ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක කරන එකතු කළ අගය මත බද්ද (වැට්) සංශෝධනයත් සමඟ ජනතාවට ජීවත්වීමට අසීරු වන බවට

සමාජගතව ඇති මතයේ එතරම් සත්‍යතාවයක් නොමැති බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශක තනූජා පෙරේරා ප්‍රකාශ කළාය.

වැට් සංශෝධනයත් සමඟ “කාලා හමාරයි” යන මතයක් සමාජගත වෙමින් තිබුණ ද “ඇත්ත එයම නොවේ” යැයි ඇය ප්‍රකාශ කළාය.

වැට් බදු (VAT) සංශෝධන පනත පිළිබඳ සහ එහි බලපෑම පිළිබඳව කොළඹ කොටුව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් තනූජා පෙරේරා එසේ කීවාය.

රජයේ ආදායම් ඉහළ නංවා ගැනීම සහ බදු නිදහස් කිරීම් හා බදු සහන හැකි තරම් ඉවත් කිරීම මඟින් රජය බලාපොරොත්තු වනුයේ ඉතා ඉක්මනින් නැවත වතාවක් රටේ ආර්ථිකය ස්ථායිකරණයක් කිරීම බව ද ඇය විස්තර කළාය.

''වැට් බදු සංශෝධනය මඟින් සිදුවන බලපෑම අවම කිරීමට රජය මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා''


වැට් බදු සංශෝධනය මඟින් සිදුවන බලපෑම අවම කිරීමට රජය මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද ඇය පැවසුවාය.

 

බිඳ වැටී ඇති රජයේ ආදායම් අභිභවා රජයේ වියදම් දැඩි ලෙස ඉහළ යෑම ඉතා අහිතකර තත්ත්වයක් බව පෙන්වා දුන් මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශක තනූජා පෙරේරා, හැකි තරම් රජයේ වියදම් සීමා කරමින් මූල්‍ය කළමනාකරණය කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණ ගණනාවක් ගෙන ඇතැයි ද සඳහන් කළාය. ඒ අනුව ලබන 1 වැනිදා සිට වැට් බදු සංශෝධනය සිදුකළත්, ඉන් ඉතා විශාල ලෙස භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යෑමක් සිදු නොවනු ඇතැයි ද ඇය කීවාය. 

 

''වසර 2024 සිට වැට් බදු සංශෝධනයත් සමඟ බදු අය කර ගැනීමේ ලියාපදිංචි සීමා පහළ යනවා. දැනට වසරකට රුපියල් මිලියන 300ක පිරිවැටුමක් තිබූ අය පමණයි වැට් බදු අය කර ගැනීමට ලියාපදිංචි වුණේ. එය සංශෝධනය කර වසරකට රුපියල් බිලියන 80ක පිරිවැටුමක් ලබන අය වැට් බදු සදහා ලියාපදිංචි විය යුතුයි. නමුත් ලබන වසරේ සිට රුපියල් බිලියන 60ක වාර්ෂික පිරිවැටුමක් දක්වා එය සංශෝධනය කළා. මෙයින් වැට් බදු පදනම පුළුල් වෙනවා.

බදු නිදහස් භාණ්ඩ ප්‍රමාණය තුනෙන් එකකටත් වඩා අඩු කරනවා. මේ හරහා රටේ බදු ආදායම ඉහළ යනවා.  නමුත් බදු නිදහස් අයිතම ගණනාවක් තිබෙනවා. තිරිඟු, තිරිඟුපිටි, ළදරු කිරිපිටි, සෞඛ්‍ය, අධ්‍යාපන සේවා ඇතුළු භාණ්ඩ හා සේවා රැසක් බදුවලින් නිදහස්.''

ආර්ථික විද්‍යාව පිළිබඳ විෂය දැනුම ඇති ඇතැම් පිරිස් පවා ජනවාරි 01 වනදා සිට වැට් බද්ද ක්‍රියාත්මක වීමෙන් අනතුරුව පවුලක මාසික වියදම තවත් රුපියල් 40,000කින් පමණ ඉහළ යන බවට මතයක් සමාජගත කරමින් සිටින නමුත් එම ප්‍රකාශ මුළුමනින්ම සාවද්‍ය බව ද ඇය මෙහිදී අවධාරණය කෙරිණ.

 

තවද, අධ්‍යාපන සේවා, විදුලිය, සෞඛ්‍ය, ඖෂධ, මගී ප්‍රවාහනය, සියලුම එළවළු සහ පළතුරු ඇතුළු අයිතම වර්ග 90කට ආසන්න ප්‍රමාණයක් වැට් බද්දෙන් නිදහස් බවත්, විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පනවා ඇති අයිතම වර්ග 65ක් සඳහා ද වැට් බද්ද අදාළ නොවන බවත් මෙහිදී සඳහන් විය.

 

දේශිය අදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඒ. එම්. නෆීර්, ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. ඒ. ජී. කුමාරතුංග හා අධ්‍යක්ෂ කේ. කේ. අයි. එරන්ද, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනක එදිරිසිංහ යන රජයේ නිලධාරීන් ද මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා සහභාගී වූහ.

PMC 3
''රුපියල් බිලියන 1400ක පමණ ආදායමක් අපේක්ෂා කරනවා'' - ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ

ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ කේ.කේ.අයි. එරන්ද මෙම මාධ්‍ය හමුවේදී පැවසුයේ, බදු සංශෝධනය කළත්, ඉතා අත්‍යවශ්‍ය සහන ලැබිය යුතු පිරිසට සහාය වෙමින් පිටරටින් ගෙන්වන භාණ්ඩ හා සේවා ඇතුළු ආර්ථික ක්‍රියාකාරකම් රාශියක් වැට් බද්දෙන් නිදහස් කර ඇතැයි කියා සිටියේය.

''වැට් බදු සංශෝධනයත් සමඟ යම් භාණ්ඩයක හෝ සේවාවක මිල ගණන් ඉහළ ගිය ද එම මිල අවසන් පාරිභෝගිකයා විසින් දැරිය යුතුයි. එනමුත් බදු මත බදු පැනවීමක් මෙයින් සිදු නොවේ.

'' එකතු කළ අගය මත බද්ද අපේ රටේ ආදායම එක්රැස් කරගැනීමේ ප්‍රධානතම මෙවලමක්. 2023 වර්ෂය සඳහා වැට් බද්ද මගින් රුපියල් බිලියන 600ක් ඉක්මවා යන ආදායමක් අප අපේක්ෂා කළා. නමුත් ලැබී තිබෙන්නේ ඉන් බිලියන 450ක පමණ ප්‍රමාණයක් පමණයි. 2024 වර්ෂය සඳහා වැට් බද්ද මගින් රුපියල් බිලියන 1400ක පමණ ආදායමක් අපේක්ෂා කරනවා. 

අපේක්ෂාව කෙසේවූවත් බාහිර, අභ්‍යන්තර සහ බදු නිදහස් කිරීම් වැනි බදු කාන්දුවීමේ සාධක නිසා මෙම අදායම අහිමිවී තිබෙන බව අප තහවුරු කරගෙන තිබෙනවා. මේ නිසා බදු ගෙවන්නන් ප්‍රමාණය වැඩි කිරීමට සහ බදු නිදහස් කිරීම් අවම කිරීමට රජයට සිදුවී තිබෙනවා. 
 
 
එසේ වූවත් ජනතාවට විශාල බලපෑමක් ඇතිවන භාණ්ඩ සහ සේවාවන්ගේ බදු නිදහස් කිරීම් ඉවත් කර නැහැ. අධ්‍යාපන සේවා, විදුලිය, සෞඛ්‍ය, ඖෂධ, මගී ප්‍රවාහනය, ආහාර අතුරින් සියලුම එළවළු සහ පළතුරු ඇතුළු අයිතම වර්ග 90කට ආසන්න ප්‍රමාණයක් වැට් බද්දෙන් තවදුරටත් නිදහස් ව පවතිනවා. ඒ වගේම හාල්මැස්සන්, ලොකු ලූණු, කරවල වැනි විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පනවා ඇති අයිතම වර්ග 65ක් සඳහා වැට් බද්ද අදාළ වන්නේ නැහැ.''
 
 
''සැමට පිළිගත හැකි බදු ප්‍රතිපත්තියක් ඇතිකරනවා '' -දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්


දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඒඑම් නෆීර් මෙහිදී කියා සිටියේ, අපේ රටට බදු ආදායම් වැඩි කර ගැනීමට සැමට පිළිගත හැකි බදු ප්‍රතිපත්තියක් ඇතිකරන බවයි.

 ඒ අනුව බදු අය කර ගැනීමේ විධිමත් ක්‍රමවේදයක් සහ වැඩපිළිවෙළක් සකස් කර ගත යුතු බව පෙන්වා දුන්නේය.

'' පාර්ලිමේන්තුවෙන් සම්මත කර දුන් මෙම බදු පනත ක්‍රියාත්මක කිරීමේ වගකීම දේශීය අදායම් දෙපාර්තමේන්තුව වෙත පැවරී තිබෙනවා. බදු පදනම පුළුල් කිරීමේ ක්‍රියාමාර්ගයක මේ වන විට අප යෙදී සිටිනවා. ලියපදිංචි බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව ගත් විට, 2022 වර්ෂයේදී සමාගම් 73,444ක් ලියාපදිංචි වී තිබූ අතර, මෙම වසරේ නොවැම්බර් මාසය අවසන් වන විට එය 81,909ක් දක්වා වැඩි වී තිබෙනවා.

තනි පුද්ගලයින් ලෙස 2022 වර්ෂයේ දී පුද්ගලයින් 204,467ක් බදු ලියාපදිංචි වී සිට අතර මේ වසරේ නොවැම්බර් මාසය අවසන් වන විට එම සංඛ්‍යාව 500,196 දක්වා වැඩි වී තිබෙනවා. ලියාපදිංචි හවුල් ව්‍යාපාර සංඛ්‍යාව 13,776 සිට 15,579 දක්වා වැඩි වී තිබෙනවා. වර්තමානයේ APIT ලෙස හඳුන්වන PAYE බද්ද සඳහා ලියාපදිංචි සංඛ්‍යාව 41,636 සිට 242,679 දක්වා වර්ධනය වී තිබෙනවා. වැට් බද්ද සඳහා ලියාපදිංචි සංඛ්‍යාව 10,604 සිට 13,546 දක්වා වැඩි වී තිබෙනවා. 

2019 වසරේ බිලියන 1025ක් වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම, 2020 වර්ෂයේදී බිලියන 500 දක්වා අඩු වූවත් මේ වර්ෂයේදී අපට බිලියන 1500 දක්වා ඉහළ නැංවීමට හැකි වුණා. එය සිදු වුණේ බදු පදනම පුළුල් කිරීම සහ බදු අනුපාතයන් වෙනස් කිරීම මගිනුයි.
 
 
මේ තත්ත්වය ඉදිරියේදී ලිහිල් විය හැකියි. 2024 ජනවාරි මාසයේ සිට වයස අවුරුදු 18ට වැඩි සියලුම දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය (TIN Number) ලබා ගත යුතුයි. මෙය වරදවා වටහාගන්න එපා. ලියාපදිංචි අංකය ලබාගැනීම සහ බදු ලිපිගොනු විවෘත කිරීම කාරණා දෙකක්. සෑමදෙනෙකුටම ජාතික හැඳුනුම්පත් අංකයක් තිබෙනවා වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය (TIN Number) ද පැවතිය යුතුයි. බදු ගෙවීම සඳහා තරම් ආදායමක් පවතින්නේ නම් පමණක් ඔවුන් ආදායම් බදු ගෙවිය යුතුයි. එවිට ඔවුන්ට අදායම් බදු ගෙවීම සඳහා ලිපි ගොනුවක් විවෘත කිරීම සිදු වෙනවා.
 
 
''ආර්ථික ක්‍රියාකාරකම් නිසි පරිදි මෙයෙවීමේ යාන්ත්‍රණයක් දීර්ඝකාලීනව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් පවතිනවා''

ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් එම්. ජේ. ගුණසිරි මෙම මාධ්‍ය හමුවේදී මෙසේ පැවසිය. 

''මේ වසර සැලකූ විට මේ දක්වා රජයේ ආදායම රුපියල් ට්‍රිලියන තුනකට ආසන්න සීමාවකට ළඟාවී තිබෙනවා. අපේ බලාපොරොත්තුව පැවතුණේ මේ වසරේ මුළු රාජ්‍ය ආදායම රුපියල් මිලියන 2850ක් පමණ වනු ඇතියි. නමුත් එම ඉලක්කය මේ වන විට අප පසුකර තිබෙනවා.
 
 
''ඒ වගේම 2023 වර්ෂයේදී රජය විසින් පැනවූ බදු මගින් යම් පීඩනයක් ඇති වූවත් ජනතාවගේ අත්‍යවශ්‍ය සියලු සේවාවන් අඩුපාඩුවකින් තොරව සැපයීමට කටයුතු කර තිබෙනවා. යම් පුද්ගලයෙක් හෝ ව්‍යාපාරයක් අසාමාන්‍ය ලෙස භාණ්ඩවල මිල ඉහළ දමමින් කටයුතු කරනවා නම් රජය සහ ජනතාව එක්ව ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමේ හැකියාව පවතිනවා.''
 
 
ලෝකයේ අනෙකුත් රටවල් ගත් විට එම රටවල දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව වැට් බදු ආදායම 6-8% අතර මට්ටමක පවතිනවා. නමුත් ශ්‍රී ලංකාවේ මේ වසරේ දත්ත සලකා බැලුවත් දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව වැට් බදු ආදායම පවතින්නේ 2.2% වැනි ප්‍රමාණයකයි.

2024 වර්ෂයේදී දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව වැට් බදු ආදායම 4%ක් පමණ වනු ඇතැයි අප අපේක්ෂා කරනවා. නමුත් එය ප්‍රශස්ත මට්ටම නොවෙයි. ඒ නිසා ආර්ථික ක්‍රියාකාරකම් නිසි පරිදි මෙයෙවීමේ යාන්ත්‍රණයක් දීර්ඝකාලීනව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් පවතිනවා. ඒ සඳහා 2024 අයවැය මගින් ඩිජිටල්කරණය සහ සියලුම ආයතන ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබෙනවා.''

''බදු සංශෝධනය හේතුවෙන් පවුලක මාසික වියදම තවත් රුපියල් 40,000කින් පමණ ඉහළ යන බවට පළවන මත සාවද්‍යයි''

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනක එදිරිසිංහ මෙසේ සඳහන් කළේය.
 
 
'' වැට් බදු සංශෝධනයෙන් අපේ රටේ පාරිභෝගික ජනතාවට අත්වන බලපෑම දළ වශයෙන් ගණන් බැලිය යුතුයි. ශ්‍රී ලංකා මහ බැංකුව, ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව වැට් බදු සංශෝධනයට පෙර උද්ධමනය ගණන් බැලුවා. එය සියයට 3.9ක්. නව බදු සංශෝධනයන්ගෙන් පසු උද්ධමනය සියයට 2කින්, 3කින් ඉහළ යා හැකියි. ඒ අනුව අපට දළ වශයෙන් මෙහි බලපෑම සියයට 2, 3ක මිල ඉහළ යෑමක් ලෙස දැක්විය හැකියි. ''
 
ශ්‍රී ලංකාව මහ බැංකුවේ මූලික අරමුණ දේශීය මිල ස්ථායීතාවය පවත්වා ගැනීමයි. ඒ අනුව නව මහබැංකු පනත සමඟ කාර්තුමය වශයෙන් රටේ උද්ධමනය 3-7%ක ප්‍රමාණයක පවත්වාගත යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය එක්ව ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අපගේ ඉලක්කය උද්ධමනය 5% ක පමණ මට්ටමක පවත්වා ගැනීමයි. බදු සංශෝධනයක් උද්ධමනයට බලපෑම් කරනවා. නොවැම්බර් මාසයේ උද්ධමනය 3.4% ලෙස වාර්තා වුණා.

පවුලක සාමාන්‍යයෙන් සාමාජිකයන් 4ක් ලෙස සලකනවා. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව පසුගිය නොවැම්බර් මාසයේ පවුලක සාමාන්‍ය මාසික වියදම 177,687.44 ලෙස සටහන් වෙනවා. ඒ අනුව ගත් විට සමස්තයක් ලෙස සාමාන්‍ය පවුලක වියදම රුපියල් 40,000 කින් වැඩි විය නොහැකි බව ඔබට හොඳින්ම වැටහෙනවා ඇතියි.

නමුත් මහබැංකුව ඇස්තමේන්තුගත කර තිබූ ආකාරයට බදු සංශෝධනයට පෙර තිබූ උද්ධමන පුරෝකතන සහ බදු සංශෝධනය පිළිබඳ අදහස් පළ වීමෙන් අනතුරුව ඉදිරිපත් වුණු පුරෝකතන අතර පවතින වෙනස දෙස බැලුවොත් කෙතරම් මිල වැඩිවීමක් නිසා කෙතරම් ප්‍රමාණයක උද්ධමනය වැඩිවීමක් සිදුවේද යන්න පිළිබඳ වටහාගත හැකියි.

මෙම බදු සංශෝධනයේ ඍජු සහ වක්‍ර බලපෑම් සියල්ලම සලකා බැලීමෙන් අනතුරුව අප 2-3% අතර ප්‍රමාණයක උද්ධමනය වැඩි වීමක් සිදුවෙතැයි පුරෝකතනය කර තිබෙනවා. නමුත් එකතු කළ අගය මත බද්ද යටතට ගැනෙන භාණ්ඩ හා සේවා මත පනවා ඇති වෙනත් බදු ඉවත් කර සුදුසු බදු ගැලපීම් සිදු කරමින් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව මුදල් අමාත්‍යාංශයත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් ප්‍රකාශ කර තිබෙනවා. ඒ නිසා දැනට අප පුරෝකතනය කර ඇති අනුපාතය ද තවදුරටත් අඩුවීමේ හැකියාවක් පවතිනවා. සමස්තයක් විදියට දෙසැම්බර් මාසයට සාපේක්ෂව ජනවාරි මාසය වන විට පවුලක මාසික වියදම රුපියල් 40,000කින් පමණ වැඩිවීමක් සිදු වෙන්න බැහැ. එවැනි ප්‍රකාශ පිළිබඳ අප කණගාටු වෙනවා.




worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්