වසර 5ක් තිස්සේ මෙරටින් තුරන් කර තිබූ සරම්ප රෝගය යළි හිස එසවිම නිසා එය මැඬලීම සඳහා අවශ්‍ය එන්නත්කරණය ලබන මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.


මෙම වසරේ මැයි මස සිට මේ දක්වා කාලය තුළ ‘සරම්ප’ රෝගීන් 700කට වැඩි සංඛ්‍යාවක් මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥා වෛද්‍ය සමිත ගිනිගේ පැවසීය.

ඔහු එබව කියා සිටියේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී ඊයේ (28) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ය. 

‘සරම්ප’ එන්නත නොගත් පුද්ගලයෙක් පසුගිය මැයි 23 වැනිදා පළමු සරම්ප රෝගියා ලෙස හඳුනාගැනීමෙන් පසුව රෝගීන් වාර්තා වීම ආරම්භ වූ බවත් කොළඹ, ගම්පහ සහ යාපනය යන දිස්ත්‍රික්කවලින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් මේ වන විට වාර්තා වී ඇති බවත් විශේෂඥා වෛද්‍ය සමිත ගිනිගේ කීය.

කළුතර, ගාල්ල, මාතර, මහනුවර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් මෙන්ම කල්මුණේ ප්‍රදේශයෙන් ද වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව කී විශේෂඥා වෛද්‍ය සමිත ගිනිගේ, අවිද්‍යාත්මක මත හේතුවෙන් ‘සරම්ප’ එන්නත නොගත් පුද්ගලයන් 7,500ත් 10,000ත් අතර සංඛ්‍යාවක් රට තුළ සිටින්නේ යැයි උපකල්පනය කරන බව ද සඳහන් කළේය.

එම පිරිසෙන් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කය තුළ මෙන්ම එයින් අති බහුතරයක් කොළඹ මහ නගර සභා සීමාවේ වාසය කරන බවත් සරම්ප ආසාදිතයෙක්ට දළ වශයෙන් පුද්ගලයන් 16කට රෝගය බෝකළ හැකි බවත් ඔහු පැවසීය.

මෙම තත්වය හේතුවෙන් රෝගීන් වැඩිවීමේ අවදානමක් ඇති බව කී වෛද්‍යවරයා පැවසුවේ, රෝගය පාලනය කිරීමේ පියවරක් ලෙස එන්නත් වැඩසටහනක් ලබන ජනවාරි මස ආරම්භ කරන බවත්ය.

‘සරම්ප’ රෝගය තුරන් කළ රටක් ලෙස 2019 වසරේ ලෝක සෞඛ්‍ය සංවිධනයෙන් ශ්‍රී ලංකාව පිළිගෙන තිබූ පසුබිම තුළ එම රෝගය නැවත හිසඑසවීම වඩාත් කැපී පෙනේ. ඉන්දියාව, පාකිස්ථානය ඇතුළු බොහෝ රටවල ද මෙලෙස සරම්ප රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇත.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image