වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද (11) දිනයේ සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය සහ

ලෝක බැංකුව මඟින් ලබාදෙන මුදල් අහිමි වීමේ අවධානමක් මතුව ඇතැයි ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසයි.

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (10) දිනයේ දී පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතව තිබුණ ද ගණ පූර්ණය නොමැති වීම හේතුවෙන් සභාවේ කටයුතු අද දිනය දක්වා කල්තැබුණි.

සභාව කල්තැබීමෙන් අනතුරුව සභා නායක සුසිල් ප්‍රේමජයන්ත, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන් විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන හමුවී අදාළ පනත් කෙටුම්පත අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට ප්‍රකාශ කළේය.

ඒ අනුව පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිත බව සඳහන්ය.

අද උදෑසන 9.30ට පාර්ලිමේන්තුව ආරම්භ වීමට නියමිත අතර සභාවේ මුලික කටයුතුවලින් අනතුරුව මෙම විවාදය ආරම්භ කිරීමට නියමිතය.

සභා නායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ, නියමිත වේලාව තුළ දීම වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකරන ප්‍රශ්න අවසන් කිරීමට බලාපොරොත්තු වන බවය.

මේ අතර අද උදෑසන 8.30ට ආණ්ඩු පක්ෂයේ රැස්වීමක් පැවැත්වීමට ද පියවර ගෙන ඇති බව ද සභානායකවරයා සඳහන් කළේය.


වැට් බදු පනත් කෙටුම්පතට විරුද්ධයි - ශ්‍රීලනිපය


කෙසේවෙතත් වැට් බදු සංශෝධන පනත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ දේශපාලන පක්ෂ විවිධ අදහස් පළ කරමින් සිටින අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මෙම පනත් කෙටුම්පතට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට කටයුතු කරන බවය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රචාරක ලේකම් තිසර ගුණසිංහ එම නිවේදනයෙන් අවධාරණය කර ඇත්තේ, අද පාර්ලිමේන්තුවේදී පනත් කෙටුම්පතට විරුද්ධ වීම පක්ෂයේ ස්ථාවරය බවයි.

ඒ අනුව එම නිවේදනයේ දැක්වෙන්නේ "පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වැට් (VAT) බදු සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය බව ප්‍රකාශ කරමු" යනුවෙනි.

මහින්ද අමරවීර සහ නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු කිහිපදෙනකු ආණ්ඩුවේ ප්‍රබල ඇමැති ධූර හොබවයි.

මේ අතර වැට්බදු සංශෝධන පනත් කෙටුම්පත නිසි විවාදයක් පැවැත්වීමෙන් තොරව සම්මත කිරීමට ඉඩ නොදෙන බව කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමගි ජන බල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න සඳහන් කළේය.


ඊයේ දියවන්නාවේදී දියකර දැමූ දැවැන්ත සල්ලි කන්ද


ඊයේ (10) පාර්ලිමේන්තුව රැස් වුණේ, මේ මොහොතේ රටම කතාවෙන එකතු කළ අගය මත හෙවත් වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීමටය.

කෙසේ වෙතත් ගණපූරණය නොමැති වීමෙන් එම විවාදය නවත්වා පාර්ලිමේන්තුව අද දිනය දක්වා කල් තැබීමට නියෝජ්‍ය කථානායකවරයාට සිදුවිය.

ජනතාවට සංවේදී කාරණයක් වූ වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත සංවාදයට ලක් කිරීම සඳහා මෙරට සිටින දෙකෝටි විසි ලක්ෂයක් වූ පුරවැසියන් අතුරෙන්, පුරවැසියා විසින් ම තෝරා පත් කරගනු ලැබුණු මහජන නියෝජිතයෝ 225ක් දෙනෙක් සිටිති.

එකී දුලබ අවස්ථාව පුරවැසියා විසින් ඔවුනට ලබා දී ඇත්තේ, නියෝජිතයන් රාජ්‍යයට හා පුරවැසියාට යහපත් යමක් කරනු ඇති බවට යන චේතනාවෙනි.

පාර්ලිමේන්තුවේ තොරතුරු දැනගැනීමේ නිලධාරි පවසන පරිදි, එක් දිනක පාර්ලිමේන්තුව පැවැත්වීම උදෙසා වැය වන මහජන මුදල රුපියල් දෙකෝටි පනස් ලක්ෂය ඉක්මවයි.

රුපියල් දෙකෝටියක් නම් මොකක් ද වැනි සරල හැඳින්වීමකින් මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුව අමතක කර දැමුවා ද? අවසාන වශයෙන් පැවසිය යුත්තේ, මහජන මුදල් නාස්ති කරමින් මෙසේ නියෝජිතයන් හැසිරීම පුරවැසියා විසින් සරල කාරණයක් ලෙස ගෙන නො සිටිය යුතු බව ය.


(මුලාශ්‍රය -adaderana.lk)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්