බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ලබාගෙන ඇති පිරිස මේවනවිට ලක්ෂ 10 ඉක්මවා ඇති බව

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ කොමසාරිස් කීර්ති නාපාන මේ බව පැවසුවේ 'දෙරණ 'නාලිකාවේ වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ කොමසාරිස්වරයා මෙලෙස පැවසීය.

"අපේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙලා තිබුණේ ජනවාරි 01 වනදාට 437,547යි. අද වෙනකොට ලක්ෂ 10 ඉක්මවලා තියෙනවා. අපි ප්‍රධාන වශයෙන් ඉලක්ක කරන්නේ ආදායම් විශමතාවයක් තියෙනවා. මේ ආදායම් බෙදී ගිහින් තිබෙන ආකාරය බැලුවොත් ඉහළම ආදායම් ලබන කණ්ඩායම 20%ක් විතර ඉන්නවා. ඒ කණ්ඩායමෙන් සමස්ත ආදායමෙන් 60% වඩා බෙදිලා තිබෙනවා."

"20%ක් කියලා කිව්වොත් පුද්ගලයන් ලක්ෂ 50ක් විතර. එතකොට අපේ පළවෙනි ඉලක්කය තියෙන්නේ මේ ලක්ෂ 50 හඳුන ගැනීම. මොකද ඔවුන්ගෙන් තමයි සැබෑ බදු ආදායමක් ලබාගැනීමේ හැකියාව තිබෙන්නේ."

වයස 18ට වැඩි ඔබ බදු අංකය ලබාගන්නේ මෙහෙමයි

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු අංකයක් (TIN) ලබාගැනීම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ (ඔන්ලයින්) මෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් ද සිදු කළ හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

මෙම බදු අංකය ලබාගැනීමේ අයදුම්පත ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් බාගත කර පිටපතක් මුද්‍රණය කරගත හැකි වෙයි.


එම අයදුම්පත ලබා ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යෑමට අවශ්‍ය නොවන අතර එය දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් මාර්ගගතව ලබාගත හැකිය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ www.ird.gov.lk වෙබ් අඩවියට පිවිස මාර්ගෝපදේශ අනුගමනය කිරීමෙන් බදු අංකයක් සඳහා වන අයදුම්පත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ හැකිය.


එම ඉල්ලීම සමාලෝචනය කිරීමෙන් පසුව බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) සඳහන් සහතිකයක් සහ එක්වරක් පමණක් භාවිත කළ හැකි මුරපදයක් (PIN) අදාළ පුද්ගලයා විසින් ලබාදී ඇති ඊමේල් ලිපිනයට ලැබෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත පැමිණ බදු අංකය ලබාගැනීමේදී ඒ සඳහා වන ලියාපදිංචි අයදුම්පතක් සම්පූර්ණ කර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ 2 වන මහලේ ප්‍රාථමික ලියාපදිංචි අංශයට හෝ යම් අයකුට ආසන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඕනෑම ප්‍රාදේශීය හෝ නගර කාර්යාලයකට ඉදිරිපත් කළ හැකිය.

මාර්ගගතව එනම් ඊ සේවාව හරහා බදු අංකය ලබාගැනීම සඳහා ලියාපදිංචිවීමේදී ජාතික හැඳුනුම්පතෙහි දෙපැත්තම ස්කෑන් කර එහි PDF පිටපතක් උඩුගත (අප්ලෝඩ්) කළ යුතුය.

ජාතික හැඳුනුම්පතේ ඇති ලිපිනයෙහි සහ දැනට පදිංචි ලිපිනයෙහි වෙනසක් ඇත්නම් එය සනාථ කිරීම සඳහා පිළිගත හැකි ලේඛනයක පිටපතක් ද උඩුගත (අප්ලෝඩ්) කිරීමට කටයුතු කළ යුතු බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.


2024 ජනවාරි 01 දින සිට සෑම වයස අවුරුදු 18 ට වැඩි අයකු විසින්ම බදු අංකයක් ලබාගැනීම රජය මගින් අනිවාර්ය කර ඇත. මේ අංකය ගත් පමණින් කෙනෙක් බදු ගෙවීමට බැඳීමක් ඇති නොවන අතර ඒ සඳහා බැඳීමක් ඇති වන්නේ වාර්ෂිකව රුපියල් ලක්ෂ 12 ට වඩා වැඩි ආදායමක් උපයන්නේ නම් පමණක් ය.


මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචිවීම සඳහා මෙතැනින් පිවිසෙන්න

වැඩි විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න...


(adaderana.lk)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්