රැකියා, ඉගෙනීම සහ පදිංචිය සඳහා විදේශගතවීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින්ගේ මුල් පෙළේ තෝරා ගැනීමක්

වන්නේ ඕස්ට්‍රේලියාව යි.

විශේෂයෙන් ආර්ථික අර්බුදයෙන් පසුව නීත්‍යනුකූලව මෙන් ම නීතිවිරෝධී ලෙස ද ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කරන ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් ඉහළ යමින් තිබේ.

කෙසේ වෙතත්, එවැනි සිහින දකින ශ්‍රී ලාංකිකයින්ගේ බලාපොරොත්තු බිඳ වැටෙන ආකාරයේ ප්‍රවෘත්තියක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වෙයි.

ආගමනිකයින්ගේ සංඛ්‍යාව අඩකින් අඩු කිරීමට තීරණයක්

ඉදිරි වසර දෙක ඇතුළත ආගමනිකයින් සංඛ්‍යාව අඩකින් අඩු කරන බව ඕස්ට්‍රේලියානු රජය පවසයි. ඒ, එරට "කඩා වැටුණු" ආගමන පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණිනි.

ඒ අනුව, 2025 ජූනි මාසය වන විට වාර්ෂික ආගමනික සංඛ්‍යාව 250,000 දක්වා - දළ වශයෙන් කොරෝනා වසංගතයට පෙර පැවති මට්ටමට - කප්පාදු කිරීමට අදහස් කෙරේ.

මෙහිදී, විදේශීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ අඩු පුහුණුවක් සහිත රැකියා අපේක්ෂකයින් සඳහා වන වීසා නීති දැඩි කිරීම ද නව සැලැස්ම අනුව සිදුවනු ඇත.

ඕස්ට්‍රේලියාවේ ආගමනික සංක්‍රමණිකයින් සංඛ්‍යාව වාර්තාගත මට්ටමකට ඉහළ ගොස් ඇති අතර, එය නිවාස සහ යටිතල පහසුකම් සම්බන්ධ ප්‍රශ්න දැඩි වීමට හේතු වී තිබේ.

imigration
2023 ජූනි මාසය වන විට 510,000ක් වූ වාර්තාගත සංක්‍රමණිකයින් සංඛ්‍යාවක් ඕස්ට්‍රේලියාවට පැමිණ තිබේ. කෙසේ වෙතත්, එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඕනීල් සඳුදා පැවසුවේ, ඇගේ රජය, "යළිත් මෙම සංඛ්‍යා අඩුකර යම් පාලනයක් ඇති කරමින්" වාර්ෂික සංක්‍රමණිකයින් සංඛ්‍යාව 50%කින් පමණ අඩු කිරීමට පියවර ගන්නා බවය.


සඳුදා පැවති මාධ්‍ය හමුවක දී වසර 10ක නව සංක්‍රමණ උපාය මාර්ග සැලැස්ම එළිදක්වමින් ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඕනීල්, පසුගිය රජය විසින් එරට සංක්‍රමණ ක්‍රමවේදය "කඩා බිඳ දමා" ඇති බව පැවසුවා ය.

එහෙත්, ඕස්ට්‍රේලියාව තුළ පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟයක් පවතින අතර ඔවුන් ආකර්ෂණය කර ගැනීමට අසීරු තත්ත්වයක් පවතියි.

නීති සහ සුදුසුකම් දැඩි කෙරේ

සංක්‍රමණිකයින් සංඛ්‍යාව අඩකින් අඩු කිරීම සඳහා මෙම නව සැලැස්ම යටතේ ඕස්ට්‍රේලියානු රජය පියවර කිහිපයක් අනුගමනය කිරීමට සැරසෙයි.

නව ක්‍රියාමාර්ග අතර ජාත්‍යන්තර සිසුන් සඳහා වන අවම ඉංග්‍රීසි භාෂා සුදුසුකම දැඩි කිරීම සහ දෙවන වීසා බලපත්‍රයක් සඳහා අයැදුම් කරන්නන් පිළිබඳ පරීක්‍ෂණයක් දැඩි කිරීම ආදිය වේ.

ඒ අනුව, වැඩිදුර අධ්‍යාපනය ලැබීමට අපේක්ෂා කරන්නන් ඔවුන්ගේ අධ්‍යයන අභිලාෂයන් හෝ ඔවුන්ගේ වෘත්තීන් ඉදිරියට ගෙන යන බව ඔවුන් ඔප්පු කළ යුතු ය.

ඕස්ට්‍රේලියාව තුළ විදෙස් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 650,000ක් පමණ සිටින අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙකු දෙවන වීසා බලපත්‍රය යටතේ රැඳී සිටින බව නිල දත්තවලින් අනාවරණය වී තිබේ.

ඉහළ නිපුණතා සහිත තාක්ෂණික සේවකයින් හෝ රැකවරණ සේවකයින් වැනි "විශේෂඥ" හෝ "අත්‍යවශ්‍ය" නිපුනතා සහිත සංක්‍රමණිකයන්ට ස්ථිර පදිංචිය සඳහා වඩා හොඳ අපේක්ෂාවන් ලබා දීම සඳහා ද වීසා ලබා දීමේ ක්‍රමවේදයන් සංශෝධනය කර තිබේ.


සංක්‍රමණිකයින් සංඛ්‍යාව ඉහළ යාමේ ප්‍රතිශතය වැඩිම රටවල් 10 අතර ශ්‍රී ලංකාව

zdfsdfsf

ඕස්ට්‍රේලියාවේ සංඛ්‍යා ලේඛන කාර්යංශය නිකුත්කර ඇති නවතම දත්ත වාර්තා අනුව, පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව ඉහළ යාමේ ප්‍රතිශතය වැඩි ම රටවල් 10 අතර ශ්‍රී ලංකාව ද වේ.

සෙසු රටවල් නවය වන්නේ, ඉන්දියාව, චීනය, නේපාලය, පිලිපීනය, වියට්නාමය, පාකිස්ථානය, ඉරාකය, තායිලන්තය සහ මැලේසියාව යි.

2012 වසර වන විට ශ්‍රී ලංකාවේ උපන් සංක්‍රමණිකයින් 104,950 දෙනෙකු ඕස්ට්‍රේලියාවේ රැඳී සිට තිබේ. එම අගය 2017 වන විට 128,360ක් විය.

නවතම දත්ත අනුව, එනම් 2022 වසර වන විට ශ්‍රී ලංකාවේ උපත ලැබූවන් 145,430 දෙනෙකු ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී තිබේ.

ඉංග්‍රීසි භාවිත කළ නොහැකි ශ්‍රී ලාංකිකයින් සැලකිය යුතු පිරිසක්

2018 වසරේ දී ඕස්ට්‍රේලියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය නිකුත් කළ සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය කර ඇති පරිදි, ශ්‍රී ලංකාවේ ඉපිද ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූවන් 84,190 දෙනෙකුගෙන් 7.4%ක් නියෝජනය කරන පිරිසක් ඉංග්‍රීසි භාවිතයට දුර්වල හෝ කිසිසේත් ඉංග්‍රීසි භාවිත කළ නොහැකි මට්ටමේ පසු වෙයි.

ශ්‍රී ලාංකිකයින්ගේ රැකියා නියුක්තිය

අදාළ සංඛ්‍යා ලේඛන වාර්තාව අනුව, ශ්‍රී ලංකාවේ උපත ලබා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ වයස අවුරුදු 15ට වැඩි පුද්ගලයින්ගෙන් 71.9%ක් රැකියාවල නිරත වෙයි. රැකියා නොකරන ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රතිශතය 8.4%කි.

මේ අතර, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් 51.5%ක ප්‍රතිශතයක් පුහුණු කළමනාකරණ, වෘත්තියමය හෝ වාණිජමය රැකියාවල නිරතව සිටියි.


නීතිවිරෝධී උත්සහයන්හි වර්ධනයක්

zdfsfe

ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන පරිදි, 2022 වසරේ බෝට්ටු මඟින් නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට යාමට උත්සහ දැරූ සංඛ්‍යාවේ සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාධ්‍ය ඒකකය බීබීසී සිංහල සේවයට පැවසුවේ, 2022 ජූලි මාසය වන විට බෝට්ටු මඟින් ඕස්ට්‍රේලියාවට යාමට තැත්කළ පුද්ගලයන් 864 දෙනෙකු හා ඔවුන් යාත්‍රා කළ බෝට්ටු 15ක් අත්අඩංගුවටගත් බව ය.

ඊට අමතරව, බෝට්ටු හතරක් මඟින් ඕස්ට්‍රේලියා දේශසීමාවට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයන් 137දෙනෙකු ගුවනින් නැවත ශ්‍රී ලංකාවට එවා තිබිණි.

ශ්‍රී ලාංකිකයින් වැඩි ම සංඛ්‍යාවක් වෙසෙන රටවල්

ශ්‍රී ලාංකිකයින් වැඩි ම සංඛ්‍යාවක් වෙසෙන රටවල් අතර ඕස්ට්‍රේලියාවට හිමි වන්නේ දළ වශයෙන් පස් වන ස්ථානය යි.

ශ්‍රී ලාංකිකයින් වැඩි ම පිරිසක් වෙසෙන රටවල් පහ ලෙස වාර්තා වන්නේ, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව යි.

දළ වශයෙන් ශ්‍රී ලාංකිකයින් මිලියන තුනක් පමණ විදේශ රටවල වෙසෙන බව සැලකේ.

(BBC සිංහල සේවය)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්