ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන ලේකම් ධුරයේ කටයුතුවලට බාධා කිරීම සහ එම ධුරයේ

කටයුතුවලට බාධා වන ආකාරයේ ප්‍රකාශන නිකුත් කිරීමෙන් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා වාරණ නියෝගයක් අද (08) නිකුත් කළේය.

ලබන 22 වැනිදා තෙක් බලපැවැත්වෙන අන්දමට මෙම වාරණ නියෝගය නිකුත් කළ දිසා විනිසුරුවරයා එදින අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් වගඋත්තරකාර දයාසිරි ජයසේකර ට නොතීසි ද නිකුත් කළේය.

හිටපු ජනාධිපති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන සහ පක්‍ෂයේ වැඩ බලන ලේකම් සාරථි දුෂ්මන්ත ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව දිසා විනිසුරුවරයා එලෙස නියම කළේය.

නීතිඥ සංජීව කළුආරච්චි මාර්ගයෙන් හිටපු ජනාධිපති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන සහ පක්‍ෂයේ වැඩ බලන ලේකම් සාරථි දුෂ්මන්ත ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා වශයෙන් කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර නම් කර ඇත.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා කරුණු දක්වමින් වගඋත්තරකාර දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා වශයෙන් කටයුතු කළත්, 2023 සැප්තැම්බර් 05 වැනිදා සිට ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ප්‍රධාන ලේකම් ධූරයෙන් ඉවත් කර ඇතැයි දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරය පිළිබඳ සාවද්‍ය ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවත් පක්ෂයේ වැඩබලන ලේකම්වරයාගෙ කටයුතුවලට බාධා වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරමින් සිටින  බවත් කී ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා, පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇති හිටපු ලේකම්වරයා පක්‍ෂයේ වැඩබලන ලේකම්වරයාගේ කටයුතුවලට බාධා පැමිණවීම නිත්‍යානුකූල නොවන්නේ යැයි පෙන්වා දුන්නේය.

ඒ තත්වය මත පක්ෂයේ වැඩ බලන ලේකම් ධුරයේ කටයුතුවලට බාධා කිරීම සහ එම ධුරයේ කටයුතුවලට බාධා වන ආකාරයේ ප්‍රකාශන නිකුත් කිරීම වළකාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ඉල්ලීමක්ද කළේය.

ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ වාරණ නියෝගය නිකුත් කළ දිසා විනිසුරුවරයා පෙත්සම ලබන 22 වැනිදා යළි කැඳවීමටද නියම කළේය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ පුලස්ති රූපසිංහ සමඟ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා පෙනී සිටියේය.

(lankadeepa.lk- මනෝප්‍රිය ගුණසේකර සහ රෝෂන් තුෂාර)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්