ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුරාවිද්‍යා ස්මාරක අතර විශේෂ ස්ථානයක් හිමි වන අවුකන පිළිමයට

සිවුරු ඇන්දවීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

මෙම ක්‍රියාව ඇතැමෙකු හාස්‍යයට ලක් කරමින් ද, තවත් පිරිසක් දෝෂ දර්ශනයට ලක් කරමින් ද සමාජ මාධ්‍යවල සටහන් තබා ඇති අතර, තවත් පිරිසක් එය සාධාරණීකරණය කර ඇති අයුරු ද දැකිය හැකි විය.

මේ අතර, මේ සම්බන්ධයෙන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායකගේ උපදෙස් මත "පූර්ණ පරීක්ෂණයක්" ආරම්භ කර තිබේ.


"වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ප්‍රධානත්වයෙන් පූර්ණ පරීක්ෂණයක් කරනවා. අපි බලනවා මෙතනදි පුරාවිද්‍යා ආඥා පනත උල්ලංඝණය කරලා තියෙනවා ද කියලා. එහෙම දෙයක් වෙලා තියෙනවා නම් පරීක්ෂණ කමිටුවේ උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. වරදක් කරලා තියෙනවා නම් දඬුවම් දිය යුතුයි කියන අදහසේ මමත් ඉන්නවා," අමාත්‍යවරයා පැවසීය.


කෙසේ වෙතත්, මෙම සිද්ධියට සම්බන්ධ කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව තහවුරු කළේය.

'ඇප මත මුදා හැරිය නොහැකි වරදක්'

1940 අංක 9 දරන පුරාවස්තු ආඥා පනත සහ 1998 අංක 24 දරන පුරාවස්තු (සංශෝධන) ආඥා පනත යටතේ පුරාවස්තුවක් 'අයුතු ලෙස වෙනස් කිරීම' වරදකි.

ඒ පිළිබඳව සඳහන් කර ඇති 1998 අංක 24 දරන පුරාවස්තු (සංශෝධන) ආඥා පනතේ 15 ආ. වගන්තිය මෙසේ කියයි.


"යම් පුරාවස්තුවක් ඕනෑකමින් ම විනාශ කරන, හානියට පත් කරන, විරූපී කරන හෝ අයුතු ලෙස වෙනස් කරන නැතහොත් එහි යම් කොටසක් ඕනෑකමින් පළුදු කරන යම් තැනැත්තෙකු වරදකට වරදකරු වේ."


ඊට අමතරව, එහි 15 ඇ‍. වගන්තියේ දැක්වෙන්නේ, '1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ හෝ වෙනත් යම් ලිඛිත නීතියක පටහැනිව කුමක් සඳහන් වුව ද, මේ ආඥාපනත යටතේ වරදකට චෝදනා ලැබූ හෝ චූදිතයෙකු වූ කිසි ම තැනැත්තෙකු ඇප මත මුදා නොහැරිය යුතුය,' යනුවෙනි.

දඬුවම් මොනවා ද?

ඉහත සඳහන් කළ වැරදි ක්‍රියාවක් සම්බන්ධයෙන් වරදකරුවෙකු වන අයෙකුට පුරා වස්තු ආඥා පනත යටතේ දඬුවම් නියම වන ක්‍රම තුනක් පවතී.

ඉන් පළමු වැන්න, රුපියල් 50,000කට නොවැඩි දඩයක් නියම කිරීම ය.
දෙවැන්න, වසර දෙකකට නොඅඩු සහ වසර පහකට නොවැඩි කාලයක් බන්ධනාගාර ගත කිරීම ය.
තුන් වැන්න එම දඩය සහ සිර දඬුවම යන දෙක ම නියම කිරීම ය.

 

සැකකරුවන් නිදැල්ලේ

zdfsfew54

අවුකන පිළිමයට සිවුරු ඇන්දවීම සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු මේ දක්වා අත්අඩංගුවට නොගැනීම ප්‍රශ්නසහගගත බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.

ඔහු චෝදනා කළේ, මේ සම්බන්ධයෙන් ගල්නෑව පොලිසියට පැමිණිලි දෙකක් කළ ද මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවය.

නොවැම්බර් 27 සහ නොවැම්බර් 28 වන දා අදාළ සිදුවීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා නිලධාරීන් ගල්නෑව පොලිස් ස්ථානයේ පැමිණිලි දෙකක් ගොනු කර තිබිණි.

27 වන දා 1998 අංක 24 දරන පුරාවස්තු (සංශෝධන) පනතේ 15 (ආ) වගන්තිය යටතේ ද, 28 වන දා 1940 අංක 9 දරන පුරාවස්තු පනතේ 31 වගන්තිය යටතේ ද අදාළ පැමිණිල්ල තවදුරටත් ශක්තිමත් කිරීමට පොලිසිය හමුවේ පැමිණිලි ගොනු කර ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ති ජයසිංහ පැවසීය.


පුරාවස්තුවක් යනු කුමක් ද?

somadewaශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා අඥා පනතට (1940) අනුව "පුරාවස්තු යනු 1815 මාර්තු මස 2 වන දාට පෙර (එනම් උඩරට ගිවිසුම අත්සන් තැබූ දිනට පෙර) නිර්මාණය කරන ලද බවට විශ්වාස කෙරෙන කිසියම් වූ ගොඩනැගිල්ලක්, යම් ලෙස රැගෙන යා හැකි වස්තුවකි.

ඊට අමතරව, සංස්කෘතික අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයක් මගින් නිවේදනය කොට ප්‍රකාශ කරන ලද වසර 100කට වඩා පැරණි ස්මාරක ද පුරාවස්තු ලෙස සැලකේ.

එම වස්තු පුරාවස්තුවක් ලෙස නම් කර නොතිබුණ ද, පුරාවස්තු ලෙස පිළිගැනෙන බව පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව පවසයි.


පුරාවස්තු අයිති භික්ෂූන් වහන්සේලාට ද?

ශ්‍රී ලංකාවේ පෞරාණික, ඉතා වැදගත් පුරාවස්තුවලින් 85%ක් බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ අණසක යටතේ පවතින බව කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය රාජ් සෝමදේව පවසයි.

බීබීසී සිංහල‌ සේවය සමග අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, පුරාවස්තු බොහෝ විට විහාරස්ථාන ආශ්‍රිතව පැවතිය ද ඒවායෙහි කිසිදු අයිතියක් බෞද්ධ භික්ෂූන්ට නොමැති බවය.


"ලංකාවේ පෞරාණික ඉතා වැදගත් පුරාවස්තු 100ක් ගත්තොත් ඒකෙන් 85ක් තියෙන්නේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ අණසක යටතේ. අනුරාධපුරයට ගියා ම පේනවා රුවන්වැලි සෑයට කරලා තියෙන වින්නැහිය. පුරාවස්තු ආඥා පනතේ තියෙන විධිවිධාන යටතේ ඔය කිසි කෙනෙකුට පුරාවස්තු අයිති නෑ. පැහැදිලිව කියලා තියෙන්නේ, අහසේ තිබුණත්, පොළොවේ තිබුණත්, දිය යට තිබුණත් පුරාවස්තුවක් යනුවෙන් නිර්වචනය කරන දේ අයිති රජයට කියලා."


මහාචාර්ය රාජ් සෝමදේව ප්‍රකාශ කළේ, පුරාවස්තු ස්මාරකයකට හානියක්, නිගරුවක් කළහොත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පුරාවිද්‍යා කොමසාරිස්ට බලයක් ඇති බවය.


"මෙච්චර නීති තියෙද්දී මේවා ක්‍රියාත්මක කරන්න ඕන නේ. ස්වාමීන් වහන්සේලාට කිසි අයිතියක් ඕවට නෑ. ඔතන තියෙන්නෙ දේශපාලනයක්. පුරාවිද්‍යා කොමසාරිස්ට පුළුවන් ස්වාමීන් වහන්සේ කෙනෙක් හෝ වෙනත් ආගමක පූජකවරයෙක් පුරාවස්තු ස්මාරකයකට නිගරුවක්, හානියක් කළොත් අත්අඩංගුවට ගන්න. එක සැරයක් ඒ විදිහට මිහින්තලේ නායක හාමුදුරුවන්ව අත්අඩංගුවට ගත්තා."

භික්ෂූන්ගේ ක්‍රියාවන්ගෙන් පුරාවස්තු රැක ගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ ද?

රටේ ක්‍රියාත්මක වන නීතිය සහ පුරාවස්තු ඇති ස්ථානවල අධිපතිකම් දරන භික්ෂූන් වහන්සේලා අතර ගනුදෙනුව නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වගකීමක් පැවරෙන බව මහාචාර්ය රාජ් සෝමදේව අවධාරණය කරයි.


"අවුකන සිද්ධිය තවත් එක සිද්ධියක් විතරයි. මේවා නතර කරන්න නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දේශපාලනය සහ සිවුරට තියෙන බය පැත්තකට දාලා නිසි ප්‍රතිපත්ති සකස් කරන්න ඕන. මොකක්ද ඒ ප්‍රතිපත්තිය කියලා ඔවුන් පැහැදිලි කරන්න ඕනෙ. නැත්නම් මේ ප්‍රශ්නය කවදාවත් විසඳන්න බැහැ."


මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී පුරාවිද්‍යා වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ති ජයසිංහ පැවසුවේ, ඉහත කී ප්‍රශ්නය සම්බන්ධයෙන් උපදේශක කමිටුවේ උපදෙස් ලබාගෙන අවුකන සිද්ධිය සම්බන්ධයෙන් සකස් කෙරෙන කමිටු වාර්තාවේ යෝජනා මාලාවට ඇතුළත් කිරීමට අවධානය යොමු කරන බවය.

ඇය පැවසුවේ, දැනට පවතින ප්‍රතිපාදන අනුව සියලු පුරාවස්තු ස්මාරක වෙනුවෙන් පුරාවිද්‍යා නිලධාරීන් යෙදවීමට හැකියාවක් නොමැති බවය.

ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ එනම් ධාතුසේන රාජ්‍ය පාලන සමයේ නිර්මාණය කරන ලදැයි සැලකෙන අවුකන පිළිමය ප්‍රමුඛතම ශෛලමය ස්මාරකයක් ලෙස සැලකේ.

එහි උස මීටර් 11.84ක් වන අතර බුදුන් වහන්සේගේ අභය මුද්‍රාව දැක්වෙන පරිදි එය නිර්මාණය කර තිබේ.
 
පුරාවස්තුවල‌ට මීට පෙර හානි කළ අවස්ථා කිහිපයක්
 
සීගිරි කැටපත් පවුරට කොණ්ඩ කටුවකින් හානි කළ බවට මඩකලපුව ප්‍රදේශයේ පදිංචි තරුණියක 2015 වසරේ පෙබරවාරි මස 14 වන දා අත්අඩංගුවට ගැනුණු අතර, එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබා දුන් සමාව මත 2015 වසරේ අප්‍රේල් 15 වන දා ඇය නිදහස් කෙරිණි.

කුරුණෑගල රාජධානිය කරගත් දෙවැනි බුවනෙකභාහු රජුගේ රාජ සභා මණ්ඩපය කඩා දැමීමේ සිද්ධිය වාර්තා වූයේ, 2020 වසරේ ජූලි මාසයේදී ය.
gfsfsdfe
 
එහිදී ද, ඊට වගකිව යුතු වූ කුරුණෑගල එවකට නගරාධිපති ධූරය දැරූ තුෂාර සංජීව අත්අඩංගුවට ගැනීමට පොලිසිය කඩිනමින් ක්‍රියාත්මක නොවූ බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව චෝදනා කළේය.

තවමත් එම සිද්ධිය අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

* ඊට අමතරව, කුණ්ඩසාලේ, උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ පැවති සඳගල පාෂාණයට හානි කළ බව වාර්තා විය.

උඩමළුව රක්ෂිතය ලෙස පුරාවිද්‍යා නිලධාරීන් විසින් නම් කර ඇත්තේ, ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහයන් විසින් ස්වකීය රාජධානියේ ඒ මාලිගාව ඉදිකර තිබුණු බවට සැලකෙන ප්‍රදේශයයි.

ඊට අදාළ සැකකරුවන් කිහිප දෙනෙකු පසුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර එය ද තවමත් අධිකරණයේ විභාග වෙමින් පවතින බව දෙපාර්තමේන්තුව පැවසීය.
 

ICCPR පනත යටතේ අත්අඩංගුවට ගත හැකි ද?
 
අවුකන පිළිමයට සිවුරක් ඇන්දවීම සම්බන්ධයෙන් ICCPR හෙවත් 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගත හැකි දැයි එම පනත පිළිබඳ විශේෂඥ හැදෑරීමක් කර ඇති නීතිඥයෙකු වන ජයන්ත දෙහිඅත්තගේගෙන් අදහස් විමසීමු.

ඔහු ප්‍රකාශ කළේ, එම පනත යටතේ අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත නොහැකි බවය.

"ICCPR පනතෙන් කියන්නේ යම් ආගමකට අපහාස කිරීම වගේ දෙයක් වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් කියන එක. මෙතනදී වෙලා තියෙන්නේ එම ආගමේ ම භික්ෂුවක් අන්ධ භක්තියෙන් හෝ භක්තිය වැඩිකමට කරපු වැරදි ක්‍රියාවක්. ඒකෙන් ආගමික වශයෙන් අපහාසයක් සිද්ධ වෙලා තියෙන බවක් පේන්නෙ නෑ. ඒ නිසා මේකට නඩු පවරන්න ඕන පුරාවස්තු ආඥා පනත යටතේයි," නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ පැවසීය.

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්