිළිබඳ අද වනවිට අවිනිශ්චිත තත්ත්වකට මුහුණ දී ඇති බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

"කථානායකතුමනි, මේක දේශපාලනයේ නව ඉරාවක් වෙන්න ඕනේ. ඒ තුළ මගේ ජීවිතය නැති වෙන්න පුළුවන්. මාව මහ මඟ මරලා දාන්න පුළුවන්. ඒක හෙටද අදද අනිද්දා ද දන්නේ නෑ. ඒකට ජනාධිපතිවරයාත්, සාගල රත්නායකත් වගකියන්න වෙයි. මේවා කපන්න එපා හැන්සාඩ් එකෙන්. හැබැයි මේ 134ක් ඡන්දය දුන්නේ එතුමාට ජනාධිපති වෙලා එතුමාට අපෙන් පළිගන්නද කියන ප්‍රශ්නය තියෙනවා." 

''මේ සැරේ බැරිවුනොත් ලබන ජනාධිපතිවරණයේ දී බලාගන්නවා''

ක්‍රිකට් ආයතනයේ  ප්‍රශ්නය ඉවර මෙවර නොවුනොත් මීළඟ ජනාධිපතිවරණයේ දී කොහොමත් එය ඉවර කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් පැවසීය.

"මට ඕන මේක ඉවර වෙන්න. විගණන වාර්තාව අනුව ඔප්පු වූ හොරකම් කරපු තක්කඩි දූෂිත රැළ ගෙදර යවන්න. ක්‍රිකට් එක පල්ලෙහාට දාපු දූෂිත රැලට ඒ වගකීම පවරන්න. ඒක දැන් කරන්න බැරිනම් මීළඟ ජනාධිපතිවරණයේදී හරි කරනවා" යනුවෙන්ද රොෂාන් රණසිංහ කියා සිටියේය.

'ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සමුළුවට ගිහින් කිව්වේ මොකක්ද? දූෂණය නැති කරන්න ඕන කිව්වා. එහෙනම් දූෂණය නැති කරන්න කටයුතු කරන මට එරෙහිව කටයුතු කරන්නෙ ඇයි? මම හැමදාම රොෂාන් රණසිංහ. ඇමතිවරයෙකු විදිහට මගේ ආරක්ෂාව කොහොමද? මගේ ආයතනය වටලන්න විධායකයේ මැදිහත්වීම ගැන කණගාටු වෙනවා. අවශ්‍ය නම් යතුරු ටික ඔක්කොම දෙන්නම්. පරික්ෂා කරන්න. මට ජීවත්වීමේ අයිතිය ලබා දෙන්න. මගේ බිරිඳ දරුවො වෙනුවෙන් මට ජීවත්වීමේ අයිතිය ලබා දෙන්න. සරණාගත වීසා එකක් ඉල්ලගෙන වෙනත් රටකට පනින්න මම සූදානම් නැහැ.

සරණාගත රැකවරණ දෙන්න කියලා මම යන්න සූදානම් නැහැ. '' යනුවෙන්ද රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් තවදුරටත් පැවසීය.



ඇමති රොෂාන් වෙනුවෙන් සජිත්ගෙන් ප්‍රශ්නයක්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වටලන්න පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ විභාග කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ක්‍රීඩා ඇමැතිගේ බලතල කප්පාදු කිරීමට කැබිනට් තීරණයක් ගෙන තිබෙන බවත්, ක්‍රීඩා පනත හරහා ක්‍රීඩා ඇමතිට අතුරු අතුරුකමිටු ආදිය පත් කිරීමට බලය ලැබී තිබෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

පනතින් බලය දී තිබියදී එතුමාට  තීන්දු තීරණ ගැනීමට කැබිනට් අනුමැතිය ගත යුතුදැයි සජිත් ප්‍රේමදාස කීය.

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්