එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී අද (11 ) සම්මත විය.


2024 විසර්ජන පනත් කෙටුම්පතේ අද දිනට නියමිත කාරක සභා අවස්ථාවේ වැඩකටයුතු නිමවීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ සදහන් එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීම පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී.

ඒ අනුව අද ප.ව 4.35 ට පමණ පැවති පනත් කෙටුම්පත දෙවනවර කියැවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 98ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 41ක් හිමි විය. මේ අනුව වැඩි ඡන්ද 57 කින් පනත් කෙටුම්පත දෙවනවර කියවීම සම්මත විය.

අනතුරුව පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේදී ඊට සංශෝධන එක් විය.

අද ප.ව 4.58ට පමණ පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 100ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 55ක් හිමි විය. මේ අනුව වැඩි ඡන්ද 45 කින් එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත විය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක්, එක්සත් ජාතික පක්ෂයේ වජිර අබේවර්ධන සහ  සමග ජන බලවේගයේ සිට ආණ්ඩුවට එක් වූ හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරු පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

සමගි  ජන බලවේගය, ජාතික ජන බලවේගය, නිදහස් ජනතා සන්ධානය, දෙමළ ජාතික සන්ධානය යන පක්ෂවල මන්ත්‍රීවරුන් පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.

අනුර පියදර්ශන යාපා, ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න, වඩුවෙල් සුරේෂ්,නිමල් ලාංසා සහ ප්‍රියංකර ජයරත්න යන මන්ත්‍රීවරු පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඡන්දය විමසන අවස්ථාවේදී සභාගර්භයේ නොසිටියේය.

මෙම වැට් විවාදයේදී අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය  රංජිත් සියඹලාපිටිය පැවසුවේ, වැට් බදු සංශෝධනයෙන් කෝටි  37800 ක ආදායමක් බලාපොරොත්තු  වන බවයි.

විපක්ෂයේ දෙබිඩි පිලිවෙතක් - නාමල් කියයි

බදු අඩු කරන ලද මහින්ද රාජපක්ෂ ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට යෝජනා කරන විපක්ෂය, බදු වැඩි කරන විට ඊටද විරුද්ධව හඬ නගන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසිය.

ඔහු එබව කියා සිටියේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

බදු අඩු කළ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට පෙත්සම් අත්සන් කරමින් සිටින විපක්ෂය බදු වැඩි කළා යැයි වත්මන් ජනාධිපතිවරයාට ද විරුද්ධ වන බවත් දෙබිඩි පිලිවෙතක් අනුගමනය නොකර විපක්ෂය තමන්ගේ හරි ස්ථාවරය කුමක්දැයි හෙළි කළ යුතු බවත් ඔහු එහිදී පැවසීය.

විශේෂයෙන්ම බදු යනු දේශපාලන වාසි ගැනීමේ මෙවලමක් ලෙස විපක්ෂ කණ්ඩායම් පාවිච්චි කරන බවත්, සිදු කල යුත්තේ විද්‍යාත්මකව නිසි බදු ප්‍රතිපත්තියක් සකස් කිරීම බවත් නාමල් රාජපක්ෂ කියා සිටියේය.

 

වැට් බද්ද විශාල වශයෙන් ඉහළ නැංවීම සම්බන්ධයෙන් තමන්ට එකඟතාවක් නැති බවද පැවසූ මන්ත්‍රීවරයා, සිදු කළ යුත්තේ බදු ප්‍රතිශතය ඉහළ නංවා ජනතාව අමාරුවේ දැමීම නොව බදු ජාලය පුළුල් කිරීම බවද සඳහන් කළේය. බදු ගෙවීම් පැහැර හරින පුද්ගලයින් නිවැරැදි ලෙස හදුනාගත යුතු බවත් ඔවුන්ගෙන් බදු අයකරගත යුතු බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.


බදු ප්‍රතිශතය කොතරම් ඉහළ නැංවුවත් බදු ජාලය ඉහළ නංවා නැතිනම් ප්‍රතිඵලයක් නොලැබෙනු ඇතැයිද, අවශ්‍යවන්නේ සරල බදු ක්‍රමයක් සහ ජනතාවට දරාගත හැකි බදු ප්‍රතිපත්තියක් රට තුළ ක්‍රියාත්මක වීම  බවත් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ‍ය.

වැට් බද්ද ඉහල නැංවීම සම්බන්ධයෙන් ඡන්ද විමසීමට තමන් සහභාගී නොවන බවත් ඒ බව දැනුම් දී තිබූ බවත් හෙතෙම කියා සිටියේය. 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්