ප්‍රවීණ රංගධරයෙකු වූ සුමින්ද සිරිසේන අද (දෙසැ. 04) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. මියයන විට ඔහු 75 වන වියේ පසුවිය.



කලක් සිට ස්නායු ආශ්‍රිත රෝගී තත්ත්වයකින් පීඩා විඳි සුමින්ද සිරිසේන අභාවප්‍රාප්ත වූයේ, ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

වේදිකාව, පුංචි තිරය සහ රිදී තිරය යන ක්ෂේත්‍ර තුන ම ජයගත් ප්‍රවීණයෙකු වූ සුමින්ද සිරිසේනයන්ගේ ජීවිතාවලෝකනය සඳහා බීබීසී සිංහල සේවය තබන සටහනකි, මේ.

මුල් විය

සුමින්ද සිරිසේන 1948 ජූලි හතරවන දා කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් පිටිසර ගමක් වන බොස්සැල්ලේදී උපත ලැබුවේ, බුලත්ගමුව සිරිසේන සහ පුංචි නෝනාගේ කුළුඳුල් පුත්‍රයා ලෙසිනි.

ඔහුගේ පියා සාම්ප්‍රදායික ජන නාට්‍ය රඟදැක්වූවෙකි. මව වූ පුංචි නෝනා ගෘහණියක විය. සුමින්ද සිරිසේන බාල සහෝදරයන් දෙදෙනෙකු සහ සහෝදරියන් දෙදෙනෙකුගේ වැඩිමල් සොහොයුරා විය.

උපන් ගමේ පාසල වූ පුස්සැල්ලාව මහා විද්‍යාලයයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ ඔහු, 1963 වසරේ දී තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයයට ඇතුළත් වීමට ශිෂ්‍යත්වයක් හිමිකර ගත්තේ ය.

පසු කලෙක විශිෂ්ටත්වයට පත්වූ ඔහුගේ කලා දිවියට පදනම වැටුණේ තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයයෙනි.

ඔහු තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයයේ ඉගෙනුම ලැබූ කාලයේ දී, සංගීතඥයෙකු සහ පසුකලෙක සම්මානනීය රංගන ශිල්පියෙකු වූ දයා අල්විස්, ප්‍රකට කවියෙකු වූ ආරියවංශ රණවීර සහ ප්‍රවීණ කලාකරුවෙකු වූ ජයසුමන දිසානායක යන කලාකරුවන් එම විද්‍යාලයයේ ගුරු මණ්ඩලයේ සේවය කළහ.

ඔවුන්ගේ ඇසුර ලබමින් නාට්‍යකරණයට පිවිසි සුමින්ද සිරිසේන පාසල් සමයේ දී ම වේදිකා නාට්‍ය රංගනයට දායක විය.

ඒ අනුව, 1967 වසරේ රාජ්‍ය පාසල් නාට්‍ය උළෙලේ අවසන් වටයට සුදුසුකම් ලැබූ තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයයේ 'ගිරිකූඨ' නාට්‍යය ඔහු වේදිකාවේ රඟපෑ පළමු නාට්‍යය වූ අතර, එහිදී ඔහුට රංගන විශිෂ්ටත්වය වෙනුවෙන් කුසලතා සහතිකයක් ද හිමි විය.

පාසල් අධ්‍යාපනයෙන් පසු

පාසල් අධ්‍යාපනයෙන් පසු සුමින්ද සිරිසේන, විශේෂ ආධුනික නිලධාරියෙකු ලෙස 1969 වසරේ දී ශ්‍රී ලංකා දුම්රිය සේවයට එක්වී තිබේ.

පසුව, ලයනල් වෙන්ඩ්ට් කලා මධ්‍යස්ථානය විසින් ආරම්භ කරන ලද ධම්ම ජාගොඩ මෙහෙයවූ ශිල්ප ශාලිකා රංග පාඨමාලාව හැදෑරූ ඔහු 1969 වසරේ දී ප්‍රසිද්ධ වේදිකාවේ ඔහුගේ ප්‍රථම රංගනය 'මූදු පුත්තු' වේදිකා නාට්‍යයෙන් සනිටුහන් කළේ ය.

ඒ අතරතුර ඔහු 1970 වසරේ දී ඕමානයට ගොස් වසර දෙකක කාලයක් ව්‍යාපෘති තාක්ෂණික නිලධාරියෙකු ලෙස සේවය කළේ ය.

ඔහු ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයයෙන් සමාජ විද්‍යාව පිළිබඳ BA උපාධියක් ලබාගත් අතර පසුව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයෙන් MA උපාධිය සම්පූර්ණ කර තිබිණි.


රංගන දිවිය

Suminda sirisena manameසුමින්ද සිරිසේන, මනමේ නාට්‍යයේ පොතේගුරු ලෙස


1969 වසරේ දී ප්‍රසිද්ධ වේදිකාවට පය තැබූ ඔහුගේ ප්‍රථම වේදිකා නාට්‍යය වූයේ 'මූදු පුත්තු' නාට්‍යය යි.

1970 දශකයේ දී සුමින්ද 'මීපුර වැසියෝ' ඇතුළු වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක වූ අතර, 'අන්දරේලා' සහ 'රෝමය ගිනි ගනියි' නාට්‍යවල රඟපෑම් වෙනුවෙන් රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය.

එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු, බවකඩතුරාව, මහාසාර, මනමේ නාට්‍යවල රගපෑම ඔහුගේ රංගන දිවියේ වැදගත් සංධිස්ථානයන් විය.

පසුව ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට පිවිසි ඔහු රඟපෑ ප්‍රථම ටෙලිනාට්‍යය වූයේ 1985 වසරේ දී විකාශය වූ 'සිහින නිම්නය'යි. 'හිරුට මුවාවෙන්' ටෙලි නාට්‍යයේ ඔහු කළ රංගනයත්, 'අසල්වැසියෝ' ටෙලි නාට්‍යයේ ලොකු අයියා චරිතයත්, 'චරිත තුනක්' ටෙලි නාට්‍යයේ 'ඉසා' චරිතයත් බෙහෙවින් ජනාදරයට පත්විය.

ඔහු ටෙලි නාට්‍ය 40කට වැඩි ගණනක රඟපා ඇති අතර, රාජ්‍ය සම්මාන ඇතුළු සම්මාන රැසක් දිනාගෙන තිබිණි.

ඔහුගේ මංගල සිනමා රංගනය දිග හැරුණේ, 1976 වසරේ තිරගත වූ 'දුහුළු මලක්' චිත්‍රපටයේ ය. ඔහු සප්ත කන්‍යා, යකඩ පිහාටු, උප්පලවණ්ණා, සමනල තටු, ඉර හඳ යට, ගුරු ගෙදර, උඩුගං යාමය, ගමණි, බෝම්බ සහ රෝස ඇතුළු චිත්‍රපට රැසක රඟපා තිබේ.

ඔහුගේ විශිෂ්ට රංගනය වෙනුවෙන් කලා කීර්ති (2017) සහ කලා භූෂණ (2014) යන ගෞරවණීය සම්මානවලින් ද පිදුම් ලබා ඇත.

2002 වසරේ දී ඔහු 'සිවුරංග' නමින් නාට්‍ය පාසලක් පිහිටුවීය. එම නාට්‍ය පාසලෙන් ශිෂ්‍ය කණ්ඩායම් හතරක් බිහි කිරීමට ඔහුට හැකි වූ අතර, පසුව ඔහු කොළඹ ටවර් හෝල් ඇකඩමියේ උපදේශකවරයෙකු ලෙස සේවය කළේ ය.


රෝගී වීම

2012 මැයි මාසයේ දී සුමින්ද සිරිසේන හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු අතර ඉන්පසු ඔහුට ඇවිදීමේ දුෂ්කරතා ඇති විය. ඔහු පසුව භෞතචිකිත්සක ප්‍රතිකාර ලබමින් සිටියේ ය.

ඔහු එලෙස රෝගී වූයේ, 'සේපාලිකා' සහ 'බොරළු පාර' ටෙලි නාට්‍යවල රංගන කටයුතුවල නියැළෙමින් සිටි අතරතුර දී ය. ඔහු ඉන්පසු රංගනයට සම්බන්ධ වූයේ නැත.


සමකාලීනයින්ගේ මතක සැමරුම්

සුමින්ද සිරිසේන සමග මහාසාර ඇතුළු සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය රැසක මෙන් ම 'අසල්වැසියෝ' නාට්‍යයේ සුමින්ද සිරිසේනගේ බාල සොහොයුරෙකු ලෙස ද රංගනයෙන් දායක වූ ශ්‍රියන්ත මෙන්ඩිස් ඔහු‌ගේ සමීප මිත්‍රයෙකි.

සුමින්ද සිරිසේන සම්බන්ධයෙන් ශ්‍රියන්ත මෙන්ඩිස් ඔහුගේ මතක සැමරුම් මෙසේ දිග හැරියේ ය: "ඔහු මාත් එක්ක රඟපෑවා, අසල්වැසියෝ ටෙලි නාට්‍යයේ මගේ අයියා ලෙස. තවත් ටෙලි නාට්‍ය රැසක වගේ ම එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මහාසාර ඇතුළු නාට්‍ය කිහිපයකම මාත් සමග රඟපෑවා. යමක් ඉගෙන ගන්නත්, ඉගෙනගත් දේ අන් අය සමග බෙදා ගැනීමටත් ඔහුට අවශ්‍යතාවක් තිබුණා. ඔහුගේ දායකත්වය අහිමි වීම ශ්‍රී ලංකාවේ රංගන කලාවට විශාල පාඩුවක්."

මේ අතර, ශ්‍රී ලංකා ජාතික රූපවාහිනී සේවයේ ආලකමන්දාව වැඩසටහන වෙනුවෙන් සුමින්ද සිරිසේන කලාකරුවා පිළිබඳ තිර පිටපතක් රචනා කරමින් සිටි ප්‍රවීණ නාට්‍ය ශිල්පියෙකු සහ සාහිත්‍යධරයෙකු වන බුද්ධදාස ගලප්පත්ති බීබීසී සිංහල සේවයට අදහස් දැක්වීය.

"සුමින්ද සිරිසේන ගැන තිර පිටපතක් ලියමින් සිටි අතරතුර තමයි ඔහු අභාවප්‍රාප්ත වුණා කියන ප්‍රවෘත්තිය දැන ගන්නට ලැබුණේ. මම පිටපත ලියලා ඉවර කරලා තිබුණේ. මට අවශ්‍ය වෙලා තිබුණේ, සුමින්ද හමුවෙලා ඔහුගෙන් සම්මුඛ සාකච්ඡාවක් ගන්න විතරයි. ඊයේ රෑ තමයි වැඩසටහනේ නිෂ්පාදකයා එක්ක කතා කරලා ඒ සම්මුඛ සාකච්ඡාව සැලසුම් කළේ. අද වේද්දී එතුමා අපි අතර නැහැ. මගේ තිර පිටපත් අසම්පූර්ණ යි ඒ නිසා," බුද්ධදාස ගලප්පත්ති හැඟුම්බර ස්වරයකින් පැවසීය.

අවසන් කටයුතු

සුමින්ද සිරිසේනයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු දෙසැම්බර් හත්වැනි බ්‍රහස්පතින්දා පස්වරු 5.00ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කෙරෙන බව ඔහුගේ පුත් නන්දිත සිරිසේන පවසයි.

එතෙක් දේහය බොරැල්ල රේමන්ඩ් හවුස් මල් ශාලාවේ අවසන් ගෞරව දැක්වීම සඳහා තැන්පත් කර තිබේ.

(BBC සිංහල සේවය)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්