''මේ වර්ෂය සාමූහික ප්‍රයත්නයකින් රට ගොඩගන්නා හැරවුම් වර්ෂය කරගනිමු'' යයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යෝජනා කර සිටියි.


ඔහු එබව කියා සිටියේ, කොළඹ පදනම් ආයතනයේ ඊයේ (02) පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය. 

 

මහා භාණ්ඩාගාරය මගින් මෙහෙයවන රජයේ බැංකු ගිණුම් දෙක ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ පවත්වාගෙන යමින් රුපියල් බිලියන 7,000ක අයිරාවක් දක්වා තිබියදී එම බැංකු දෙකම ලාබ ලබන බවත් මෙම 2024 වර්ෂය වෙනුවෙන් රජයේ මුළු වියදම රුපියල් බිලියන 11,514ක් වී ඇති බව ඔහු එම සම්මන්ත්‍රණයේදී හෙළිකළේය. 

 

එම සම්මන්ත්‍රණයේදී වැඩි දුරටත් කරුණු දක්වමින් ඔහු කියා සිටියේ, රාජ්‍ය බැංකු දෙක නොවන්නට පෞද්ගලික අංශයේ බැංකුවලින් රජයට රුපියල් බිලියන 7,000ක බැංකු අයිරා පහසුකම් ලබා ගත නොහැකි බවයි.

 

එසේ තිබියදී ලංකා බැංකුවේ අක්‍රීය ණය ලෙස රුපියල් බිලියන 325ක් සහ මහජන බැංකුවේ අක්‍රීය ණය ලෙස රුපියල් බිලියන 300ක් වශයෙන් රුපියල් 625ක් පවතින බව ඔහු හෙළි කළේය. මෙම අක්‍රීය ණයවලින් අතිවිශාල කොටස දේශපාලන චෞර වලල්ලේ පිරිස්වලට ලබා දී අය කර නොගැනීමෙන් උද්ගත වී ඇති බව ඔහු පෙන්වා දෙනු ලැබීය. 

 

මෙසේ තිබියදී 2022 වසර වෙනුවෙන් ලංකා බැංකුව රජයට රුපියල් කෝටි 1,300ක බදු ගෙවීමෙන් පසුව එම වසරේදී රුපියල් කෝටි 3,200ක ලබා උපයා ඇති බවත් එම වසරේදී මහජන බැංකුව රුපියල් කෝටි 800ක බදු රජයට ගෙවා රුපියල් කෝටි 1,400ක ලාබ උපයාගෙන තිබුණු බවද ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක කියා සිටියේය.



සම්මන්ත්‍රණය ඇමතු අනුර දිසානායක මන්ත්‍රීවරයා තවදුරටත් මෙසේද සඳහන් කළේය.

ලංකා බැංකුව සහ මහජන බැංකුව විකිණීමට සූදානම් වන ආණ්ඩුව සඟවා තිබූ ඇත්ත ?

'' මේ අවුරුද්ද අපේ රටේ ජනතාවට ඉතාමත්ම තීරණාත්මක අවුරුද්දක්. මෙතෙක් දියත් කළ ගමන වේගවත් කර, අපේ රටේ ජාතික සම්පත් විනාශ මුඛයට හෙළීමට ආණ්ඩුව කැසකවමින් සිටිනවා.

 

ජනවාරි මාසය ඇතුළත විදුලි බල මණ්ඩලය කොටස් කර, විකිණීමට අවශ්‍ය පනත, රක්ෂණ සංස්ථාව, ටෙලිකොම් ආයතනය වැනි ආයතන විකිණීමේ ක්‍රියාවලිය සිදුකිරීමට නියමිතයි. එයට එරෙහිව පැනනගින ජනතා උද්ඝෝෂණ මර්දනය කිරීමට ප්‍රතිත්‍රස්ත පනත, සමාජ ජාලා මර්දනය කිරීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ රට ආපසු හැරවිය නොහැකි පන්නයේ විශාල ක්‍රියාමාර්ග ප්‍රමාණයක් වේගයෙන් ගැනීමට ආණ්ඩුව කැසකවන අතර, දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපි අපේ රටේ නව ජාතික පිබිදීමක් ඇති කර, නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනඟමින් ජනතාව ඊට සම්බන්ධ කරගෙන ඔවුනට ප්‍රතිලාභ ලබාගෙන නව ආර්ථික ගමනකට ප්‍රවිෂ්ට වීමේ මතවාදය සමාජගත කරමින් සිටිනවා. 

 

අපරාධ මැඩපැවැත්වීමට නීතියේ විධානය, ආධිපත්‍යය, පිහිටුවන්නේ කෙසේදැයි අපි සැලසුම් සකස් කරමින් සිටිනවා. අපේ ජනතාවත්, රටත් ව්‍යසනයට හෙළන ලද මහාපරිමාණ වංචා, දූෂණ කෙළපැමිණි දේශපාලන සංස්කෘතිය වෙනස් කර, නව ගමනකට අවතීර්ණ වීමේ සාකච්ඡාව අප ගෙනයනවා. ලංකා ඉතිහාසයේ දේශපාලන ව්‍යුහයේ තීව්‍රම ගැටුම ඉදිරි මාස හත අට තුළ නිර්මාණය වෙනවා. 

මේ සටන අපි පරාජයට පත්වුණොත් අපේ රටත් ජනතාවත් නින්දාගතභාවයේ, අසරණභාවයේ පතුළටම ඇද වැටෙනවා. අපි මේ සටන ජයග්‍රහණය කළොත් නව බලාපොරොත්තු, අපේක්ෂාවන් සහිතව මේ රට නව දිශාවකට ගෙනයා හැකියි. ඒ නිසා මේ ගොඩනැගෙමින් තිබෙන දේශපාලනය සාමාන්‍ය දේශපාලනයක් වගේ නොවෙයි. 

ලංකා ඉතිහාසයේ තීරණාත්මක බෙදීමේදී ජාතික ජන බලවේගයේ අපි ජනතාවත් සමග කවර ආකාරයේ පොදු සම්මුතියකට ආ යුතුදැයි පළල් ලෙස සාකච්ඡා කරමින් සිටිනවා.

 

වැඩකරන ජනතාව, ව්‍යාපාරිකයින්, කර්මාන්තකරුවන්, ආගමික නායකයින්, විද්වතුන් ආදී වශයෙන් වූ අපි සියලු දෙනාම මේ රට මුදා ගැනීමේ පොදු සම්මුතියකට එළඹීමේ සාකච්ඡාවට ප්‍රවිෂ්ට වී සිටිනවා. ඒ අතරේ අනෙක් කඳවුර කුණු එකතු කරමින් සිටිනවා. ඔවුන් තැන තැන විසිරී සිටින කුණු එකතු කරන අතරේ අපි ජනතාව ඒකරාශී කරනවා. අපි මේ වසරට ප්‍රවේශ වී සිටින්නේ තීරණාත්මක ජයග්‍රහණයකින් සටන කෙළවර කරනවා කියන දැඩි අධිෂ්ඨානයෙන්. මේ නිසා අපි හැමදෙනාටම විවේක කාලයක් නොමැතිව වෙනස සඳහා කටයුතු කළ යුතු වෙනවා.

 

පවතින අර්බුදයේම හේතුවක් නිසා ඔවුන් විකිණීම සිදුකරනවා. පැමිණි ආර්ථික ගමන විසින් නිර්මාණය කළ අර්බුදයේම ප්‍රතිඵලයක් තමයි විකිණීම. අනෙක් පැත්තෙන් විකිණීමත් මේ ආර්ථික අර්බුදයට හේතුවක්. මේ විකිණීම ඕපපාතිකව සිදුවූවක් නොවෙයි, මෙතෙක් අනුගමනය කළ ආර්ථික ක්‍රියාවලියේම ප්‍රතිඵලයක්. 

මේ දක්වා වැට් බද්දෙන් නිදහස් කර තිබුණු ක්ෂේත්‍ර ගණනාවක් මේ අර්බුදය විසින්ම වැට් බද්දට ඇතුළත් කර තිබෙනවා. තෙල් මිල ඉහළ යාම සමස්ත ආර්ථිකයටම බලපෑමක් ඇති කරන නිසා, මේ දක්වා වැට් බද්දෙන් නිදහස් කර තිබුණා. තෙල් මිල ඉහළ යාම තෙල් පරිභෝජනය කරන කෙනාට පමණක් නොවෙයි, සමස්ත ආර්ථික දේහයටම බලපාන සංවේදී කරුණක්. පාසල් උපකරණ මිල ඉහළ යාම දරුවන්ගේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සංවේදී ලෙස බලපානවා. සෞඛ්‍ය උපකරණ, ඖෂධ නිෂ්පාදන අමුද්‍රව්‍ය, සෞඛ්‍ය සේවාව වැට් බද්දෙන් නිදහස් කර තිබුණේ ජන ජීවිතයට සමීපව බලපාන නිසයි. 

නමුත් අර්බුදය විසින් මේ සියලු ක්ෂේත්‍රවලට අලුතින් වැට් බදු පනවා තිබෙනවා. රජයේ වියදම්, ණය ගෙවීම සහ පොලී වාරික ගෙවීම සඳහා මේ වසරේ රුපියල් බිලියන එකොළොස්දහස් පන්සිය දහහතරක් වැය වෙනවා. නමුත් වැට් බද්ද ඇතුළු මේ සියලු පීඩාවන් ජනතාව මත පටවා ලබාගත හැකි මුළු ආදායම රුපියල් බිලියන හාරදහස් එකසිය හැටහතරයි. ණය වාරික ගෙවීම පසෙක තැබුවත් රුපියල් බිලියන හත්දහස් අටසිය විසිහයක් මේ වසරේ වියදම් වෙනුවෙන් අවශ්‍ය වෙනවා. බිලියන 3000කට වැඩි ප්‍රමාණයක් අතිරේක වශයෙන් ණය ගන්න සිදුවෙනවා.

 

මේ අර්බුදය තිබෙන්නේ දත්ත ඇතුලේ පමණක් නොවෙයි සමාජ ජීවිතය ඇතුලෙත් තිබෙනවා. ගෙවුම් ශේෂ හිඟය, අයවැය හිඟය වගේ මහප්‍රාණ ආර්ථික වචනවල සැඟවී තිබෙන අර්බුදය සමාජ ජීවිතයට බලපෑම් කරමින් තිබෙනවා. ළඟදී නිකුත් කළ නිල සංඛ්‍යා ලේඛන අනුව පාසල් දරුවන්ගෙන් 57%ක් පොත්පත් ඇතුළු අධ්‍යාපන උපකරණ මිලදී ගැනීම නතර කර හෝ අඩු කර තිබෙනවා. තවත් 19%කට ආසන්න පිරිසක් පුද්ගලික පංතිවලට යන එක නතර කරලා. ආර්ථික අර්බුදයෙන් සමාජයට කරන බලපෑම දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැට්ටීම දක්වා ගමන් කර තිබෙනවා. 



ඒ වගේම පුරවැසියන්ගේ ජීවිත අනාරක්ෂිත තත්වයට ඇදවැටී නිසි පරිදි ප්‍රතිකාර ගැනීමෙන් වැළකී සිටිනවා. විශාල ප්‍රමාණයෙන් රැකියා අහිමි කිරීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් කඩා වැටීම වැනි ක්ෂේත්‍රවලට අර්බුදය බලපා තිබෙනවා. පරාටේ නීතිය අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 1183කට විරුද්ධව දේපළ අත්පත් කරගෙන තිබෙනවා. මේ ව්‍යාපාර බොහෝ දුෂ්කරතා මැද සමහර විට පරම්පරා කිහිපයක කැපවීමෙන් ගොඩනඟා ගත් ඒවා. නිවැරදි ආර්ථික දැක්මක්, රාජ්‍ය මැදිහත්වීමක් යටතේ මේ ව්‍යාපාර ගොඩනැගී තිබුණේ නැහැ. ඔවුන්ගේ පෞද්ගලික කැපවීම් සහ ධෛර්යවන්තභාවය මත ගොඩනැගී තිබුණු ඒවා. 

 

මේ අර්බුදයෙන් ජන ජීවිත කඩා වැට්ටවීම මේ වගේ විවිධ ක්ෂේත්‍රවලට බලපා තිබෙනවා. ආණ්ඩුවෙන් කියන්නේ විකුණා දැමීම මාර ආර්ථික උපායමාර්ගික සැලැස්මක් කියලයි. ඇත්ත ඒක නොවෙයි. විකිණීමත් මේ ආර්ථික අර්බුදයේම ප්‍රතිඵලයක්. ඖෂධ ගෙන්වීමේදී, බදු අයකිරීමේදී, හොරකම් කරනවා වගේම විකිණීමේදීත් වංචා දූෂණවල තෝතැන්නක් වී තිබෙනවා. ආර්ථික අර්බුදය නිසා විකුණනවා වගේම අතයට ගනුදෙනු සඳහාත් ඔවුන් විකිණීම යොදා ගන්නවා. විකිණීම පිටුපස තිබෙන ඇත්ත යටි වුවමනාව මේක. 

 

අයවැය හිඟයෙන්, විදේශ ණය ගෙවාගත නොහැකි වීමෙන්, වෘත්තිකයන් ඇතුළු පිරිස් රට අත්හැර යාමෙන් පෙන්වන්නේ ආර්ථික අර්බුදයේ ගැඹුරයි. ආර්ථික අර්බුදයේ ගැඹුර පෙන්වන්නේ, දත්ත ඇතුලේ විතරක් නොවෙයි. රනිල් වික්‍රමසිංහට ආර්ථික අර්බුදය කියන්නේ දත්ත පමණක් නිසා ඔහුගේ විසඳුම ගිණුම් තුලනය කිරීමයි. නමුත් ජාතික ජන බලවේගයට මේ අර්බුදය යනු දත්තවලින් පෙන්වනවාට වඩා සමාජීය ජන ජීවිතයේ වේදනාවන් පිළිබඳ අත්දැකීම්වලින් කියැවෙන්නක්.

දත්ත ඇතුලේ වගේම මිනිසුන්ගේ ජීවිත ඇතුලෙත් අපි අර්බුදය දකිනවා. රනිල් වික්‍රමසිංහ මිනිස්  ජීවිතවල අර්බුදය දකිනවා නම්, ඖෂධවලට, පාසල් උපකරණවලට බදු ගහන්නේ නැහැ. වැට් බද්ද විසින් ජනතාවගේ ජීවිතවලට ඇති වී තිබෙන මාරාන්තික ස්වභාවය අපි කියාදිය යුතු නැහැ, ඔවුන් එය අත්විඳිමින් සිටිනවා. අපි අර්බුදය දකිනවා පමණක් නොවෙයි ඊට විසඳුම් සොයා ගන්නත් වෙහෙසෙන ව්‍යාපාරයක්. 


විකිණීමට හේතු දක්වන මහත්වරුන් අපිට කරුණු කිහිපයක් කියනවා. ජනතාවගෙන් එකතු කර ගන්නා බදු ආදායම් පාඩු ලබන රාජ්‍ය ආයතන නඩත්තු කිරීමට වියදම් නොකරන්නේ නම්, සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපන පහසුකම්, ලබාදීමට යෙදවිය හැකි බව කියනවා. ඔය වගේ කතාවක් කියන්නේ අද විතරක් නොවෙයි. යුද්ධය පැවති කාලයේත් ඔය වගේම කතා කීවා. යුද්ධයේදී මල්ටි බැරල් උණ්ඩවලට දවස් 24කදී දරන වියදම නතර කරගතහොත් රෝහල් දෙකක් ඉදිකළ හැකි බව මෛත්‍රීපාල සිරිසේන කීවා. නමුත් එහෙම වුණාද? පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන අද කියන්නෙත් ඒ දේමයි. යුද්ධය අවසන් කළ විට සුඛිත මුදිත වෙන බව කී ඔවුන් අද කියන්නේ රාජ්‍ය ආයතන විකුණා දැමීමෙන් සුඛිත මුදිත විය හැකි බවයි. 

නමුත් එය බොරුවක්. අපේ රටේ රාජ්‍ය වතු පුද්ගලික සමාගම් 21කට වික්කා. එයින් සමාගම් 18ක්ම පාඩු ලබනවා; බැංකුවලට පොලු තියලා. ඒ වගේම වැඩ කරන සේවකයන්ට රුපියල් 1000ක වැටුපක් දෙන්න බැරි නම් ඒ පෞද්ගලීකරණයෙන් ඇති වැඬේ මොකක්ද? ඒ වගේම අද අපේ රටේ තේ කර්මාන්තය රැඳී තිබෙන්නේ පහත රට කුඩා තේවතු හිමියන් අතේ.

 

විකිණීමෙන් සාර්ථක වෙනවා නම්, මෙහෙම වෙන්නේ කොහොමද? මූල්‍ය සමාගම් හතක්, කර්මාන්ත 41ක් වතු 21ක්, අනෙකුත් ආයතන 23ක් ආදී වශයෙන් මේ වන විට විකුණා තිබෙනවා. විකුණන්න තිබෙන ප්‍රමාණයට වඩා විකුණූ ආයතන සංඛ්‍යාව වැඩියි. විකුණන ලද සිලෝන් ඔක්සිජන්, සම්භාණ්ඩ සංස්ථාව, ලක්ස්ප්‍රේ ආයතනය, තෙල් සංස්ථාව සතුව තිබූ නයිලෝන් සමාගම, මත්තේගොඩ පේෂකම්හල, තෙල් හා මේද සංස්ථාව, මහවැලි මෙරීන් සමාගම, හිඟුරාන සීනි, කඩදාසි සංස්ථාව, වගේ ආයතන රැසක් විකුණුවා. අද ඒ එකක්වත් තිබෙනවා ද? 

 



ඔවුන් කීවේ භාණ්ඩාගාරයට විශාල වැය බරක් දරන්න සිදුවී තිබෙන ආයතන විකුණූ බවයි. නමුත් ඒ කතාවත් බොරු. ඒ අතරේ පසුගිය වසරේ මිලියන දොළොස්දහසක් ලාභ ලැබූ රක්ෂණ සංස්ථාව, ජාතික ආරක්ෂාවට ඉතා වැදගත් ටෙලිකොම් ආයතනය පසුගිය වසරේ රුපියල් මිලියන 10,000ක් ලාභ ලැබුවා. මේ ආයතනත් විකුණන්න දාලා තිබෙනවා.

 

තරගකාරී බව කියන ගෑස් සමාගම් දෙකෙන් රජයට අයත් සමාගම ජනවාරි 01දා සිට මිල වැඩි කළේ රුපියල් 685කින්. පෞද්ගලික සමාගම රුපියල් 755/-කින් වැඩි කළා. 2023 සැප්තැම්බර් දක්වා රජයේ ගෑස් සමාගම රුපියල් මිලියන 5639ක ලාභයක් ලබා තිබෙනවා. ආණ්ඩුවට ගෑස් සමාගම තිබුණේ නැතිනම් මොකද වෙන්නේ?

 

දැන් රජයේ ප්‍රධාන බැංකු දෙක විකුණන්න පැහැස්ති වෙනවා. ලංකා බැංකුව සහ මහජන බැංකුවට ලංකාව පුරාම ශාඛා තුන්සිය ගණනක් තිබෙනවා. ඒ අතරින් ශාඛා සියයක් පමණ පාඩු ලබනවා. බැංකු සේවාව ලබාදීමේ වගකීම තිබෙන්නේ රජයට. පෞද්ගලික අංශයේ නම් කරන්නේ යොදවන මුදලට ලාභය උත්පාදනය කර ගැනීමයි. නගරයේ බැංකු ක්‍රියාකාරිත්වයෙන් ලබන ලාභය ගම්වලින් ලබන්නේ නැහැ. ගිරාඳුරුකෝට්ටේ ලංකා බැංකු ශාඛාව පාඩු ලබනවා. එහෙත් ඒ ප්‍රදේශයේ ජනතාවට බැංකු සේවාව ලබාදෙන්න ඕනෑ. යුද්ධය අවසන් කළ පසු පදවිය බෝගස් හන්දියේ ලංකා බැංකු ශාඛාව ආරම්භ කළේ කන්ටේනරයක් ඇතුලේ. ඒහෙම කළේ, පුරවැසියන්ට බැංකු සේවාව ලබාදෙන්න ඕන නිසා. පෞද්ගලික අංශයේ බැංකු ශාඛා එන්නේ ඊට පසුව. රජයේ ගිණුම් පවත්වාගෙන යන ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ ගිණුම් දෙකේ අයිරාව රුපියල් බිලියන 7000ක් වෙනවා.

 

භාණ්ඩාගාරයේ සල්ලිත් නැතිව තිබියදී තෙල් සංස්ථාවට තෙල් ලබාදෙන්න රාජ්‍ය බැංකු දෙක මැදිහත් වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයටත් එහෙමයි. අපේ වගේ කුඩා ආර්ථිකයක රාජ්‍ය අංශයේ මේ බැංකු පද්ධතිය තියාගන්න ඕනෑ. 2022 ලංකා බැංකුවේ ලාභය බදු ගෙවූ පසුව රුපියල් බිලියන 32යි. බිලියන 13ක් රජයට බදු ගෙවා තිබෙනවා. මහජන බැංකුව බිලියන 14ක ලාභයක් උපයා තිබෙනවා. බිලියන 08ක් බදු ගෙවා තිබෙනවා.  

ඒ වගේම ලංකා බැංකුවේ අක්‍රීය ණය, බිලියන 325ක් සහ මහජන බැංකුවේ 300ක් වශයෙන් බැංකු දෙකේ බිලියන 625ක් තිබෙනවා. රුපියල් කෝටි 62,500ක් අක්‍රීය ණය ලෙස තිබෙන අතර එයින් භාගයක් අයකර ගතහොත් මේ බැංකු දෙක ශක්තිමත් කරන්න  පුළුවන්. දයා ගමගේගේ සමාගම මහජන බැංකුවට විතරක් කෝටි 160ක අක්‍රීය ණය තිබෙනවා. එයා සම්පත් බැංකුවටත් බිලියන තුනක පොලු තබා තිබෙනවා. මෙන්ඩිස් අරක්කු සමාගම කෝටි 350ක් මහජන බැංකුවට පොලු තියලා. ආණ්ඩුවේ හිතවතුන්ට මේ ආකාරයට ණය ලබාදීමෙන් අර අක්‍රීය ණය ප්‍රමාණය එකතු වී තිබෙනවා.

 

ඒ වගේම පෞද්ගලීකරණය පිටුපස වැරදි විදේශ ප්‍රතිපත්තියක් තිබෙනවා. ඉන්දියාවට යම් ආයෝජන කොටසක් එන විට චීනයටත් දෙන්න වෙනවා. කොළඹ වරායේ ජැටි විකිණීම උදාහරණයක්. සාරවත් ඉඩම් අක්කර 28,000ක් පශු සම්පත් මණ්ඩලයට තිබෙනවා. මේ ආයතන කඩා වට්ටවා ‘අමුල්’ සමාගමට විකුණන්න සූදානම් වෙනවා. මේ විදිහට රටේ සම්පත් විකුණුවාම අපට බලය අරගෙන වැඩක් නැතිවෙයි නේද කියලා සමහර අය අහනවා. ඒ නිසා මේ විකිණීමේ ක්‍රියාවලිය නවත්වන්න අරගලයක් ගෙනයනවා හා සමානවම ජාතික ජන බලවේගයේ පාලනයක් පිහිටුවන්නත් අරගල කළ යුතුයි.

Crowd 2

මේ රට ගොඩනැගීම පහසු නැති බව ඇත්ත. ඉතාමත් පහළට කඩා වැටුණු අගාධයක තිබෙන රටක් අපට ලැබෙන්නේ. සනීපකාරී ජීවිතයකින් මෙයින් අපට ගොඩ එන්න බැහැ. අපේ රටේ සෑම පුරවැසියා තුළම නව පිබිදීමක අවශ්‍යතාවය තිබෙනවා. රට ගොඩනැගීමේ ස්ථීර අධිෂ්ඨානයකින් යුතුව නව ජාතික පිබිදීමක් අවශ්‍යයි.

අපිට ජාතික පිබිදීමකින් නිර්මාණය වුණු රාජ්‍යයක් නොවෙයි තිබෙන්නේ. ඉන්දියාවේ බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව නේරු, මහත්මා ගාන්ධි, පාතෙල්, සුබාෂ් චන්ද්‍රබෝස් ගෙනගිය ඒකාබද්ධ ජාතික සටනක් තිබුණා. ඉන්දියාව ගොඩනැගීමේ පිබිදීම බවට පත්වුණේ ඒ ජාතික ව්‍යාපාරයයි. දෙවන ලෝක යුද්ධයේදී බෝම්බ හෙළා විනාශ වුණු ජපානය ගොඩනැගීමේ ස්ථිර අධිෂ්ඨානයක් ඔවුන්ට තිබුණා. කලක් ජපන් අධිරාජ්‍යවාදයේ යටත්විජිතයක් බවට පත්ව රජ පෙළැන්තියෙන් පීඩාවට පත්ව තිබූ චීනය නව ජාතික හැඟීමකින් සටන් කළා. අද චීනය ලෝකයේ දැවැන්තම ආර්ථික ශක්තියක් අත්පත් කරගෙන තිබෙනවා. බ්‍රිතාන්‍යයට එරෙහිව එක්සත් ජනපදයේ ජාතික සටනක් තිබුණා. වියට්නාමයේ ඇමරිකාවට එරෙහිව ජාතික සටනක් තිබුණා. රුසියාවේ සාර් පාලනයට එරෙහිව සටනක් තිබුණා. ලෝකය පුරා මිනිසුන්ට නව ජාතික පිබිදීමක් ඇතිවන නිදහස් සටන් තිබුණා. ඒ ජාතික පිබිදීමෙන් රටවල් සංවර්ධනයේ ඉදිරියටම ගියා.

 

නමුත් අපේ රටේ 1848 සිට 1948 දක්වා සුද්දා පාලනය කළ කාලය තුළ කිසි නැගිටීමක් සිදුවුණේ නැහැ. ඒ නිසා අපිට ජාතික පිබිදීමක් තිබුණේ නැහැ. ඉන්දියාවේ නේරුලා ඉන්නකොට අපට දොන් ස්ටීවන්ලා සිටියා. ඉන්දියාවේ ගාන්ධි ඉන්නකොට අපට ජූනියස් රිචඞ්ලා සිටියා. ඉන්දියාවේ පාතෙල්ලා ඉන්නකොට අපට සොලමන් ඩයස්ලා සිටියා. අපිට හිටියෙ ඒ වගේ පරාධීන නායකයන්. 

ගොවියා, ධීවරයා, වෛද්‍යවරයා, ඉංජිනේරුවන් තම තමන් ගැන සිතමින් කටයුතු කරනවා වෙනුවට නව ජාතික පිබිදීමකින් කටයුතු කළ යුතු වෙනවා. 2024 කියන්නේ ජාතික හැඟීමකින් යුතු ජනතාවක් ඊට අදාළ දේශපාලන නායක්වයක සිටින ජාතික ජන බලවේගයේ අතට සුක්කානම ලබාදීමේ වර්ෂයයි. මේ වර්ෂය තුළ ජාතික හැඟීමකින් පිබිදී අපි සියලුම දෙනා සාමූහික ප්‍රයත්නයකින් කටයුතු කරමු කියා ඉල්ලා සිටිනවා.



''නීති විරෝධී ආණ්ඩුව මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකරමින් සිටිනවා...''- මහාචාර්ය අනිල් ජයන්ත

Pro. Anil Jayantha
මේ සම්මන්ත්‍රණය පවත්වන්නේ ආර්ථික, සමාජීය, වශයෙන් ඉතාමත් වැදගත් හෙළිදරව් කිරීම් රැසක් කරන්න. මෙය හුදෙක් තොරතුරු හෙළිදරව් කිරීමකට වඩා ඉදිරියට ගිය දෙයක්. මහජනතාව සතු සම්පත් තෝරාගත් පුද්ගලයින් කණ්ඩායමකට ලබාදීම හුදෙක් ආර්ථික ගනුදෙනුවක් පමණක් නොවෙයි. ඒ කතාවේ ඇත්ත හෙළිදරව් කරගෙන අප ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න කතා කළ යුත්තේ ඒ නිසයි. විවිධ තාක්ෂණික නිර්වචන ඔස්සේ එනම් පුද්ගලීකරණය, යනුවෙන් ආර්ථික ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශයට බාරදිය යුතු බවට මතයක් හදනවා.

 

ඇත්තටම පෞද්ගලික අංශයට ආර්ථිකයේ විශාල කාර්යභාරයක් තිබෙන බව ඇත්ත. ඒ ඇත්ත යට සැඟවිලා මහජනතාව සතු විශාල දේපළ ප්‍රමාණයක් කුණු කොල්ලයට විකිණීමේ ජාවාරමක ආණ්ඩුව යෙදී සිටිනවා. විකිණීම සඳහා ඔවුන් රාජ්‍ය අංශය අකාර්යක්ෂම බවත් පුද්ගලික අංශය කාර්යක්ෂම බවත් කියනවා. විශේෂයෙන් රාජ්‍ය ක්ෂේත්‍රය දේශපාලනීකරණය කර ඇති නිසා, අකාර්යක්ෂමතා ගැටලු තිබෙන්නට පුළුවන්. තව පැත්තකින් පුද්ගලික අංශයට දුන්නාම තරගකාරිත්වය වැඩිවී නව උත්පාදන බිහිවෙමින් සමාජයට යහපත් ප්‍රතිඵල අත්වෙන බව කියනවා. 

අනෙක් පැත්තෙන් ගත් විට මහජනතාවගේ බලයෙන් ආණ්ඩුවක් පත්කරගෙන ආර්ථික, දේශපාලනික කටයුතු මෙහෙය වන අතර, ඇතැම් සුවිශේෂී අංශ ඉතාමත් වගකීමෙන් රාජ්‍ය හිමිකාරිත්වය යටතේ මෙහෙයවන්න ඕනෑ. එවැනි අංශවල පරමාර්ථය ලාභ ඉක්මවා ගිය අරමුණුයි. ආර්ථිකය නිවැරදි දිශාවට ගෙන ඒම, ආර්ථිකය ස්ථායීකරණය කිරීම සහ ආර්ථික ක්‍රියාවලියට අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සපයා දීම වැනි කාර්යයන්, ලාභය අරමුණුකොට නොගෙන රාජ්‍ය අංශය විසින් පවත්වාගෙන යා යුතුයි.

 

මේ දක්වා සිදුකළ විකිණීම් සහ නැවත රජයට අත්පත් කර ගැනීම කර තිබෙන්නේ මහජනතාවගේ ජීවිත උසස් කිරීමේ අරමුණින් නොවෙයි; පවතින ආණ්ඩුවලට යම්තම් මුදලක් ලබාගෙන චෞර වළල්ලට වැඩි වාසි ගෙනදෙන්නයි. ජනසතු කිරීම හෝ පෞද්ගලීකරණය කිරීම යන දෙකම ක්‍රියාත්මක කර තිබෙන්නේ ඒ පටු අරමුණින්. රට මුහුණ දී තිබෙන අර්බුදයෙන් මහජනතාව ගොඩගැනීම නොව බලයේ සිටින කණ්ඩායම තවදුරටත් බලය පවත්වාගෙන යන්නේ කොහොමද කියන ප්‍රශ්නයට උත්තර සොයා ගන්න අයි.එම්.එෆ්. නියෝග අනුව ඔවුන් ක්‍රියාකරනවා. එකම උත්තරය අයි.එම්.එෆ්. පමණක් බව ජනගත කරන්න උත්සාහ කරනවා. වෙනත් විකල්ප නැහැ, වෙනත් ආකාරයකට ක්‍රියාකළ නොහැකියි යනුවෙන් මතයක් හැදීමම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක්. ඔවුන් මිථ්‍යාව සමාජගත කරමින් සඟවා තබන ප්‍රධාන කරුණු රැසක් අයි.එම්.එෆ්. වාර්තාවේ තිබෙනවා.

ආදායම් පාලනයත් වියදම් කළමනාකරණයත් සිදුකළ යුතු බව අයි.එම්.එෆ්. එක නියෝග කර තිබෙනවා. ආර්ථිකය ගමන් කරන දිසාව, මිනිසුන්ගේ ජීවන තත්වය කඩාවැටීම, ව්‍යාපාර කඩාවැටීම වැනි කරුණු ඔවුන්ට අදාළ වෙන්නේ නැහැ. විචක්ෂණභාවයකින් තොරව වැට් බද්ද වැනි බදු පනවන්නේ ඒ නිසයි. පවතින දූෂිත ආර්ථික ක්‍රමය ඇතුලේ ඔවුන්ගේ ඇස්තමේන්තුගත ඉලක්කවලටවත් යන්න ලැබෙන්නේ නැහැ. වක්‍ර බදු සියයට සියයකින් පමණ වැඩිකර ආදායම් ඉහළ දමා ගැනීමට ඔවුන් දරන උත්සාහය සාර්ථක වෙන්නේ නැහැ. අනෙක් පැත්තෙන් වියදම් කළමනාකරණයට අදාළව අකාර්යක්ෂමතාවය සහ නාස්තිය අඩුකර ගන්න ඔවුන් උත්සාහ කරන්නේ නැහැ. ආදායම් වැඩිකර ගැනීමේ සහ වියදම් අඩුකර ගැනීමේ උපක්‍රම දෙකෙන් එකක් වත් මේ ආණ්ඩුවට ලෙහෙසියෙන් කර ගත හැකිවෙන්නේ නැහැ.

 

අයි.එම්.එෆ්. එක ප්‍රධාන නිර්ණායක තුනක් ආණ්ඩුවට ලබාදී තිබෙනවා.

 

# පළමුවැන්න 2025 වන විට ප්‍රාථමික ගිණුමේ ශේෂය ධන 2.3 දක්වා වර්ධනය කර ගන්න ඕනෑ.

# දෙවනුව 2032ට පෙර ආණ්ඩුවේ සමස්ත ණය බර දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 95% දක්වා අඩුකර ගන්නත්

# වාර්ෂික ණය ගැනීමේ අවශ්‍යතාවය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 14% දක්වා 2030 වන විට අඩුකර ගන්නත් ඕනෑ. 

 

ආණඩුවේ ආදායම් සහ වියදම් කළමනාකරණයෙන් මෙම ඉලක්ක සම්පූර්ණ කර ගන්න බැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම අපේ සාගරය, භූමිය ඇතුළු ඕනෑම දෙයක් විකුණන්න උත්සාහ කරනවා. මේ විකිණීමෙන් අරමුණු දෙකක් ඉටුකර ගන්නවා. අයි.එම්.එෆ්. එකේ නිර්ණායක තුන සම්පූර්ණ කරන අතර ඩොලර්වලට විකිණීමෙන් ආණ්ඩුවේ වියදම්වලට මුදල් උපයා ගැනීම වගේම විදේශ සංචිත ගොඩනගා ගැනීමටත් පෙළඹෙනවා.

 

අර්බුදයක් තිබෙන මොහොතක රටට ආයෝජකයන් එන්නේ නැහැ. එනවා නම් එන්නේ දේශපාලනික මැදිහත්වීම් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන විදේශ ආයෝජකයන් පමණයි. විකිණීමට යන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් එක් උදාහරණයක් හැටියට ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම ගතහොත් 2023 රුපියල් බිලියන 40ක මෙහෙයුම් ලාභයක් අත්කර ගෙන තිබෙනවා. මේ ආයතනය පාඩු ලබන්නේ කළමනාකාරිත්වයෙන් ගන්නා වැරදි තීන්දු තීරණ සහ දේශපාලන තීන්දු නිසයි. මේ ආයතනය සේවකයන්ගේ ප්‍රශ්න නිසා පාඩුවෙනවා නොවෙයි. සේවක පිරිවැය ගත්තත් මේ ආයතනයේ සමස්ත වියදම්වලින් 6%යි. අවුරුදු ගණනාවක් තුළ මේ ආයතනයේ අලාභය රුපියල් බිලියන 612ක් විතර එකතුවී තිබෙනවා. පළමුවෙනි මොහොතේ සිට කළමනාකාරිත්වය ඒ සම්බන්ධයෙන් තීන්දු  තීරණ ගත්තා නම් මේ වැනි තත්වයකට වැටෙන්නේ නැහැ. සැඟවුණු කතාව ඇතුලේ මෙන්න මේ වගේ කරුණු රැසක් තිබෙනවා. 

 

මේ පිටුපස තිබෙන්නේ ආර්ථික අපරාධ. ඒ අතරේ තවත් තක්කඩි වැඩ කරන්න සූදානම් වෙනවා. ගිණුම්කරණ විජ්ජා මගින් බිලියන 102ක් භාණ්ඩාගාරයෙන් ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගමට ආයෝජනය කිරීමේ සූදානමක් තිබෙනවා. මහජනතාවගේ මුදල් තමන්ට රිසිසේ යොදවන මේ ආකාරයේ සාපරාධී ක්‍රියා රැසක් තිබෙනවා.

 

මේ උදාහරණය පමණක් ගත්තත් ආර්ථිකය වැටී තිබෙන අගාධයෙන් ගොඩගෙන මහජනතාවගේ ජීවිත උසස් මට්ටමට පත්නොකරන බව තහවුරු වෙනවා. අනවශ්‍ය පුද්ගලීකරණය කිරීමෙන්, මහජන දේපළ විකිණීමෙන් විශාල බිඳවැටීම් සිදුවී ඇති බව ගෝලීය උදාහරණ මගින් පැහැදිලි වෙනවා. විශේෂයෙන්ම බලශක්ති, මූල්‍ය, වගේ ක්ෂේත්‍රවල රාජ්‍ය අංශයේ මැදිහත්වීම ඉතාමත්ම වැදගත්. සමස්ත ආර්ථිකයටම සහ මහජනතාවගේ ජීවිතවලට මේ ක්ෂේත්‍ර ඍජුවම බලපානවා.

 

අයි.එම්.එෆ්. එකට හිරවුණු ග්‍රීසිය ඔවුන් සතුව තිබූ දුම්රිය, වරාය, වැනි ආයතන විකුණා උත්තර සොයන්න උත්සාහ කළා. නමුත් විශාල මහජන විරෝධයක් ඒ රටවල ඇතිවී තිබෙනවා. අපි උත්සාහ කළ යුත්තේ කෙසේ හෝ විකුණා දැමීමට මේ දූෂිත කණ්ඩායම ගෙනයන උත්සාහය කෙසේ හෝ පරාජය කිරීමටයි. එය පමණක් ප්‍රමාණවත් නැහැ. ඊට එහා ගොස් දේශපාලන තීන්දු මහජනතාව විසින් ගත යුතු වෙනවා. නීත්‍යානුකූල හෝ සදාචාරමය වැනි කිසිම පැත්තකින් බලයේ සිටීමට අයිතියක් නැති ආණ්ඩු මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකරනවා. මේ සියලු ක්‍රියාමාර්ගවල අවසානය වී තිබෙන්නේ ඔවුන් විසින් මනුෂ්‍යත්වයට එරෙහි සාපරාධී අපරාධ සිදුකිරීමයි. මේ තත්වයෙන් මිදීමේ සාමූහික මෙහෙයුමක් අපි සියලුම දෙනා විසින් සිදු කළ යුතු වෙනවා. 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්