"රටත්, ජනතාවත්, දරු පරපුරත් අපරාධකරුවන්ගෙන් ගලවා ගැනීම වෙනුවෙන් ඕනෑම දැඩි තීරණයක්‌

ගැනීමට පසුබට නොවනබව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

ඔහු එබව කියා සිටියේ, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ, ස්වයංක්‍රියව මුහුණු හදුනා ගැනීමේ පද්ධතිය (Automated Facial Recognition System) විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීම සහ සංවිධානාත්මක අපරාධකරුවන් මර්ධනය කිරීමේ 'යුක්තිය' මෙහෙයුම සාර්ථක කර ගැනීමේ අභිලාශයෙන්, ස්වයංක්‍රීය මුහුණු හඳුනාගැනීමේ පද්ධතිය ස්ථාපිත කර ඇත.

මෙම අධි තාක්ෂණික පද්ධතිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිපාලනයට යටත්ව ක්‍රියාත්මක වන්නේ, කෘතිම බුද්ධිය භාවිතා කරමිනි.

මෙහිදී අපරාධ වාර්තා කොට්ඨාසය තුළ පවත්වාගෙන යනු ලබන දත්ත පද්ධතියේ තොරතුරු පදනම් කර ගනිමින්, සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දත්ත මෙම අධි තාක්ෂණික පද්ධතියට ඇතුළත් කර තිබේ.


මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ, විවිධ අපරාධ සිදු කරන ලද සංවිධානාත්මක අපරාධකරුවන් බොහොමයක් ව්‍යාජ ලේඛන භාවිතා කර සකස් කරන ලද විදෙස් ගමන් බලපත්‍ර භාවිතා කරමින් රටින් පිටව යාම සහ නැවත ලංකාවට පැමිණ සැඟව සිට අපරාධ මෙහෙය වීම වළක්වාලීමයි. මෙමගින් වෙස්වලාගෙන හෝ අවිධිමත් ලෙස පැමිණෙන ඕනෑම සැකකරුවෙකු හදුනා ගැනීමේ හැකියාව මෙම නවීන තාක්ෂණය භාවිතා කරමින් සිදු කල හැකි බවත්, මෙම ක්‍රියාවලිය තුළින් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම තව දුරටත් සාර්ථකව සිදු කළ හැකි බවත් මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.


මෙම ව්‍යාපෘතිය ආරම්භක අවස්ථාවට එක්වූ මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙසේ පැවසිය.

''ඉදිරි මාස හය තුල කැපී පෙනෙන වෙනසක් ඇති කිරීම අපේ අරමුණයි''

"අපේ රටින් අපරාධ තුරන් කිරීම සඳහා මේ වන විට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ වෙනුවෙන් පොලිසියේ සියලු නිලධාරීන් දිවා රෑ නොබලා කැපවී කටයුතු කරමින් සිටිනවා. මේ වන විට ඉතාමත් හොඳ ප්‍රතිපල ලැබෙමින් පවතිනවා. එම නිලධාරීන් දිරිමත් කිරීම සඳහා තාක්ෂණය වැඩි දියුණු කරමින් අවශ්‍ය පහසුකම් සැලසීම අපේ වගකීමක්..

යම් අපරාධයක් සිදුවී පැය 24ක්‌ 48ක්‌ අතර එම අපරාධකරුවන් හඳුනාගැනීමට පොලිසිය සමත් වූවත් ඇතැම් විට එම කාලය තුල ඔවුන් ගුවන් තොටුපොල හරහා හෝ මුහුදු මාර්ග ඔස්සේ රටින් පලා යාම සිදුවනවා. ගුවන් තොටුපල හරහා එලෙස පලා යාම වැලක්වීම සඳහා මීට මාස කිහිපයකට පෙර මෙම ඒකකය ආරම්භ කිරීම සඳහා අපරාධ වාර්තා කොට්ඨාශය මඟින් මෙහි මූලික පියවර ගනු ලැබුවා. අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවත් තොරතුරු තාක්ෂණ අංශයත් එක්ව අද දින විවෘත කිරීමට හැකි තත්වයට එය පත් කර තිබෙනවා.

කිසිඳු අපරාධකරුවෙකුට රට තුල සැඟවී සිටීමට ඉඩ ලබා නොදීමේ පදනම මත සිටිමින් අප මේ සියලු කටයුතු ක්‍රියාත්මක කරමින් සිටිනවා. කවර බාධක හමුවේ වූවත් එය නතර කිරීමේ හැකියාවක් නැහැ.

 රටේ සියලු ආයතන, ජනතාව මේ සඳහා එක් වනවා නම් පාතාලය, මත්ද්‍රව්‍ය, අපරාධ මර්ධනය එතරම් අපහසු වන්නේ නැහැ. රටත්, ජනතාවත්, දරු පරපුරත් අපරාධකරුවන්ගෙන් ගලවා ගැනීම අපේ එකම අරමුණයි. ඒ වෙනුවෙන් ඕනෑම දැඩි තීරණයක්‌ ගැනීමට මා පසුබට වන්නේ නැහැ. ඇතැම් පුද්ගලයන් නිසා, නීතී රීති නිසා කවර බාධාවන් ඊට ඇති වුවත් ඒවාට යටත් වන්නට අප සුදානම් නැහැ. ඒ වෙනුවෙන් මහජනතාව ද දායක කරගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ තුලින් ඉදිරි මාස හය තුල කැපී පෙනෙන වෙනසක් ඇති කිරීම අපේ අරමුණයි. "

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ගුවනතොටුපල හා ගුවන් සේවා සමාගම, ආගමන විගමන දෙපාර්තමේන්තුව යන ආයතනවල ප්‍රධානීන්, පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ. 

CCTV airport

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්