රටක් දියුණුවීමට නීතියේ ආධිපත්‍යය අත්‍යවශ්‍ය බවත් පාලකයාට එක නීතියකුත් සාමාන්‍ය ජනතාවට තවත් නීතියකුත් ක්‍රියාත්මක වන්නේ නම් රටක්

දියුණු වෙන්නේ නැති බවත් අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.

ඔහු එබව කියා සිටියේ, අද (17) පෙරවරුවේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවති උත්සවයකදී ය.

මධ්‍යම පළාතේ ජනතාවට පවතින ලේඛන සම්බන්ධ නීතිමය ගැටළු නිරාකරණය සහ අවශ්‍ය නීති සහන ලබාදීමේ වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික් ප්‍රධාන ජංගම සේවා වැඩසටහනෙහි සමාරම්භක උත්සවය අමාත්‍ය විජයදාස රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබිණ.

මෙහිදී අදහස් පළ කරමින් අධිකරණ අමාත්‍යවරයා මෙසේ සඳහන් කලේය.

''පසුගිය වසර එක හමාරක කාලය තුළ අපි මේ රට යථා තත්වයට පත් කළා''

'' පසුගිය වසර කිහිපයක කාලය තුළ රටක් ලෙස කඩා වැටුණු යුගයක ගත කිරීමට අපිට සිදු වුණා. කොවිඩ් වසංගතය, ආර්ථික හා දේශපාලන අර්බුදය නිසා ජනතාව පිඩාවට පත් වුණා. මේ රට අරාජික තත්වයට පත් වුණා. අද අදහස් ප්‍රකාශ කරන කිසිදු දේශපාලඥයෙක් මේ රට භාර ගන්න ඉදිරිපත් වුණේ නැහැ. අපේ මහා භාණ්ඩාගාරයේ ඩොලර් නැතිව ගියා. රට පුරා තෙල් පොලීම්, ගැස් පෝලීම් විතරයි තිබුනේ. ඒ සියලු අභියෝග හමුවේ අපි මේ රට භාර ගත්තා. ඒ දේශපාලන බලයට ඇති ආශාවට නොවෙයි. රට වැටුණු තත්වයෙන් බේරා ගන්නයි. 

පසුගිය වසර එක හමාරක කාලය තුළ අපි මේ රට යථා තත්වයට පත් කළා. අපි ඒ අපේක්ෂා කළ ඉලක්කයට රට ගෙන ආවා. රට කඩා වැටුණු වසර එක හමාරක කාලය තුළ උද්ධමනය සීයයට 97 ක් වුණා. වත්මන් රජය උද්ධමනය මේ වන විට සීයයට තුනක මට්ටමට ගෙනවිත් තිබෙනවා. යළිත් මීට වසර එක හමාරකට පෙර තිබු තත්වයට වැටෙන්න ඉඩ දෙන්න බැහැ. ඒක අපි සියලු දෙනාට ඇති වගකීමක් හා යුතුකමක් බව සදහන් කළ යුතුයි.

අපි නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම ගැන කථා කරනවා. සැමට යුක්තිය සමානයි කියලා ප්‍රකාශ වුණත්, එහෙම වෙන්නේ නැහැ. රටක් දියුණු වීමට මුලික අවශ්‍යතාවය නීතියේ ආධිප්‍යයයි. පාලකයාට එක නීතියක් සාමාන්‍ය ජනතාවට එක නීතියක් නම් රටක් දියුණු වෙන්නේ නැහැ. ලෝකයේ දියුණු රටවල් එ තත්වයට පැමිණියේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම තුළින් පමණයි. 

 

අපි නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට ස්වාධින කොමිෂන් සභා ස්ථාපිත කළා. මේ රටේ පොලීසිය රාජ්‍ය සේවය ස්වාධින කළා. මුළු ලෝකයේම අදහස වන්නේ අපේ රටේ දියුණුවට පවතින ප්‍රධාන බාධාව දුෂණය බවයි. රාජ්‍ය මුදල් අවභාවිතයේ වැඩිම දුෂණය වන්නේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළයි. එය වැළැක්වීමට ප්‍රසම්පාදන කොමිෂම ස්ථාපිත කළා. මේ රටේ දුෂණ වෙනවා. එය නතර කළ යුතු බවට  පක්ෂ විපක්ෂ සියලු දෙනා කථා කළා. නමුත් නීතියක් ගේන්න කිසිම කෙනෙක් කටයුතු කළේ නැහැ. අපි එක්සත් ජාතීන්ගේ දුෂණ විරෝධි ප්‍රඥප්තියට අනුව දුෂණ විරෝධි පනත සකස් කළා. දුෂණයට විරුද්ධව කථා කළත් පනත ගෙනාවාම දුෂණ විරෝධිව කථා කළ බොහෝ දේශපාලඥයින් විරුද්ධ වුණා. ආණ්ඩුවත් විරුද්ධ වුණා. විපක්ෂයත් විරුද්ධ වුණා. නමුත් අපි ඒ පනත් කෙටුම්පත සම්මත කළා. 

 

මැතිවරණවලදී සිදුවන දුෂණ වැළැක්වීමට.....

මැතිවරණවලදී සිදුවන දුෂණ වැළැක්වීමට මැතිවරණ වියදම් නියාමනයට නීතියක් ඉදිරිපත් කළා. ඒකටත් අද කථා කරන දේශපාලඥයින් බොහොමයක් විරුද්ධ වුණා. අපි ඒකත් සම්මත කළා. මැතිවරණ ජයග්‍රහණ කරන්න නම් වැඩිම හැකියාව තිබුණේ දුෂිතයින්ටයි. මැර බලය පාතාල බලය තිබුණු අය මැතිවරණ දිනුවා. අපි ඒ සංස්කෘතිය නැති කරන්න මැතිවරණ වියදම් නියාමන පනත සම්මත කළා. මේ රටේ දුෂණය වළක්වන්න අපි නීති හදුන්වා දුන් නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ජාත්‍යන්තර ප්‍රජාව අපේ රට පිළිබදව විශ්වාස කළා. රට තුළ සිදු වුනු ප්‍රතිසංස්කරණ නිසාම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අපේ රටට සහාය ලබා දුන්නා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය හිමිවීම නිසාම රට යථා තත්වයට පත් වුණා. එසේ නොවුනා නම් රට විශාල ආගාධයකට වැටෙන්න ඉඩ තිබු බවද අමාත්‍යතුමා සදහන් කළේය.

අපි මීට වසර එක හමාරකට පෙර උතුරු නැගෙනහිර පළාත් මුලික කර ගනිමින් ජංගම සේවා වැඩ සටහන් ආරම්භ කළා. යුද්ධය හේතුවෙන් ඉන්දියාවට ගොස් නැවත මෙරටට පැමිණි විශාල සංඛ්‍යාවක් ජීවත් වුණා. දොලොස් දහස් අටසීයක් උතුරු පළාත තුළ ජීවත් වුණා. තුන් දහසකට වඩා වැඩි සංඛ්‍යාවක් නැගෙනහිර පළාත තුළ ජීවත් වුණා. ඒ ජනතාව අතරින් ඇතැම් අයට ශ්‍රී ලාංකික යැයි තහවුරු කරන්න කිසිම ලේඛනයක් තිබුණේ නැහැ. ඒ සියලු ජනතාවගේ ගැටළු  සදහා විසදුම් ලබා දුන්නා.

 

අපි නීතියේ ආධිපත්‍ය පිළිබදව කථා කරනවා. නමුත් ජනතාවට නීතිය ඉදිරියට යාමේදී ගැටළු තිබෙනවා. සාමාන්‍ය ජනතාවට අධිකරණ ඉදිරියට යන්න විශාල මුදලක් වැය වෙනවා. ඒ නිසාම පොදු ජනතාවට නීති‌ය ඉදිරියට පැමිණ නීතියේ පිළි සරණ ලබා ගන්න වැඩ සටහන් රාශියක් ක්‍රියාත්මක වෙනවා. ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ කාර්යාල සියලු අධිකරණ සංකීර්ණ තුළ පිහිටුවා තිබෙනවා. එම ආයතනවල සහාය සාමාන්‍ය ජනතාවට ලබා ගන්න පුළුවන්. අද සමථ මණ්ඩල ක්‍රමය ශක්තිමත් කර තිබෙනවා.පසුගිය වසර තුළ ලක්ෂයකට වඩා පැමිණිලි සංඛ්‍යාවක් සමථ මණ්ඩල සදහා යොමු වුණා.

 

''පැමිණිලිවලින් සීයයට 70 ක් සදහා විසදුම් ලබා දී තිබෙනවා''

ඒ පැමිණිලිවලින් සීයයට 70 ක් සදහා විසදුම් ලබා දී තිබෙනවා. වසරකට නඩු හැත්තෑ දහසක් අධිකරණයට යාම නතර වුණා. සමථ මණ්ඩල සදහා පැමිණිලි යොමු කිරීමේ මුල්‍ය සීමාව රුපියල් ලක්ෂ 5 සිට 10 දක්වා වැඩි කළා. යුද්ධයෙන් පසුව උතුරු නැගෙනහිර පළාත්වල පැවති ඉඩම් සම්බන්ධ ගැටළු විසදීමට එම පළාත් සදහා පමණක් විශේෂ ඉඩම් සම්බන්ධ සමථ මණ්ඩල 2015 වසරේ දී පිහිටුවනු ලැබුවා. එම සමථ මණ්ඩල ක්‍රමය ඉතාම සාර්ථකයි. ඒ නිසාම දිවයින පුරා ඉඩම් සම්බන්ධ සමථ මණ්ඩල දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවීමට ආරම්භ කළා. ඉඩම් සම්බන්ධ සමථ මණ්ඩල සදහා වු මූල්‍ය සීමාව රුපියල් ලක්ෂ 10 සිට රුපියල් ලක්ෂ 20 දක්වා වැඩි කළා.රුපියල් ලක්ෂ 20 ට වඩා අඩු මූල්‍ය වටිනාකම් සහිත නඩු සදහා සුළු හිමිකම් අධිකරණ පිහිටුවීම සිදු කළා. පුර්ව නඩු විභාග ක්‍රමය සිවිල් නඩු විධා විධාන සංග්‍රහයට හදුන්වා දුන්නා. පසුගිය මාස 15 තුළ නීතිය යාවත් කාලීන කිරීම සදහා අණ පනත් 35 ක් සම්මත කළා. යල් පැන ගිය නීති යාවත් කාලීන කිරීම සදහා ලබන වසර තුළ නීති 60 කට වඩා සම්මත කිරීමට අපෙක්ෂා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

අධිකරණ අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් රෝහණ හපුගස්වත්ත සහ මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානී තිලකරත්න මෙහිදී අදහස් දැක්වූ අතර, මහා සංඝ රත්නය, අතුරුදහන් වු තැනැත්තන් පිළිබදව වු කාර්යාලයේ සභාපති නීතිඥ මහේෂ් කටුලන්ද, ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වු කාර්යාලයේ සභාපති චරිත් මාරඹේ යන රාජ්‍ය නිලධාරීන්, ජංගම සේවා වැඩ සටහනෙහි සමාරම්භක උත්සව අවස්ථාවට සහභාගි වුහ.

 

පසුගිය 04 වැනිදා සිට 14 දක්වා කාලය තුළ මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 11 ආවරණය වන පරිදි සිදු කළ අතර, උප්පැන්න, විවාහ සහ මරණ ලියාපදිංචි කිරීම සම්බන්ධ ගැටලු සහ එම ලේඛන ලබා ගැනීම සම්බන්ධ ගැටළු විසදීම, ජාතික හැදුනුම්පත් ලබා ගැනීම, සංශෝධනයන් සිදු කිරීම, සහ නැති වු හැදුනුම්පත් සදහා දෙවන පිටපතක් නිකුත් කිරීමට අදාළ සේවාවන් සැපයීම, ඉඩම් සම්බන්ධ විශේෂ සමථ මණ්ඩල පිළිබදව දැනුවත් කිරීම, හානි පූර්ණයන්ට අදාළ වන්දි ලබා ගැනීම සදහා ඉල්ලුම් කර ඇති පුද්ගලයින්ගේ ගොනුවල පවතින අඩුපාඩු සම්පුර්ණ කිරීම, අතුරුදහන් වු තැනැත්තන් පිළිබද විමර්ශන පැවැත්වීම සහ එම විමර්ශනවලට අදාළ අත්‍යවශ්‍ය ලේඛණ සම්පුර්ණ කිරීම, සමථකරණය පිලිබදව දැනුවත් කිරීමේ වැඩ සටහන් පැවැත්වීම, නීති උපදෙස් ලබාදීම හා නීති සායන පැවැත්වීම මෙම ජංගම සේවාව තුළි දී සිදු විය.

 

මෙම ජංගම සේවය සදහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව,  රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව, හානි පුර්ණය සදහා වන කාර්යාලය, අතුරුදහන් වු තැනැත්තන් පිළිබද කාර්යාලය, ජාතික සමගිය හා ප්‍රතිසංධානය සදහා වන කාර්යාලය, සමථ මණඩල කොමිෂන් සභාව හා නීති ආධාර කොමිෂන් සභාව ඇතුළු රාජ්‍ය අයතන නිලධාරීන් මෙම විශේෂ ජංගම සේවාව සදහා සහභාගි විණි.

ජාතීන් අතර ආගමික සුහදත්වය සංහිදියාව හා ග්‍රාමීය සංවර්ධනය වැඩි දියුණු කිරීමේ අරමුණින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ගේ යෝජනාවක් අනුව ක්‍රියාත්මක දිවයිනේ සියලු ග්‍රාම නිලධාරී වසම් ආවරණය කරමින් ජාතික සහජීවන කමිටු ස්ථාපිත කිරීමට නියමිත අතර, එම වැඩ පිළිවෙල යටතේ සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි දිස්ත්‍රික් සහජීවන කමිටු පිහිටුවීමට පියවර ගෙන තිබේ. ඒ අනුව මෙරට ප්‍රථම දිස්ත්‍රික් සහජීවන කමිටුව පිහිටුවා එහි නිලධාරී මණ්ඩලය පත් කිරීම මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අද පෙරවරුවේ සිදු විණි. දෙමළ භාෂා පාඨමාලාව හැදෑරූ නිලධාරීන් සදහා සහතික පත්‍ර ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු විය.  

wijedasa 3tgh 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්