පොලිසියේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාප හේතුවෙන් සමාජයේ ජීවත් වන සිවිල් ජනතාවට මුහුණ දීමට සිදුවන

අපහසුතා පිළිබඳ දිනෙන් දින වැඩිවශයෙන් වාර්තා වෙමින් ඇති පසුබිමක ඉතා ඛේදජනක සිද්ධියක් ඊයේ ( ජනවාරි 18 වැනිදා) රාත්‍රියේ නාරම්මල ප්‍රදේශයෙන් වාර්තා විය.


සිද්ධිය ඇසින් දුටුවන් කියන්නේ මොනවද ?

නාරම්මල, රන්මුතුගල ප්‍රදේශයේ දී පොලිස් වෙඩි තැබීමකින් 41ක් හැවිරිදි පුද්ගලයෙකු (ජනවාරි මස 18 වැනිදා) ජීවිතක්ෂයට පත්විය.

සිවිල් ඇඳුමෙන් සැරසී සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ අත තිබුණු ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් එලෙස ජීවිතක්ෂයට පත්වුයේ නාරම්මල ප්‍රදේශයේම පදිංචි 41ක් හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය බීබීසී සිංහල සේවයට තහවුරු කරන ලදී.

 

නාරම්මල දී සිදුවුයේ කුමක්ද ?

ජනවාරි මස 18වැනිදා, නාරම්මල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරනු ලබන උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ තවත් පොලිස් කොස්තාපල්වරයෙකු නාරම්මල ප්‍රදේශයේ මාර්ගයක රැඳී සිටියදී එහි ගමන් කරමින් තිබු ලොරි රථයක් නවත්වන ලෙස රියදුරුට සංඥා කර ඇතැයි පොලිසිය පවසයි.

එහිදී මෙම ලොරි රථය නොනවත්වා ධාවනය කර ඇති අතර සිවිල් ඇඳුමෙන් සැරසී සිටි පොලිස් නිලධාරින් දෙදෙනා තම යතුරු පැදියෙන් ලොරි රථය පසුපස ලුහුබැඳ තිබේ.

ඉන් අනතුරුව අදාළ ලොරි රථය නාරම්මල, රන්මුතුගල ප්‍රදේශයේ පිහිටි එළවලු වෙළෙඳසැලක් ආසන්නයේදී නවතා පරික්ෂා කිරීමට උත්සහ කිරීමේදී මෙම උප පොලිස් පරීක්ෂකවරයාගේ අතේ තිබු ගිනි අවිය හදිසියේ ක්‍රියාත්මක වී ඇතැයි පොලිසිය පවසයි.

එහිදී වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ලොරි රථයේ සිටි 41 ක් හැවිරිදි පුද්ගලයා නාරම්මල රෝහලට ඇතුලත් කරන විට ජීවිතක්ෂයට පත්වු බව පොලිසිය සඳහන් කළේය.

මෙම සිදුවීමෙන් මියගොස් ඇති පුද්ගලයා වෘත්තිමය වශයෙන් වඩු වැඩ සහ සුළු ව්‍යාපාර සිදුකරන අයෙකු බවත් ඔහු කටුපොත ප්‍රදේශයේ සිට තම නිවෙස බලා යමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ පා තිබෙන බවත් කරුණු අනාවරණය වී තිබේ.

මෙම වෙඩි තැබීමට සම්බන්ධ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව බීබීසී සිංහල වෙත පැවසුවේය.


fdfe3වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ලොරි රථයේ සිටි 41 ක් හැවිරිදි පුද්ගලයා නාරම්මල රෝහලට ඇතුලත් කරන විට ජීවිතක්ෂයට පත්වු බව පොලිසිය සඳහන් කළේය.

 

'හිතලා කළේ නැහැ මල්ලි. බය ගන්වන්න වෙපන් එක පෙන්නුවේ'

මෙම සිදුවීමෙන් පසු එම වෙළෙඳසැල අසල සිටි පුද්ගලයෙකු තමන්ගේ ජංගම දුරකථනයෙන් එහිවූ සිදුවීම වීඩියෝ ගත කර සමාජ මාධ්‍යට මුදාහැර තිබුණි.

එහිදී අදාළ ලොරි රථය පසුපස හඹා ආ බව කියන උප පොලිස් පරීක්ෂකවරයා හා ඔහුගේ අත රැඳී තිබු ගිනි අවිය එම වීඩියෝවේ දැක්වෙයි.

එහිදී එම උප පොලිස් පරීක්ෂක නිලධාරියා විසින් එම ස්ථානයේ සිටි පිරිසගෙන් වෙඩි වැදුනු පුද්ගලයා මියයන්නට ඇත්දැයි විමසන ආකාරය සහ සිදුවීමට හේතු කියා සිටින අයුරු අදාළ වීඩියෝවේ පටිගත වී ඇත.

dser3"හිතලා කළේ නැහැ මල්ලි. බය ගන්වන්න වෙපන් එක පෙන්නුවේ" යනුවෙන් අදාළ උප පොලිස් පරීක්ෂකවරයා එහි සිටි පුද්ගලයින් පිරිසකට ප්‍රකාශ කරන ආකාරය එම වීඩියෝවේ දැක්වෙයි.

 

"හිතලා කළේ නැහැ මල්ලි. බය ගන්වන්න වෙපන් එක පෙන්නුවේ" යනුවෙන් අදාළ උප පොලිස් පරීක්ෂකවරයා එහි සිටි පුද්ගලයින් පිරිසකට ප්‍රකාශ කරන ආකාරය එම වීඩියෝවේ දැක්වෙයි.

කෙසේ වුවද වෙඩි තැබීමෙන් පසු අදාළ උප පොලිස් පරීක්ෂකවරයා සිය යතුරුපැදිය ගෙන එම ස්ථානයෙන් පිටව යාමට උත්සහ කළ අවස්ථාවදී එහි සිටි ජනතාව විරෝධය පළකරමින් ඔහුව එම ස්ථානයේ රඳවා ගන්නා අයුරු ෆේස්බුක් ඔස්සේ සංසරණය වන වීඩියෝවේ දැක්වේ.

 

'එයා කොහොමද එහෙම වෙඩි තියන්නේ ?'

නාරම්මල, දම්පැලැස්ස ප්‍රදේශයේ දී සිදුවූ මෙම සිද්ධියේදී උප පොලිස් පරීක්ෂකවරයාට ගිනි අවිය භාවිත කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොතිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

“මෙතැනදී ලොරි රථයේ සිටි පුද්ගලයාගෙන් පොලිස් නිලධාරීයාට එරෙහිව කිසිම අභියෝගයක් හරි කිසිම ප්‍රතිරෝදයක් එල්ල වෙලත් නැහැ."

"පොලිස් නිලධාරියාට ගිනි අවියක් භාවිත කරන්න තරම් කිසිම දෙයක් වෙලා නැහැ."

"එයා කොහොමද වෙඩි තියන්නේ ? ඒ නිසයි අපි එයාව ඇරස්ට් කළේ." පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා අද (ජනවාරි 19 වැනිදා) නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

 

සිද්ධිය ගැන විමර්ෂණයට විශේෂ පොලිස් කණ්ඩායමක්

මේ අතර ඊයේ දින නාරම්මල පොලිස් වසමේ දී සිදුවූ පොලිස් වෙඩිතැබීමේ සිද්ධියේදී පොලිස් නිළධාරීන් ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් සොයාබැලීමට විශේෂ පොලිස් කණ්ඩායමක් එහි යවන ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයා ගේ උපදෙස් මත විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට පොලිස් වි‍ශේෂ විමර්ශන ඒකකයේ පොලිස් කණ්ඩායමක් එම ප්‍රදේශයට මේ වන විටත් පිටත්ව ගොස් විමර්ශන ආරම්භ කර ඇත.

සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරියෙකුට සාමාන්‍ය වැසියෙකුට වෙඩි තබන්න පුලුවන්ද ?

සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරියෙකුට සාමාන්‍ය වැසියෙකුට ගිනි අවියක් එල්ල කිරීමට හැකියාව තිබේදැයි බීබීසී සිංහල, විසින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව ගෙන් විමසන ලදී.

එයට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ එවැනි දෙයක් සිදුකිරීමට පොලිස් නිලධාරියෙකුට සාධාරණ හේතුවක් තිබිය යුතු බවය.

"පොලිස් නිලධාරියෙක්ට එහෙම ගිනි අවියක් එල්ල කරන්න සාධාරණ හේතුවක් තියෙන්නේ ඕන. එයාගේ ජිවිතේ ආරක්ෂා කරගන්න හරි වෙනත් සාධාරණ හේතුවක් තියෙන්න අවශ්‍යයි." ඔහු පැවසුවේය.

කුපිත වූ නාරම්මල වැසියන්

පොලිස් වෙඩි තැබීමේ සිද්ධියෙන් අනතුරුව නාරම්මල පොලිසිය ඉදිරිපිට (ජනවාරි 18 වැනිදා) රාත්‍රියේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවුණි.

එහිදී සිද්ධියට විරෝධය පළ කරමින් නාරම්මල පොලිස් ස්ථානය ඉදිරිපිටට රැස්වූ ප්‍රදේශවාසීන් පොලිසියේ ගේට්ටුවද කඩා බිඳ දමා තිබේ.

එහිදී රැස්ව සිටි ප්‍රදේශවාසින්ගෙන් පොලිසියට එල්ල වුයේ ප්‍රබල විරෝධයකි.

එම ජනතාව පොලිසියට චෝදනා කරමින් කියා සිටියේ වෙඩි වැදීමෙන් මියගිය පුද්ගලයා කිසිදු ආකාරයේ මත්ද්‍රව්‍ය හෝ අපරාධයකට සම්බන්ධ අයෙකු නොවන බවය.

"මේ කෙනා වඩු වැඩ කරන්නේ. තවත් පවුල් 4-5ක් මෙයාගෙන් යැපෙනවා. මේ මැරුණ කෙනා අරක්කු ගංජා වගේ කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ."

"වැඩ කරලා ගෙදර යද්දී තමයි මේ රන්මුතුගල එළවලු කඩේ ලඟදි බයික් එකක් ඇවිත් ඉස්සර කරලා නතර කරලා පිස්තොලේ ලෝඩ් කරලා වෙඩි තියලා තියෙන්නේ."

"දැන් පොලිසිය කුඩු පැකට් එකක් හරි ගංජා පැකට් එකක් හරි දාලා මේක යට ගහන්න බලයි. ඒවාට අපි ඉඩ දෙන්නේ නැහැ. අපේ අය දැනටමත් වාහනේ ළඟ දාලා ඉන්නේ."

"මේ කෙනාට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. දැන් ඒ ළමයින්ට කවුද ඉන්නේ? කාටවත් කිසිම කරදරයක් කරපු කෙනෙක් නෙමේ. ගමේ හැමෝටම උදව් කරන කෙනෙක්." පොලිසිය ඉදිරිපිටට රැස්ව සිටි ප්‍රදේශවාසිහූ එලෙස සිය ආවේගය පළ කළහ.

‘වෙඩි තියලා ඇවිත් කියනවා වැරදීමක් වුනේ කියලා’ - ඇසින් දුටු සාක්ෂිය

මෙම වෙඩි තැබීමේ සිද්ධිය ඇසින් දුටු පුද්ගලයෙකු ඒ පිළිබඳව විස්තර කරමින් මාධ්‍ය වෙත පැවසුවේ මෙවන් අදහසකි.

"බයිසිකලේ ඇවිල්ලා නැවැත්තුවා ලොරිය ඉස්සරහින්. බයිසිකලේ පිටි පස්සේ හිටිය කෙනා බැහැලා ඇවිල්ලා ලොරියේ මල්ලිට (වෙඩි වැදීමෙන් මියගිය තැනැත්තාට) පහර දෙන්න උත්සාහ කළා ' නවත්තපං කිව්වම නවත්තපන්' කියලා."

"ඒ වෙලාවේදී බයිසිකලේ එළවන් ආපු කෙනා බැහලා එන ගමන් ලොරිය ඉස්සරහදී වෙපන් එක ලෝඩ් කරන් ඇවිත් අනිත් කෙනාව තල්ලු කරලා දාලා තෝව මරණවා කියාගෙන ඇවිත් ලොරියේ මල්ලිගේ ඔළුවට වෙපන් එක තිබ්බා."

"ඒ එක්කම එක පාරට වෙඩිල්ල පත්තුවෙලා මේ ඉස්සරහා වීදුරුව කඩාගෙන ගියා. ලොරියේ මල්ලිගේ ඔලුව එහෙම්ම කඩන් වැටුණා."

"බයික් එකේ පිටිපස්සේ ආපු කෙනා ඇහුවා වෙඩි වැදුණා නේද කියලා. "

"ඔව් මල්ලි වෙඩි වැදුණා කියලා එයා ගියා ඉස්සරහට. පස්සේ ඒ වෙඩි තිබ්බ කෙනා බිම වැටිලා තිබ්බ පතොරම් කොපුව අහුලගෙන සාක්කුවට දාගත්තා."

"වෙඩි තිබ්බට පස්සේ වෙඩි වැදුණා කිව්වා. වෙඩි තියන්න ඕන නිසානේ අතන ඉදන් වෙපන් එක ලෝඩ් කරන් ආවේ. පස්සේ වැරදුණා කියලා කිව්වට වැඩක් නැහැ නේ."

"ඒ දෙන්නා සිවිල් හිටියේ. නවත්තන්න කියලා කියද්දී බයට වාහනේ නතර කරන්නේ නැතුව ඇති. අපි මෙතන හිටිය නිසයි එයා ලොරිය මෙතන නතර කරන්න ඇත්තේ."

"සාමාන්‍යයෙන් කඩෙන් බඩු ගන්න එනකොට ඉස්සරහ තියෙන පාර්ක් එකේ ලොරිය නතර කරලා එන්නේ." සිද්ධිය දුටු පුද්ගලයා එය විස්තර කර සිටියේය.

විරෝධතා මැද පොලිසියෙන් තවත් පහර දීමක්

ප්‍රදේශවාසින් නාරම්මල පොලිසිය ඉදිරිපිට විරෝධය පළකරන අවස්ථාවේදී පැමිණිල්ලක් ගොනු කිරීමට ගිය තවත් ප්‍රදේශවාසියෙකුට පොලිස් ස්ථානයේ සේවයේ යෙදී සිටි නිලධාරියෙකු පහරදී ඇතැයි දැක්වෙන වීඩියෝවක් ද මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.

තමන් පැමිණිල්ලක් ගොනු කිරීමට ගිය බවත් එහිදී පොලිසිය තුළ නිල ඇඳුමෙන් සැරසුණු නිලධාරියෙකු තමන්ගේ කණට ගැසූ බවත් සිදුවීමට මුහුණ දුන් එම පුද්ගලයා පොලිසිය ඉදිරිපිට රැස්ව සිටි ප්‍රදේශවාසීන්ට තමන්ට මුහුණ දීමට සිදුවූ සිද්ධිය පිළිබඳ කරුණු කියා සිටියේය.

නාරම්මල පොලිස් ස්ථානයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ භට කණ්ඩායමක් ඒ වන විටත් කැඳවීමට පියවර ගෙන තිබුණි.

‘මිනිස්සු ඝාතනය කරන්න පුලුවන් සංස්කෘතියක් හදලා’

පොලිස් නිලධාරින් අතින් සිදුවන මරණ ගැන විමර්ශනය කිරීමට ස්වාධීන පරීක්ෂණයක් අත්‍යවශ්‍ය බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් බීබීසී සිංහල සේවයට පැවසීය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඇතැම් අවස්ථාවලදී පොලිස් නිලධාරීන් පුද්ගලයින් ඝාතනය කොට එය වසන් කිරීමට කටයුතු කරන බවයි.

"ඒකයි මම කියන්නේ පොලිසිය අතින් සිදුවන මරණ ගැන සොයන්න ස්වාධීන පරීක්ෂණයක් කරන්න ඕන."

"අපි දැකලා තියෙනවා සමහර අවස්ථා වලදී පොලිස් නිලධාරීන් පුද්ගලයින්ව ඝාතනය කරලා ඒක වසන් කරන්න කටයුතු කරනවා. ඒක එක කරුණක්."

"දෙවැනි එක තමයි මට කියන්න තියෙන්නේ, මේ වගේ පොලිසිය අතින් මිනිස්සු ඝාතනය කරන්න පුලුවන් සංස්කෘතියක් දේශපාලන බලධාරින් සහ උසස් පොලිස් නිලධාරින් විසින් මේ අයව දිරිගන්වලා තියෙනවා."

"ඒක නිසා ඕන දෙයකින් ගැළවෙන්න පුලුවන් කියන දේ හැදිලා තියෙනවා."

"අනිත් අතින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නඩු තීන්දු ගණනාවක් ලබාදීලා තියෙනවා මේ වගේ සිදුවීම් ගැන."

"මේ වගේ සිදුවීම් ගැන පොලිසියේම අය හෝ ඔවුන්ගේම උසස් නිලධාරින් කරන විමර්ශන වලින් සෑහිමට පත්වෙන්න බැරි නිසයි මම කියන්නේ මේ සිදුවීම් ගැන විමර්ශනය කරන්න ස්වාධීන පරික්ෂණයක් අවශ්‍යයි කියලා." ජනාධිපති නිතීඥ සාලිය පීරිස් පැවසුවේය.

(BBC සිංහල සේවය) 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්