ඊයේ (26) දිනයෙන් ආරම්භ වු 2023- 2024 සිරිපා වන්දනා සමය තුළ සිදුකළ යුතු සහ නොකළ යුතු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් රජය විසින්

විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්නගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර ප්‍රධාන කරුණු 10කින් එය සමන්විත වේ.

ඒ අනුව ඊයේ දිනයේ සිට ලබන වසරේ මැයි මස 24 වන දින දක්වා ශ්‍රී පාද වන්දනා සමය ක්‍රියාත්මක වන බව එම ගැසට් නිවේදනයේ දැක්වේ.

එම ගැසට් නිවේදනයට අනුව, සිරිපා මළුව විශ්‍රාම ශාලා ප්‍රදේශයේ මෙන්ම ගමන් මාර්ගයේ වෙළඳාම මෙමගින් තහනම් කර ඇති අතර අවසර ලත් ස්ථාන වල හැර පූජා භාණ්ඩ, පූජා වට්ටි ආහාර ද්‍රව්‍ය හෝ වෙනත් දෑ අළෙවි නොකළ යුතු බවත් මත්පැන් දුම්වැටි හෝ වෙනත් කිසිදු මත්ද්‍රව්‍යක් ගමන් මාර්ගයේ රැගෙන යාම, තබා ගැනීම විකිණිම මිලදී ගැනීම හෝ භාවිතා කිරිම තහනම් කර තිබේ.


වන්දනාකරුවන්ට පනවා ඇති රෙගුලාසි


සිරිපා වන්දනාවේ යෙදෙන බැතිමතුන්, වෙළඳාම්කරුවන් සහ සේවා සැපයීමට සූදානම් වන පිරිස් විසින් අනුගමනය කළ යුතු රෙගුලාසි ඇතුළත් එම අති විශේෂ ගැසට් නිවේදනයක් පහත කරුණු අන්තර්ගත වේ.


1. නවාතැන් ගැනීම

එහි පළමු රෙගුලාසිය ලෙස සිරිපා අඩවියේ තාවකාලික නවාතැන් සකස් කිරීම හෝ පවත්වාගෙන යෑම සිදු නොකළ යුතු ය.

නවාතැන්පොළවල් ලෙස භාවිත කළ යුත්තේ ලිහිණිපොළ, පලාබද්දල විහාරස්ථානය, හැරමිටිපාන, ආඬියාමලතැන්න, වර්ණගල, සීතගගුල, මැදහින්න, ඉඳිකටුපාන යන විශ්‍රාමශාලා සහ අම්බලම් බව එම ගැසට් නිවේදනයේ සඳහන් ය.


2. ගොඩනැගිලි ඉදිකිරීම

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයාගේ හෝ බලයලත් නිලධාරියෙකුගේ අවසරයකින් තොරව සිරිපා වන්දනා සමය තුළ දී එම භුමි ප්‍රදේශයේ ස්ථිර, තාවකාලික ගොඩනැගිල්ලක් හෝ නවාතැන්පොළවල් ඉදිකිරිම තහනම් කර තිබේ.


3. යාචකයින්

සිරිපා මළුව හෝ අම්බලම් ආශ්‍රිතව සිඟමන් ඉල්ලීම හෝ සිඟමන් ලබාදීම හෝ බෙදාදීම් තහනම්කොට ඇත.


4. නෑම සහ සේදීම

වන්දනාකරුවන් දියනෑම හෝ රෙදි සේදීම සඳහා භාවිතා කළ යුත්තේ දැනටමත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය සහ පළාත් පාලන ආයතන විසින් නම්කර ඇති ආරක්‍ෂිත ස්ථානවල පමණක් ලෙස දැනුම් දී තිබේ.

පෞද්ගලික ආයතන විසින් වන්දනාකරුවන්ගේ පහසුව පිණිස දියනෑමට හෝ රෙදි සේදීම සඳහා පහසුකම් සැපයීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය සහ පළාත් පාලන ආයතනවලින් ලිඛිත අවසරයන් ලබාගත යුතු වේ.


5. වාහන සහ ගමන් මාර්ග

ප්‍රාදේශීය සභාව හෝ අදාළ පළාත් පාලන ආයතන විසින් වෙන්කර ඇති ස්ථානවල හැර අනෙකුත් ස්ථානවල වාහන නැවැත්වීම සපුරා තහනම් කර තිබේ.


වන්දනා සඳහා වෙන්කර තිබෙන ප්‍රධාන මාවත් වන්නේ රජමාවත (පලාබද්දල මාර්ගය), හැටන් නල්ලතන්නි මාර්ගය හා කුරුවිට එරන්ත මාර්ගය බව දැනුම් දී සිටියි.



6. පරිසරය හා සනීපාරක්ෂාව

වන්දනාකරුවන් විසින් ශ්‍රී පාදස්ථාන මළුව, වන්දනා මාර්ගය හෝ විශ්‍රාම ශාලාවන් හා ඒ අවට පරිසරයට පොලිතීන්, ප්ලාස්ටික් අවිධිමත් ලෙස බැහැර නොකිරීමට වගබලා ගන්නා ලෙස දැනුම් දී ඇත.

ශ්‍රී පාද අඩවිය තුළ ගින්නක් ඇතිවන ආකාරයේ ගිනි මැල හෝ ගිනි දැල්වීම සිදුනොකළ යුතු ය.

එමෙන්ම වන්දනා කාලය තුළ දී අපද්‍රව්‍ය බැහැර කිරීම සහ වන්දනා මාර්ගයේ වූ අත්වැට විෂබීජහරණයට ලක්‌ කිරීමේ වගකීම පළාත් පාලන ආයතන වෙත පවරා ඇත.



7. වෛද්‍ය පහසුකම්


පෞද්ගලික ආයතන විසින් පැවැත්වීමට අදහස් කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගේ සහ පළාත් පාලන ආයතනවල නිසි අනුමැතිය ලබාගත යුතුවේ.


8. වෙළෙඳාම සහ දන්සැල්

සිරිපා මළුව, විශ්‍රාම ශාලා පිහිටි ප්‍රදේශ මෙන්ම වන්දනා මාර්ගයේ සංචාරක වෙළඳාම තහනම් කර තිබේ.

දිස්ත්‍රික් ලේකම්වරයා හෝ වෙනත් බලයලත් නිලධාරියෙකු විසින් ලබාදී ඇති අවසරය ඇති ස්ථානවල හැර වෙනත් කිසිදු ස්ථානයක පූජා භාණ්ඩ, පූජා වට්ටි, ආහාර ද්‍රව්‍ය විකිණීම තහනම් වේ.

එමෙන්ම මත්පැන්, දුම්වැටි හෝ මත්ද්‍රව්‍ය විකිණීම, වෙළඳසල්වල තබාගැනීම හෝ වන්දනා මාර්ගයේ රැගෙන යාම තහනම් කර තිබේ.

සෑම වෙළඳසැලක සහ ගොඩනැගිල්ලක කසල බඳුනක් තැබීම අනිවාර්ය කර ඇත.

දන්සැල් ලබාදීමට නම් පවතින සෞඛ්‍ය තත්ත්වයන්ට අනුව දිස්ත්‍රික් ලේකම්වරයාගේ හෝ බලයලත් නිලධාරියෙකුගේ පූර්ව අවසරයක් මත පමණක් සිදුකළ යුතුවේ.


9. වසංගත තත්ත්වයන්

රට තුළ පවතින සෞඛ්‍ය තත්ත්වයන් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සිරිපා වන්දනා කටයුතුවල නියැලීම සිදුකළ යුතුවේ.


10- ශ්‍රී පාද මළුව තුළ නවාතැන් ගැනීම තහනම් 


ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන පිරිස් ශ්‍රී පාද මළුව තුළ නවාතැන් නොගෙන වන්දනාකොට නික්ම යා යුතු බවට අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වේ.
download 1

download


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්