මේ වසරේ ඉකුත් මාස එකොළහ ඇතුළත මෙරට බැංකු විසින් පරාටේ නීතිය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් 1183 ක් පවරාගෙන

වෙන්දේසි කර ඇතැයි ජාතික ජන බලවේගයේ නායක කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක (AKD) පාර්ලිමේන්තුවේදී ඊයේ (13 දා) පැවසීය.

සුළු හා මධ්‍ය පරිමාණික ව්‍යවසාය ගොඩනැඟී ඇත්තේ බැංකු ණය මත බව ද ආණ්ඩුවල වැරදි තීන්දු තීරණ නිසා එම ව්‍යවසායකයන්ට ව්‍යාපාර අහිමි වී ඇති බව ද හෙතෙම කියා සිටියේය.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා තවදුරටත් මෙසේ ද කීය.

 
'' අපට හිටියේ නිවට නියාලු නායකයෝ. ඒ නිසා අපේ රටේ පිබිදීමක් ඇති කරන්න බැරි වුණා. තායිලන්තයේ, ඉන්දියාවේ, කොරියාවේ නායකයන්ට පුළුවන් වුණා ජනතාව පුබුදු කරන්න. රට හදන්න නම් ජාතිය අලුතෙන් නඟාසිටුවිය යුතුයි. එයට නායකත්වය දිය හැකි කණ්ඩායමක් බලයට පත් කළ යුතුයි.
ගිණුම්කරණ විසඳුමක් තිබුණත් ජනතාවගේ ආර්ථික ප්‍රශ්නවලට විසඳුමක් අවශ්‍යයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පරාටේ නීතිය හරහා බැංකු විසින් වෙන්දේසි කර තිබෙනවා. ජනවාරි 01 වැනිදා සිට නොවැම්බර් 31 දක්වා මේ වනවිට සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායයන් 1183 ක් වෙන්දේසි කරලා. මෙම ව්‍යවසායකයන් කඩාවැටුණේ පසුගිය ආණ්ඩු ඇති කළ දුර්වල පාලනය නිසා. ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව නැති වුණා. බැංකු පොලී අනුපාත වැඩි කළා.''

''දරුවා වැල් පාලමෙන් එගොඩ කළාට කරේ තිබ්බ පංචායුධෙත් නැහැ, ඇඳන් හිටිය ඇඳුමත් නැහැ''


දරුවා වැල් පාලමෙන් එගොඩ කළා යැයි ජනාධිපිත රනිල් වික්‍රමසිංහ පැවසුවද දරුවා මේ වනවිට එම “දරුවාගේ කරේ තිබ්බ පංචායුධෙත් නැහැ, ඇඳන් හිටිය ඇඳුමත් නැහැ” යැයිද රට ගොඩ ගැනීමට නම් දේශපාලනයකින් තොරව වැරදි කළ සියලු පුද්ගලයින් ඉවත් කළ යුතු යැයිද අනුර දිසානායක අවධාරණය කරයි.

 රට හුදෙක් දේශපාලන පරිවර්තනයකින් පමණක් ගොඩගැනීමට නොහැකි බවත් රට ගොඩ නැගීමට නම් ජාතිය අලුතෙන් අවදි කළ යුතු ඇති බවත් ඉන්දියාව, දකුණු කොරියාව ආදී රටවල් උදාහරණයට ගනිමින් ඔහු පැවසීය.
මෘදුකාංග වෙළඳපොළට බදු පැනවීම හරහා මෙරට ස්ථාපිත සමාගම් වෙනත් රටවලට යාමේ අනතුරක් මතු විය හැකි බවත් රජය බදු පනවා ඇති ආකාරයට ලංකාවේ සමාගමක් ලංකාව තුළ ඇති මෘදුකාංග සමාගමකින් මෘදුකාංගයක් මිලදී ගතහොත් වැට් බද්දට යටත් වන බවත් නමුත් එය විදෙස් සමාගමකින් මිලදී ගතහොත් වැට් බද්දෙන් නිදහස් වන බවත් ඔහු පෙන්වා දෙයි.

මෙරට ඇති මෘදුකාංග සමාගම් කිහිපයද රටින් ඉවත් කර ගැනීමට ආණ්ඩුව නීති සාදා ඇති බවත් එලෙස නීති සාදා දරුවා යාන්තමින් වැල් පාලමෙන් එගොඩ කළ බවට පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරන බවත් ජාතික ජන බලවේගයේ නායකයා සඳහන් කළේය.

වැල්පාලමෙන් ගොඩ කළ බව කියන දරුවා එලෙස ගොඩකරද්දී ඔහු ඇඳ සිටි කලිසම හෝ සපත්තු හෝ පංචායුධයද නැතිවී ඇති බවත් රටට මේ අවස්ථාවේ සිදුව ඇත්තේද එවැනි ආකාරයේ දෙයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්