රජය විසින් දැනට ඉදිරිපත් කර ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ශිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත විවාදයට ගැනීමෙන් වැලකී විශේෂඥ අදහස්

මෙන්ම පාර්ශවකරුවන්ගේ හා පොදු සමාජයේ ද අදහස් සැලකිල්ලට ගෙන නව කෙටුම්පතක් සකස් කරන්නැයි ඉල්ලීමක් ඉදිරිපත්ව තිබේ.

මාර්ගගත ක්‍රමවල සුරක්ශිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත මේ මස 23 හා 24 යන දෙදින තුළ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත ඇත.

මාර්ගගත සුරක්ශිතභාවය පිළිබඳ පනත කිසිදු හවුල්කරුවෙකුගේ උපදේශනයකින් තොරව විසම්මුතිය හා ශ්‍රී ලාංකිකයන්ගේ අදහස් පලකිරීමේ අයිතිය යටපත් කරන පාලනයකට මගපාදන්නක් බව පිළිගත් දේශීය මෙන්ම විදේශීය සංවිධාන ගණනාවක් මේ වන විටත් පෙන්වා දී බවයි නිවේදනයක් නිකුත් කරන සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පවසන්නේ.

එම ව්‍යාපාරයේ මහලේකම් සුනිල් ජයසේකර නිකුත් කළ නිවේදනයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දුන් නියෝග ද සිහිපත් කර ඇත.

“කෙටුම්පතෙහි වගන්ති ගණනාවක්ම සම්මත කරගත යුත්තේ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් වන බවද තවත් වගන්ති කිහිපයක් කාරක සභා අවස්ථාවේදී සංශෝධනයට ලක්කිරීමට කටයුතු කරන්නේ නම් එකී වගන්ති පමණක් සරළ බහුතරයකින් සම්මත කරගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය ඒ ගැන ලබාදී ඇති අර්ථනිරූපනයෙහි දැක්වේ. කෙසේ වෙතත් ශේෂ්ඨාධිකරණය ඒ අර්ථ දැක්වීම සිදුකර ඇත්තේ එකී පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන්නේද යන්න කෙරෙහි පමණක් අවධානය යොමුකරවමින් වන බවද මෙහිදී අප සැලකිල්ලට ගත යුතුව ඇත.”

 

ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ ද පිළිගත් ආයතන හා පුද්ගලයන් රැසක් මෙම පනත් කෙටුම්පත පිළිබඳව ඉදිරිපත් කර ඇති නිරීක්ෂණ පදනම් කර ගනිමින් මෙම ඉල්ලීම සිදුකරන බවයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පෙන්වා දෙන්නේ.

 

“ශ්‍රී ලංකා නීතීඥ සංවිධානය, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය හා මාධ්‍ය සංවිධාන, වෘත්තීය සංව්ධාන හා වෘත්තීය සමිති මෙන්ම එක්සත් ජාතීන්ගේ විශේෂඥ කණ්ඩායමක් මෙන්ම ලොව අන්තර්ජාල පහසුකම් සපයන ගූගල් හා අනෙකුත් සියළු ආයතන ද ඇතුළත් ආසියානු අන්තර්ජාල හවුල මෙන්ම ජාත්‍යන්තර නීතීඥ සංවිධානය ද පෙන්වා දී ඇති  අදහස් ද එහිදී ගැඹුරින් අවධානයට ගන්නා ලදී.”

මෙම පනත බලාත්මක වුවහොත් ඒ මගින් ශ්‍රී ලංකාවේ ජනතාවගේ අදහස් පලකිරීමේ අයිතියට එල්ල කරන අති භයානක බලපෑම එම සංවිධාන හා පුද්ගලයන් විසින් පෙන්වා දී ඇති බව ද සුනිල් ජයසේකර නිකුත් කරන ලද නිවේදනයේ දක්වා ඇත.

එමෙන්ම මෙම පනතින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයට ද ඇතුළු පොදුවේ සමස්ත ආර්ථිකයට අත්කරදිය හැකි අනිටු ප්‍රතිවිපාක ගැන සිදුකර ඇති පුරෝකථනයන් හා අනතුරු ඇගවීම් ද  බරපතළ බවයි එම ව්‍යාපාරය කියා සිටින්නේ.

මෙම පනත් කෙටුම්පත නියමිත පරිදි පාර්ලිමේන්තුවෙහි විවාදයට ගැනීම අත්හිටුවා විශේෂඥ අදහස් මෙන්ම පාර්ශවකරුවන්ගේ හා පොදු සමාජයේ ද අදහස් සැලකිල්ලට ගනිමින් නව පනත් කෙටුම්පතක් රටට හදුන්වා දෙමින් සම්මත කරගැනීමට කටයුතු කරන ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අවධාරණ කර සිටි.

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්