නිසි කාලයේදී උසස් වීම් නොලැබීම හේතුවෙන් ගොනු කරන ලද අංක 242/2023 රිට් පෙත්සම

සලකා බැලීමෙන් පසු අභියාචනාධිකරණය මැන්ඩාස්මුස් ආඥාවක් නිකුත් කරමින් යුද හමුදාපති විකුම් ලියනගේට නියෝග කර ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවේ පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් චන්දන රණවීර මේජර් ජෙනරාල් නිලයට උසස් කිරීම සඳහා ජනාධිපතිවරයාට නිර්දේශ කරන ලෙසයි.

ඒ 2021 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදිය.

එමෙන්ම එකී උසස් වීමට අමතරව එම දිනයේ සිට බ්‍රිගේඩියර් චන්දන රණවීරට හිමි හිඟ වැටුප් හා සියලු දීමනා ගෙවන ලෙසද මෙහිදී අභියාචනාධිකරණය නියෝග කර ඇත.


මෙම තීන්දුව මෙන්ම ඉදිරිපත් කරන ලද පෙත්සමද ඓතිහාසිකය. මන්ද පොලිස් දෙපාර්තමේන්තුව වැනි ආයතනයකින් ස්ථාන මාරු, උසස් වීම් වැනි දේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග හෝ රාජ්‍ය සේවා කොමිසම හා පොලිස් කොමිසම වැනි ආයතනවලට පැමිණිලි ඉදිරිපත් කළද, යුද හමුදාව වැනි ව්‍යුහයන් තුළින් ඒ ආකාරයේ පැමිණිලි ඉදිරිපත් නොවන නිසාය.

 

උසස් වීම් ලබාදීමේදී බ්‍රිගේඩියර් චන්දන රණවීරට සිදුකර ඇති අසාධාරණය සම්බන්ධයෙන් මීට පෙර 'අනිද්දා' පුවත්පත 2023 අගෝස්තු 13 දින ‘හමුදාපතිලා පත්වෙන්නේ ගජබා රෙජිමේන්තුවෙන් විතරද? හමුදා උසස්වීම්වලට එරෙහිව මානව හිමිකම් පැමිණිල්ලක් ’ යනුවෙන් වාර්තා කරන ලදි.

ඒ බ්‍රිගේඩියර් චන්දන රණවීර විසින් ඔහුට සිදුවූ අසාධාරණය ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් පාදක කර ගනිමින්ය. එම පැමිණිල්ලේ ඔහු වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ වත්මන් යුද හමුදාපති විකුම් ලියනගේ, එවක සිටි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා හා යුද සේවා ලේකම්ය. එම පැමිණිල්ලෙන් ඔහු බලාපොරොත්තු වූයේ ඔහුට හිමි මේජර් ජෙනරාල් තනතුරට උසස් වීම, ඊට අදාළ වැටුප් හා දීමනා, මේජර් ජෙනරාල් තනතුරට අනුව ජ්‍යෙෂ්ඨත්වයේ පිහිටුවීම හා එම තනතුරට අදාළ සුදුසු තනතුරක පිහිටුවීම ආදියයි.


එම පැමිණිල්ල සලකා බැලූ අවස්ථාවේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ මතය වී තිබුණේ බ්‍රිගේඩියර් චන්දන රණවීරට උසස් වීම් නොදීමෙන් අසාධාරණයක් සිදුවී ඇති බවයි. ඒ සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයා උත්තර බැඳීමෙන් පසු බ්‍රිගේඩියර් චන්දන රණවීර ඔහුගේ නිරීක්ෂණ ඉදිරිපත් කර තිබුණි. ඉන්පසු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කිරීමෙන් පසු පැමිණිලිකරුගේ ලිඛිත නිරීක්ෂණ සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයාගේ සවිස්තර වාර්තාවක් කැඳවා තිබුණි.


ඒ 2023.06.15 දින හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙමින්ය. ඒ සඳහා යුද හමුදාපතිවරයාගෙන් ප්‍රතිචාරයක් නැති තැන 2023.07.14 දින දැනුම් දී තිබුණේ දින 07ක් ඇතුළත කොමිෂන් සභාව වෙත වාර්තාවක් ලැබීමට සලස්වන ලෙසය. 'අනිද්දා' පුවත්පත් වාර්තාව පළවන මොහොත වනවිටත් යුද හමුදාපතිවරයා ඒ සඳහා පිළිතුරු ලබාදී තිබුණේ නැත. එසේ මානව හිමිකම් කොමිසම යුද හමුදාපතිවරයාගෙන් වාර්තාවක් කැඳවා තිබුණේ එම කොමිසමේ අවසන් නිගමනය ලබාදීම සඳහාය. ඉන්පසු මානව හිමිකම් කොමිෂන් සභාව සැප්තැම්බර් මස 11 දින සහිතව යළි යුද හමුදාපතිවරයාට දැනුම් දී තිබුණේ බ්‍රිගේඩියර් චන්දන රණවීරට සිදුවී ඇති අසාධාරණය සම්බන්ධයෙන් අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳව ඔක්තෝබර් මස 12 දිනට පෙර දැනුම් දෙන ලෙසයි.

එහිදී යුද හමුදාපතිවරයා මානව හිමිකම් කොමිසමට දැනුම් දී තිබුණේ එම කරුණ සම්බන්ධයෙන් බ්‍රිගේඩියර් චන්දන රණවීර අභියාචනාධිකරණයේ නඩුවක් ගොනුකර ඇති බැවින් එහි තීන්දුව අනුව කටයුතු කරන බවයි.

මානව හිමිකම් කොමිසමට සිය පැමිණිල්ල ඉදිරිපත් කිරීමට පෙර බ්‍රිගේඩියර් චන්දන රණවීර සිය දුක්ගැනවිල්ල යුද හමුදාපතිවරයා වෙත කිහිප වතාවක්ද, සේනාධිනායක හෙවත් ජනාධිපතිවරයා වෙත එක් වතාවක්ද ඉදිරිපත් කර තිබුණි.

බ්‍රිගේඩියර් චන්දන රණවීර අයත් කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 28 නිලධාරීන්ට 2020 නොවැම්බර් 30 දින සිට උසස් වීම් ලබාදී තිබුණද විවිධ හේතු දක්වමින් ඔහුට උසස් වීම් ලබාදී තිබුණේ නැත. එසේ වුවද ඔහුට උසස්වීම් ලබා නොදීමට ඉදිරිපත් කළ හේතු ඇති තවත් අයට නම් උසස් වීම් ලබාදී තිබුණි.


'අනිද්දා' ලිපියෙන් එම අවස්ථාවේ පෙන්වා දුන්නේ මේ සඳහා හේතුව වෙන කිසිවක් නොව ගජබා රෙජිමේන්තුවේ නිලධාරීන්ට යුද හමුදාපති ධුරය ලබාදීමේ සැලැස්මක් අනුව එය සිදුවන බවයි. ගජබා රෙජිමේන්ුවේ නිලධාරීන් ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළට ගැනීමේ මෙහෙයුම් ආරම්භ වී තිබුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු වන අතර ඔහු විසින් පත්කරගත් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කමල් ගුණරත්න ගජබා රෙජිමේන්තු සාමාජිකයෙකි. වත්මන් යුද හමුදාපති විකුම් ලියනගේද ගජබා රෙජිමේන්තු සාමාජිකයෙකි. හිටපු යුද හමුදාපති හා වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා ගජබා රෙජිමේන්තු සාමාජිකයෙකි. (යුද හමුදාපති ධුරය දරන අවස්ථාවේම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරය දරන ලද එකම හමුදාපතිවරයා ශවේන්ද්‍ර සිල්වාය. මෙතෙක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරය ලබා දුන්නේ විශ්‍රාම යන ත්‍රිවිධ හමුදාපතිවරයෙකුටය)


වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ දෙවන සේවා දිගුව අවසන් වීමට නියමිතව ඇත්තේ මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදාය. ඔහුට තවදුරටත් සේවා දිගුවක් ලබා නොදුන්නොත් 2024 ජනවාරි 01 දින සිට නව යුද හමුදාපතිවරයෙකු පත්විය යුතුය. යුද හමුදාවේ දෙවෙනියා වන මාණ්ඩලික ප්‍රධානියෙකු ජනාධිපතිවරයා දැනට පත්කර නැති අතර හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සංජය වනසිංහ විශ්‍රාම යෑමෙන් පසු එම ධුරය දැනට පවතින්නේ මාසයකට අධික කාලයක් තිස්සේ හිස්වය.

යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා පත් කරන්නේ යුද හමුදාපතිවරයා නිසා එම තනතුරත් යම් කාලයක් හිස්ව තිබී නොවැම්බර් 21 දින සිට ක්‍රියාත්මක පරිදි එම තනතුර සඳහා මේජර් ජෙනරාල් ජීආර්පීපී ජයවර්ධන පත්කර තිබේ. ඔහු මේ වනවිට යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨත්ව ලැයිස්තුවේ ඉහළින්ම සිටින නිලධාරියා වන අතර ඔහුද මෙම වසරේ දෙසැම්බර් 08 දින වයස අවුරුදු 55 පිරීම නිමිත්තෙන් විශ්‍රාම යා යුතුය. ඔහුට තවදුරටත් සේවයේ සිටිය හැක්තේ ජනාධිපතිවරයා සේවා දිගුවක් ලබා දුන්නොත් පමණය. (යුද හමුදාපති ධුරයට පත්වන පුද්ගලයාට සාමාන්‍ය වශයෙන් ලබාදෙන සේවා දිගුවට අමතරව එම තනතුරට පත්නොවූ මේජර් ජෙනරාල්වරයෙකුට මෑතකදී සේවා දිගු ලබාදී නැති අතර එසේ ලබා දුන්නේ ශවේන්ද්‍ර සිල්වාට හා සත්‍යප්‍රිය ලියනගේට පමණි.)

අභියාචනාධිකරණයේ නියෝගය අනුව බ්‍රිගේඩියර් චන්දන රණවීර මේජර් ජෙනරාල් ධුරයට පත්කර ඔහු ජ්‍යෙෂ්ඨත්වයේ නිසි තැන තැබුවහොත් ඔහු යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨත්වයෙන් දෙවෙනියා බවට පත්වේ. ඒ ඔහු කැඩෙට් පාඨමාලා අංක 28 නිලධාරියෙකු වන බැවින්ය. දැනට නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස පත්කර ඇති මේජර් ජෙනරාල් ජීආර්පීපී ජයවර්ධන පවා මේජර් ජෙනරාල් රණවීරට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් කනිෂ්ඨ වේ. ඒ ඔහු කැඩේට් පාඨමාලා 29 සාමාජිකයෙකු වන නිසාය. ඒ අනුව දැනට හිස්ව පවතින යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරය මේජර් ජෙනරාල් ධුරයට පත්කළහොත්, ජ්‍යෙෂ්ඨත්වය අනුව දැරීමේ හැකියාව බ්‍රිගේඩියර් රණවීරට හිමිවනු ඇත. එමෙන්ම ඔහු 2024.03.20 වැනිදා වයස අවුරුදු 55 සම්පූර්ණ වීම නිසා විශ්‍රාම යෑමට නියමිත හෙයින් වත්මන් යුද හමුදාපති විකුම් ලියනගේට තවදුරටත් සේවා දිගුවක් ලබා නොදුන්නොත් 2024 ජනවාරි 01 වැනිදා සිට යුද හමුදාපති ධුරයට පත්වීමේ ජ්‍යෙෂ්ඨත්වයද ඔහුට හිමිවේ.


ඉහත සඳහන් කරන ලද අධිකරණ තීන්දුව නොමැති තත්වය තුළ යුද හමුදාවේ ඊළඟට ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින් සිටින්නේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් එස්පීඒඅයිඑම්බී සමරකෝන් වන අතර ඔහු වයස අවුරුදු 55 සපිරීම නිසා විශ්‍රාම යෑමට නියමිතව ඇත්තේ 2024.11.28 දිනය. එහෙත් යුද හමුදාපති ධුරය සහ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරය සඳහා සුදුසුකම් ලබන සටන් රෙජිමේන්තු වන සන්නාහ සන්නද්ධ බලකාය, කාලතුවක්කු හමුදාව, ඉංජිනේරු බලකාය, පාබල හමුදාව, සිංහ රෙජිමේන්තුව, ගැමුණු හේවා බලකාය, ගජබා රෙජිමේන්තුව, විජයබා රෙජිමේන්තුව, කොමාන්ඩෝ බලකාය හා විශේෂ බලකාය යන ඒවායේ සාමාජිකයෙකු නොවන නිසා මේජර් ජෙනරාල් සමරකෝන්ට යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ධුරයෙන් එහා ඉහළ තනතුරකට යා නොහැකිය.


ඉන්පසු ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහලින් සිටින්නේ සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් යූඩී විජේසේකර වන අතර ඔහු වයස අවුරුදු 55 සපිරීම නිසා මෙම වසරේ දෙසැම්බර් 30 වැනිදා විශ්‍රාම යා යුතුය. ඔහුට පසු ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් ඩබ්ලිව්එච්කේඑස් පීරිස් ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින් සිටින අතර ඔහු 2024.06.05 වැනිදා වයස අවුරුදු 55 සැපරීම නිසා විශ්‍රාම යා යුතුය. ඉන්පසු ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරාල් එම්කේ ජයවර්ධන සිටින අතර ඔහු වයස අවුරුදු 55 සැපිරීම නිසා 2024.05.24 විශ්‍රාම යා යුතුය.

මේ අනුව අපට පෙනෙන දෙය වන්නේ බ්‍රිගේඩියර් චන්දන ජයවීරට සාධාරණත්වය ඉටුනොකළහොත් ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් පීරිස් වත්මන් යුද හමුදාපති විකුම් ලියනගේ විශ්‍රාම යෑමත් සමඟ යුද හමුදාපති ධුරයට ජ්‍යෙෂ්ඨත්වය අනුව සුදුසුකම් ලබන බවයි. ඒ අනුව ගජබා රෙජිමේන්තුව වෙනුවෙන් යුද හමුදා ජ්‍යෙෂ්ඨත්වය පෙළ ගස්සවා තිබෙන ආකාරය මෙන්ම එම ජ්‍යෙෂ්ඨත්වයට අභියෝගයක් වූ බි්‍රගේඩියර් රණවීර වැනි තම කැඩෙට් පාඨමාලාවේ ඉහළින් සිටි හා වයසින් අඩු නිලධාරීන්ව කපා දමා ඇති ආකාරය පෙන්නුම් කරයි.

අපට දැනට වාර්තා වන ආකාරයට අභියාචනාධිකරණයේ ඉහත සඳහන් තීරණයට එරෙහිව යුද හමුදාපති විකුම් ලියනගේ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කිරීමේ උත්සාහයක නිරත වෙමින් ඇති අතර ඒ සම්බන්ධයෙන් යුද හමුදා ජජ් ඇඩ්වකේට් හෙවත් විනිසුරු නීතිඥයින් විරුද්ධ වී තිබේ. අධිකරණ තීරණය ක්‍රියාත්මක කළහොත් බ්‍රිගේඩියර් රණවීර මේජර් ජෙනරාල් ධුරයට පත්වී ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළට ඒම අනිවාර්යෙන්ම සිදුවේ. ඒ නිසා දැනට හිස්ව පවතින යුද හමුදාවේ දෙවන නිලය වන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරයට, ජ්‍යෙෂ්ඨත්වය අනුව ජනාධිපතිවරයා පත් කිරීම් කරනවා නම් ඔහුව පත්කිරීමට සිදුවේ. එපමණක් නොව විකුම් ලියනගේ හමුදාපති ධුරයෙන් විශ්‍රාම ගිය පසු ඊළඟ හමුදාපති ධුරයටත් ඔහු සුදුසුකම් ලබයි.


යම් හෙයකින් යුද හමුදාපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර අභියාචනාධිකරණයේ තීන්දුව ස්ථිර වුවහොත්, ඉන්ද බ්‍රිගේඩියර් රණවීරට සාධාරණත්වය ඉටුවන්නේ නැත. ඒ එම තීන්දුව ලැබෙන විට නව යුද හමුදාපතිවරයකු පත්වී හෝ බ්‍රිගේඩියර් රණවීර විශ්‍රාම ගොස් සිටිය හැකි බැවිනි. අවසානයේ අධිකරණ තීන්දුව අනුව එම නියෝගයම ලැබුණද, ඔහුට ඉටුවන සාධාරණත්වය වනු ඇත්තේ පසු දාතම සහිතව මේජර් ජෙනරාල් ධුරයට උසස් වීමක් ලැබීම හා ඊට අදාළ වැටුප් හා දීමනා ලැබීම පමණය. නොඑසේව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරය හා යුද හමුදාපති ධුරය ලැබීම ඔහුගෙන් වැළකෙනු ඇත.


වත්මන් යුද හමුදාපති විකුම් ලියනගේ මෙන් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කමල් ගුණරත්නට අල්ලේ නැටවිය හැකි ගජබා රෙජිමේන්තු යුද හමුදාපතිවරයකු වෙනුවෙන් ඉහත සඳහන් කළ ආකාරයේ ඕනෑම දෙයක් ඉදිරියේදී සිදුවිය හැකිය.

මේ ගජබා මෙහෙයුමට එසේ පවතිද්දී ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා කාර්ය මණ්ඩල ප්‍රධානී ජනාධිපතිවරයා මෙන්ම ආදී රාජකීයයෙකු වන සාගල රත්නායක ‘ආදි රාජකීයයෙක්’ මීළඟ යුද හමුදාපති ධුරයට පත් කිරීම සඳහා උත්සාහ කරමින් සිටින බව වාර්තා වන අතර ඒ අනුව ආදී රාජකීයයෙකු වන ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරාල් එම්කේ ජයවර්ධන යුද හමුදාපති ධුරයට පත් කිරීමේ උත්සාහයක් පවතින බව වැඩිදුරටත් වාර්තාවේ.

අවසානයේ සිදුවිය හැක්කේ බ්‍රිගේඩියර් රණවීරට අධිකරණ නියෝගය අනුව සාධාරණත්වය ඉටුවීම, ගජබා රෙජිමේන්තු හමුදාපතිවරයෙකු යළි පත්වීම හෝ රාජකීය විද්‍යාලයේ හමුදාපතිවරයෙකු පත්වීමද යන අවස්ථා තුනෙන් එකක්ය. ඒ පිළිබඳව අපි විමසිල්ලෙන් සිටිමු.

(ලසන්ත රුහුණගේ)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

උපුටා ගැනීම - anidda.lk

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්