පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ
 
විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරිමේ අරමුණින් පොලිසිය ප්‍රමුඛ ආරක්ෂක අංශවලින් කරගෙන යනු ලබන "යුක්තිය" මෙහෙයුම ආණ්ඩුව ගෙන යන හිංසාකාරී ක්‍රියාමාර්ගය බවට චෝදනා කරන පෙරටුගාමි සමාජවාදී පක්ෂය, එම අයුක්ති සහගත මෙහෙයුම නවතා දමන ලෙස රජයට බල කර සිටී.

මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ප්‍රධානින් වෙනුවට ඔවුන්ගේ ජාවාරමේ ගොදුරු බවට පත්ව, මත්ද්‍රව්‍ය භාවිතකරන්නන් දඩයමට ලක් කිරීමෙන් මත්ද්‍රව්‍ය ජාවාරම නවතා දැමිය නොහැකි බවට එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ජනවාරි 6 වැනිදා පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේය.

"මේ වනවිට ටිරාන් අලස් හා දේශබන්දු නටන නාඩගමක් තිබෙනවා. ඒකට යුක්තිය කියලා නමකුත් දාලා. මේ යුක්තිය නමින් සිදුකරන අයුක්තිය සම්බන්ධයෙන් කවුරුවත් කට අරින්නෙ නැති තත්වයකුත් තිබෙනවා. අපි පක්ෂයක් ලෙස මේ සම්බන්ධයෙන් හඬ නගන්න තීරණය කළා. මේ ගැන මොන තරම් නිහැඬියාවක් තිබෙනවාද කිව්වොත් එක් සිදුවීමක් ගැන කිසිදු මාධ්‍යයකින් කතා නොකරන්න රනිල් රාජපක්ෂ දේශබන්දු කල්ලිය සමත් වෙලා තියෙනවා."

පොලිසිය සත්‍ය වසන් කරනවා

පසුගිය දිනක දෙමටගොඩ පොලිස් විශේෂ අපරාධ විමරශණ කොට්ඨාසය විසින් වැලිගම පැලෑඳ ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබීමෙන් සිදුවීම සම්බන්ධයෙන් ද පුබුදු ජයගොඩ මෙහිදී අදහස් දැක්වු අතර ඔහු පවසන්නේ පොලිසිය මෙම සිදුවීමේ සත්‍ය වසන් කරන බවයි.

"පොලිස් මාධ්‍ය ප්‍රකාශක මේ ගැන මොකුත් නොකියා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් ගැන කියමින් ඇත්ත සිදුවීම වසා දමන්න කටයුතු කරන බව පෙනෙනවා. ඔහු කියන ආකාරයට හෝටලයෙන් වෙඩි තැබුවා නම් කළ යුතුව තිබුනේ ප්‍රදේශයේ පොලිසියට කතාකරලා සහාය ඉල්ලන එක. නමුත් පොලිසියට කතා කළේ හෝටලයෙන්. හෝටලයෙ ජාවාරම්කාරයන් හිටියා නම්, වෙඩි තැබුවෙ ඔවුන් නම් පොලිසියට කතා කළේ ඇයි? අනික නිල රජකාරියක් කරන්න ගියා නම් වැලිගම පොලිසිය වෙඩි තියනකොට පළා ගියේ ඇයි? දිගටම කොළඹට පැනලා යන්න උත්සාහ කළේ ඇයි? තුවාලකරුවන් සිටියදී ඔවුන් රෝහල්ගත කරන්න උත්සාහ නොකළේ ඇයි?"

තුවාල ලැබු අනෙක් නිලධාරියාගේ ජිවිතය බේරි ඇත්තේ ඉමදූව පොලිසියේ නිලධාරින් හට කොළඹින් කතාකළ උසස් පොලිස් නිලධාරියාගේ වැරදි නියෝග පිළිපදිනවා වෙනුවට ඔහු රෝහල්ගත කළ නිසා බවටයි පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම්වරයා පවසන්නේ.

පොලිසියේ නිල නොවන ඝාතක කල්ලියක් තියෙනවා ද?
 
මෙම සිදුවීම හරහා දෙමටගොඩ පොලිස් විශේෂ අපරාධ විමරශණ කොට්ඨාසය හරහා නඩත්තුවන නිල නොවන ඝාතක කණ්ඩායමක් තිබෙනවා ද යන්න ඕනෑම කෙනෙකුට ඇතිවන ප්‍රශ්නයක් බවයි පුබුදු ජයගොඩ පවසන්නේ.
 
"මේ සිදුවීමේ අනෙක් ප්‍රශ්නය තමයි, ඇයි පොලිසිය වෑන් රථයට ව්‍යාජ අංක පාවිච්චි කළේ? වෙඩි වැදුණු අය කොළඹට ගෙන යන්න උත්සාහ කළේ ඇයි? මෙම පොලිස් නිලධාරින් ගිය වෑන් රථයේ අංකය ව්‍යාජ එකක් බවට තොරතුරු හෙළි වෙලා තිබෙනවා. මරණීය තුවාල ලැබූ නිලධාරින් රෝහල්ගත නොකර කොළඹට පළායන්න මේ අයට තිබුණ හදිස්සිය මොකක්ද? ඒ වගේම දෙමටගොඩ පොලිස් අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇනස්ලම් මෙම වෑන් රථයේ සිට තිබෙනවා. මේ වනවිට පොලිස් අපරාධ කොට්ඨාසය භාර අධ්‍යක්ෂ නෙවිල් ද සිල්වාට සම්බන්ධ අපරාධ චෝදනා ගණනාවක් තිබෙනවා. ඒ අනුව නිහාල් තල්දුව කියන ආකාරයේ සුරගන කතාවක් විශ්වාස කරන්න බෑ. ඒ නිසා දෙමටගොඩ පොලිසිය හරහා නඩත්තුවන නිල නොවන ඝාතක කණ්ඩායමක් තිබෙනවද කියන ප්‍රශ්නය ඕනම කෙනෙකුට මතු වෙනවා."

පොලිසිය බාර අමාත්‍ය ටිරාන් අලස් හා මෙම හෝටලයේ හිමිකරු හාඩි ජමාල්ඩින් අතර පුද්ගලික ප්‍රශ්නයක් ඇති බව පවසන හෙතෙම අමාත්‍යවරයා පොලිසිය යොදා ගනිමින් පුද්ගලික වෛරය පිරිමහා ගැනීමට උත්සාහ කරන බවට සැක පළ කළේය.

මෙම සිදුවීම පිළිබඳව මාධ්‍ය නිහඬ බව පවසන පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ එසේ නිහඬ ඇයි දැයි මාධ්‍යයෙන් ප්‍රශ්න කර සිටි.

"මේ ගැන කිසිදු ප්‍රධාන මාධ්‍යයක් කතා කරන්නෙ නෑ. ඔක්කොගෙම කටවල් වහලා. ඇයි මෙහෙම නිහඬතාවක් තිබෙන්නෙ කියලා අපි මාධ්‍ය ආයතනවලින් අහනවා, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් අහනවා, දේශපාලන පක්ෂවල නායකයන්ගෙන් අහනවා. මේ ආකාරයෙන් පොලිසිය තුළ වෙනම ඝාතක කණ්ඩායම් පවත්වාගෙන යාම, පෞද්ගලික ව්‍යාපාරික කෝන්තර පිරිමැසීමේ අරමුණු වෙනුවෙන් එවැනි කණ්ඩායම් මෙහෙයවීම  ගැන ඔබ එකඟද කියලා අපි ඔවුන්ගෙන් අහනවා."
 
"මේක මේ  මත්ද්‍රව්‍ය කතාව කියලා හෝටලයකට පහරදීමක් පමණක් නෙවෙයි, මේක සමාජයක ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක්. මේක මේ රටේ ඕනම කෙනෙකුට අනතුරක් එල්ල වන තත්වයක්. අපි මාධ්‍ය ආයතනවලින්, දේශපාලන පක්ෂවලින් විමසනවා මේ ආකාරයට නිල නොවන පොලිස් කණ්ඩායම් නඩත්තු කිරීම ගැන ඔබේ මතය කුමක්ද?" ඔහු තවදුරටත් ප්‍රශ්න කරයි.
 
දෙහිවල හෝටලය කැඩුවේ පලිගන්න ද?
 
දෙහිවල වෙරළ තීරයේ හෝටල් පරිශ්‍රයක් ජනවාරි 01දා දහවල් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පෝලිසියේ ආරක්ෂාව මැද කඩා ඉවත් කිරීම සිදුකරනු ලැබිණි.
 
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සතු හෝටලයක් යැයි පවසා පොලිසිය විසින් කඩා දැමු හෝටලය, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ පැරණි මිතුරෙකුගේ බව පවසන පුබුදු "පුද්ගලික කෝන්තරයකට තමන්ගෙ පරණ යාලුවාගෙන් පලිගන්න දේශබන්දු කළ වැඩක් බවට සැකයක් තිබෙනවා." යැයි කියා සිටියේය.

එබැවින් මත්ද්‍රව්‍ය චෝදනා ඉදිරියට ගෙන යමින් සිදුකරන අයුක්ති සහගත මෙහෙයුම ගැන සමාජයක් ලෙස බරපතළ ලෙස ප්‍රශ්න කළ යුතුයි බවයි පෙරටුගාමි සමාජවාදී පක්ෂය අවධාරණය කරන්නේ.

විවිධ චෝදනා නගමින් සත්‍ය වසන් කරමින් දේශපාලන වාසි වෙනුවෙන් විරුද්ධවාදීන් මර්දනය කළ අතීතය ගැන පුබුදු ජයගොඩ මාධ්‍ය හමුවේදී සිහිපත් කළේය.

"එක කාලයක් තිබුණා සියලු දෙනා එල්ටීටීඊ කියලා අත්අඩංගුවට ගන්න. එකෙන් ඇත්ත වසා දමමින් ජනතාව රවටමින් රාජපක්ෂලාගෙ දේශපාලනය ආරක්ෂා කරගන්න, ඔවුන්ගෙ දූෂිත, මර්දනකාරී ජඩ දේශපාලනය එල්ටීටීඊ කතාවලින් වසා දැමුවා. ඊට පස්සෙ කාලයක් තිබුණා සහරාන් සහරාන් කියලා ජනතාවගේ ඇස් වහලා මර්දනය ඉදිරියට ගෙන ගියා. ඊට බොහෝ කලකට පෙර 1980 ගණන්වල රනිල් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනය වුණේ ජේවීපීකාරයෝ කිය කිය මර්දනය පවත්වා ගෙන ගිය එක."

යුක්තිය මෙහෙයුම නමින් සිදුකර අයුක්ති සහගත මාධ්‍ය සංදර්ශනය නවතා දමා හක්කෙ බුදු රැස් බොක්කෙ දඩමස් දේශපාලනය අවසන් කරන ලෙස ඉල්ලා සිටින පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මෙයට එරෙහිව හඬ නගන්නැයි සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියේය.



 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්