විදුලි කප්පාදුව හෝ හිටි හැටියේ විදුලි සැපයුම අඩාල වීම මෙරට ජනතාවට මීට වසර එකහමාරකට

පමණ පෙර කාලයේ දී පුදුමය දනවන සිදුවීමක් නොවු බව නොරහසකි.

නමුත් නැවතත් රටේ ජනතාව තුළ විදුලි සැපයුම පිලිබඳ කතිකාවතක් මතුව ඇත. ඊට ප්‍රධාන හේතුව වන්නේ සෙනසුරාදා (දෙසැ 09) මුළු රටේම විදුලි ‍සැපයුම බිඳ වැටීම යි.

fdgr65

විදුලි සැපයුම බිඳ වැටීමට හේතුව කුමක් ද?

බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන නියෝජ්‍ය සාමාන්‍යධිකාරි නොයෙල් ප්‍රියන්ත පැවසුවේ කොත්මලේ සිට බියගම දක්වා විදුලිය ගෙන එන සම්ප්‍රේෂණ මාර්ගය ස්වභාවික කරුණක් මත බිඳ වැටී ඇති බව යි.

"බැලු බැල්මට පෙනී යන්නේ මේක ස්වභාවික හේතුවක් මත සිදුවූ දෙයක් කියලා. අකුණක් නිසා ඇතිවූ තත්ත්වයක් කියලයි කියන්නේ. ඒක ගැන තවදුරටත් හොයා බලනවා," ඔහු කියා සිටියේ ය.

පාර්ලිමේන්තුවේ වාද විවාද

dfwe45

සෙනසුරාදා දිනයේ දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම රටේ ජාතික ආරක්ෂාවට මෙන්ම, ආර්ථිකයට සහ සාමාන්‍ය ජන ජිවිතයට දැඩි බලපෑමක් එල්ල කළ බව හා මෙම තත්ත්වයට හේතුවූ සත්‍ය කරුණු හෙළි කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (දෙසැ 10) පාර්ලිමේන්තුවේ දී පැවසුවේ ය.

විපක්ෂ නායකවරයා විසින් යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පැවසුවේ එම විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යාංශය සහ විදුලිබල මණ්ඩලය වෙන් වෙන් වශයෙන් පරීක්ෂණ දෙකක් සිදුකරන බව ය.

"මේ වෙද්දී විදුලිබල අමාත්‍යාංශය සහ විදුලිබල මණ්ඩලය පරීක්ෂණ ආරම්භ කරලා තියෙන්නේ. ඒ නිසා දත්ත සටහන්, ඒ ආකාරයෙන් ජනන යන්ත්‍රවලින් ලබා ගැනීමට හේතුවූ කරුණු මේ වෙද්දීත් අපි අනාවරණය කරගෙන තියෙන්නේ."

"2015 වසරේ දී ඉදිකරන්න තිබ්බ පොල්පිටිය - කොත්මල් රැහැන් පද්ධතියේ ඉදිකිරිම වසර ගණනාවකින් ප්‍රමාද වෙලා තියෙන්නේ. ඒ නිසා, ඇයි මෙච්චර ප්‍රමාද වුනේ මේක ඉදිකරන්න හේතුව ගැන පරීක්ෂණයක් කරන්න කියලා ඇමතිතුමා දැනුම් දුන්නා. මේකට හේතු කාරණා ගණනාවක් තියෙනවා."

"මේ අවුරුද්ද පුරාම අපි පැය 24ම විදුලිය දුන්නා. නමුත් ඊයේ මෙහෙම අවාසනාවන්ත තත්ත්වයක් ඇතිවුණා," නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ය.



අසමතුලිතතාව ප්‍රධාන හේතුවක්

fgdrtrter

එක්වරම මුළු රටටම විදුලි සැපයුම බිඳ වැටීම සිදුවෙන ආකාරය සම්බන්ධයෙන් කරුණු දැන ගැනීමට බීබීසි සිංහල සේවය ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සම ලේකම් ජනක ලක්මෙවන්ගෙන් කරුණු විමසා සිටියේ ය.

එහිදී ඉංජිනේරුවරයා පවසා සිටියේ රටේ පවතින විදුලි ඉල්ලුම සහ සැපයුම නිසියාකාරව පවත්වාගෙන යාමේ දී ජාතික විදුලි බල පද්ධතිය ඇතැම් අවස්ථාවල දී මුහුණ දෙන අසමතුලිතතාවන් නිසා ක්ෂණිකව විදුලි සැපයුම බිඳ වැටීමකට ලක්වීමේ හැකියාවක් පවතින බව යි.

"විදුලිය කියන්නේ පරිභෝජනය කරන භාණ්ඩයක්. ප්‍රශ්නේ තියෙන්නේ අනිත් ඒවා වගේ විදුලිය ගබඩා කරන්න බැහැ. මේ වගේ ලොකු ශක්තියක් ගබඩා කරන්න පහසු නැහැ. සාමාන්‍ය ප්‍රමාණයක් ගබඩා කරන්න පුලුවන් බැටරිවල වගේ. හැබැයි ඒ වෙනුවෙන් ලොකු වියදමක් දරන්න වෙනවා."

"ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන මැදිරිය තමයි රටේ තියෙන විදුලි ඉල්ලුමට අවශ්‍යතාවය සහ රටේ තියෙන විදුලි බලාගාරවල තියෙන ජනන යන්ත්‍රවලින් නිපදවෙන විදුලිය සමතුලිත කරලා තමයි ලබා දෙන්නේ. ඒ සමතුලිතතාවය නැතිවුණාම විදුලි සැපයුම බිඳ වැටීමකට ලක්වෙන්නේ," ඔහු පැවසුවේ ය.

විදුලි සැපයුම පාලනය කරන මෙම ප්‍රධාන පද්ධතියේ අසමතුලිතතාවය සිදුවන ආකාරය සහ එක්වරම විදුලිය බිඳ වැටෙන්නේ කෙසේදැ යි අපි ඉංජිනේරු ජනක ලක්මෙවන්ගෙන් වැඩිදුරට කරුණු විමසුවෙමු.

ඔහු ඊට ලබා දුන්නේ මෙවන් පිළිතුරකි: "උදාහරණයක් විදිහට බැලුවොත් මේ වෙලාවේ රටේ මෙගාවොට්‌ 1000ක විදුලි ඉල්ලුමක් තියෙනවා කියලා. එතකොට විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන මැදිරිය තමයි රටේ තියෙන බලාගාරවල තියෙන ජනන යන්ත්‍රයවලින් අදාළ ඉල්ලුම සම්පුර්ණ කරලා දෙන්න ඕන. ඔය දෙකම හරියටම සමවුණාම තමයි ප්‍රධාන පාලන පද්ධතියේ සංඛ්‍යාතය හර්ට්ස් 50ක් කියලා කියන්න පුළුවන් වෙන්නේ."

"කොයි හරි අවස්ථාවක දී විදුලි ඉල්ලුම එක්වරම මෙගාවොට් 1000 ඉදලා ඊළඟ පැයේ දී මෙගාවොට් 1,200ක් දක්වා ඉහළ යෑමක් වුණාම මේ කියන සංඛ්‍යාතයේ අඩුවීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ හර්ට්ස් 50 තියෙන්න ඕන ඒක හර්ට්ස් 49.8, 49.7 වගේ පහළට ගමන් කරනවා.

"එහෙම අඩු වෙද්දී අදාළ ඉල්ලුමට හරියන සැපයුම පුරවන්න කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. ඒ වගේ අඩු වෙන ඒක පාලනය කරන්නේ අපේ ජල විදුලි උත්පාදනයෙන්. එතැනින් මෙගාවොට් 100ක් එක් කරන්න පුළුවන්," ඔහු පැවසුවේ ය.

"තවත් උදාහරණයක් විදිහට අපි අරන් බැලුවොත් නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරයේ තියෙන ජනන යන්ත්‍ර තුනෙන් හදිසියේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය වුණා කියලා. එහෙම දෙයක් වුණාම මෙගාවොට් 300ක් අඩු වෙනවා ජාතික විදුලිබල පද්ධතියට. එහෙම වෙලාවට ප්‍රධාන පද්ධතියේ සංඛ්‍යාතය අඩු වෙද්දී ජල විදුලි උත්පාදනයෙන් ලබා දෙන්න පුළුවන් වෙන්නේ මෙගාවොට් 100ක් කියන්න. අන්න එතකොටත් පාලන පද්ධතියේ සංඛ්‍යාතය අඩුවීමක් වෙනවා."

"මේ වෙද්දී රටේ තියෙන විදුලි ඉල්ලුම මෙගාවොට් 1000ක් වෙද්දී, සැපයුම තියෙන්නේ මෙගාවොට් 800ක්. මෙගාවොට් 200ක අඩුවක් වෙනවා.

"විදුලිය උත්පාදනය කරන ජනන යන්ත්‍රවල තියෙනවා යම් මට්ටමක්. මෙහෙම සංඛ්‍යාතය අඩු වෙද්දී ඒ ජනන යන්ත්‍ර තමන්ගේ ආරක්ෂාවට ස්වයංක්‍රියව ක්‍රියා විරහිත වෙනවා. ඒ වගේමයි හර්ට්ස් 50 තියෙන්න ඕන සංඛ්‍යාතය 51කට ගියොත් ඒත් ස්වයංක්‍රියව ක්‍රියා විරහිත වෙනවා. මේකට අපි කියන්නේ Over Frequency/ Under Frequency කියලා."

"මේ වගේ එක විදුලි ජනන යන්ත්‍රයක් ක්‍රියා විරහිත වුණාම අනිත් ජනන යන්ත්‍රත් ඉබේම ක්‍රියාවිරහිත වෙන්න පටන් ගන්නවා. එහෙම වුණාම තමයි සමස්ත පද්ධතියේම බිඳ වැටීමක් වෙන්නේ," ඔහු පැවසුවේ ය.


මෙවැනි බිඳ වැටීමක් පාලනය කරගන්න ඇති හැකියාව කුමක්ද?

රටේ සමස්ත විදුලි සැපයුම බිඳ වැටීම වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාදැ යි බිබීසි සිංහල සේවය ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සම ලේකම්වරයාගෙන් විමසීය.

ඔහු පැවසුවේ විදුලි සැපයුම සහ ඉල්ලුම සමතුලිත කර ගැනීමට ඇතැම් අවස්ථාවන්වල දී වැඩි ධාරිතාවක් සහිත විදුලි ග්‍රිඩ් උපපොළවල සැපයුම විසන්ධිකොට තත්ත්වය පාලනය කර ගැනීමට බොහෝ අවස්ථාවන්වල දී කටයුතු කරන බව ය.

"අපි අර කලින් කිව්ව විදිහට විදුලි ඉල්ලුම මෙගාවොට් 1000ක් තියෙනවා, නමුත් සැපයුම තියෙන්නේ මෙගාවොට් 800ක්. එතකොට මෙගාවොට් 200ක් අඩු යි.

"ඒ වගේ වෙලාවට කරන්නේ මෙගාවොට් 250ක් වගේ වැඩි විදුලි ඉල්ලුමක් තියෙන ග්‍රිඩ් උපපොළක් ජාතික පද්ධතියෙන් ඉවත් කිරීමක් කරලා, තාවකාලිකව ඉවත් කරලා නැවත තත්ත්වය යතා තත්ත්වයට ගේන්න කටයුතු කරනවා. මේක තමයි සාමාන්‍යයෙන් උදාහරණයක් විදිහට කරන ක්‍රමය."

"අපේ රටේ සාමාන්‍යයෙන් බැලුවොත් පද්ධතිය අසමතුලිත යි. මොකද රටේ තියෙන ආර්ථිකය එක්ක තමයි මේක රඳා පවතින්නේ. මේ වගේ තත්ත්වයන් පාලනය කරන්න විශේෂ තාක්ෂණ ක්‍රම තියෙනවා. ඒවාට ආයෝජනය කරන්න අවශ්‍ය යි," ඔහු කියා සිටියේ ය.

( BBC සිංහල සේවය)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්