ඉලංගෙයි තමිල් අරසු කච්චි නව නායකයා ලෙස යාපනය මැතිවරණය කොට්ඨාසය නියෝජනය කරන සිවඥානම් ශ්‍රීධරන් අද (ජනවාරි 21වැනිදා) තේරී
පත්විය.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නව නායකයා තේරීමේ පක්ෂ මහ සභාව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පැවැත්වුණු අතර, එහිදි පක්ෂයේ දිස්ත්‍රික් සභාවන්හි සාමාජිකයින් 184 දෙනෙකුගේ ඡන්ද ලබා ගනිමින් සිවඥානම් ශ්‍රීධරන් පක්ෂ නායක ලෙස තේරී පත්විය.

නායකත්ව තරගය වෙනුවෙන් ඉදිරිපත් වු එම්.ඒ.සුමන්තිරන් වෙත දිස්ත්‍රික් සභාවන්හි නියෝජිතයින් 137 දෙනෙකු කැමැත්ත පළකොට තිබුණි.

පක්ෂ නායකත්වය වෙනුවෙන් තුන්කොන් සටනක් පැවති අතර, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නව නායකත්වය වෙනුවෙන් යාපනය මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම්.ඒ.සුමන්තිරන් , සිවඥානම් ශ්‍රීධරන් සහ මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරන එස්.යෝගේෂ්වරන් නාමයෝජනා භාරදී තිබුණි.

යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව, මන්නාරම, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර හා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දිස්ත්‍රික් සභාවල නියෝජිතයින් 337 දෙනෙකු ජන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබුණ.



ශිවඥානම් ශ්‍රීධරන් කවුද?


1968 දෙසැම්බර් 8 වැනිදා උපත ලබා ඇති සිවඥානම් ශ්‍රීධරන් වෘත්තියෙන් ගුරුවරයෙකු විය.

දේශපාලනයට පිවිසීමට පෙර ඔහු විදුහල්පතිවරයෙකු ලෙස කටයුතු කළ අතර, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පාසල් රැසක ගුරුවරයෙකු ලෙස සේවයේ යෙදී සිට තිබේ.

2010 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත් වු ශ්‍රීධරන් පසුගිය සෑම මැතිවරණයකම යාපනය මැතිවරණ කොට්ඨාසයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළේය.

වර්තමානයේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ජීවත්වන ඔහු යාපනය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි.



ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ ඉතිහාසය


ඉලංගෙයි තමිල් අරසු කච්චි 1949 දෙසැම්බර් 18 වැනිදා එවක පාර්ලිමේන්තුව නියෝජනය කළ එස්.ජේ.වී.චෙල්වනායගම්ගේ නායකත්වය යටතේ බිහිවිය.

ඉලංගෙයි තමිල් අරසු කච්චි ආරම්භයේ සිට මේ දක්වා පක්ෂ විධායක සභාවේ ඒකමතික කැමැත්ත මත පක්ෂ නායකයින් තෝරා ගැණුනේය.

උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂවලින් සැදුම්ලත් දෙමළ ජාතික සන්ධානයේ නායකත්වයද පසුගිය සමය පුරාවටම ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය විසින් දරනු ලැබීය.

1949 වසරෙන් පසුව පැවැත්වු සෑම මැතිවරණයක් වෙනුවෙන්ම ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය තරග කර ඇති අතර, දෙමළ ජාතික සන්ධානය ලෙසට සන්ධානගතව පසුගිය මැතිවරණවලදී ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය මැතිවරණ වෙනුවෙන් ඉදිරිපත් විය.


පක්ෂයට නව නායකත්වයක් ඉල්ලීම



1977 වසරේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කරන ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් විසින් 2004 වසරේ සිට පක්ෂ නායක ලෙස කටයුතු කරනු ලැබීය.

අනතුරුව පක්ෂ නායකයා ලෙසට වර්තමාන පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා 2014 වසරේ පක්ෂ මධ්‍යම කාරක සභාවේ ඒකමතික කැමැත්ත මත පත්විය.

වර්තමානයේ පක්ෂ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස කටයුතු කරන ආර්.සම්බන්ධන් හා වර්තමාන පක්ෂ නායක මාවේයි සේනාධිරාජාගේ දුර්වල සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් පක්ෂයට නව නායකයෙක් තේරීමට පක්ෂ විධායක සභාව තීරණය කරනු ලැබීය.


පක්ෂ අභ්‍යන්තර ගැටළු


පක්ෂ නායකත්වය ශ්‍රීධරන් වෙත හිමිවීමත් සමඟ සුමන්තිරන් හා එස්.යෝගේශ්වරන් වෙත සහයෝගය ලබාදුන් කණ්ඩායම් අතර බෙදීමක් හටගෙන ඇති අතර, ඒ හරහා පක්ෂය තුළ කණ්ඩායම් කිහිපයක බෙදීමක් හටගෙන ඇති බැවින් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සමගිය පවත්වා ගැනීමේදී ඉදිරියේදී ගැටළු රැසක් ඇතිවිය හැකි බව පක්ෂ සාමාජිකයෝ පැවසූහ.



දෙමළ ජාතික සන්ධානයට එල්ලවන බාධාවන්


උතුරු නැගෙනහිර නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ ඒකාබද්ධව බිහිකළ සන්ධානය දෙමළ ජාතික සන්ධානය විය.

ආරම්භයේදී පක්ෂ හතකට ආසන්න ගණනනක් දෙමළ ජාතික සන්ධානයට ඇතුළත් වූ අතර,අනතුරුව සන්ධානයේ නායකත්වය සම්බන්ධයෙන් හටගත් මත ගැටුම් හා එක් එක් පක්ෂ අභ්‍යන්තරයේ හටගත් ගැටුම් හේතුවෙන් වර්තමානයේදී දෙමළ ජාතික සන්ධානය පක්ෂ තුනකට පමණක් සීමා වී ඇත.

මාවෙයි සේනාධිරාජා වර්තමාන නායකත්වය දරන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය,සෙල්වම් අඩෙක්කලනාදන් නායකත්වය දරන ටෙලෝ සංවිධානය හා ධර්මලිංගම් සිද්ධාර්ථන් නායකත්වය දරන ප්ලොට් සංවිධානය වර්තමානයේදී දෙමළ ජාතික සන්ධානය තුළ සන්ධානගතව පවති.

ටෙලෝ සංවිධාන නායක සෙල්වම් අඩෙක්කලනාදන් හා ප්ලොට් සංවිධාන නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් දෙමළ ජාතික සන්ධානය තුළ වසර ගණනාවක් කටයුතු කොට ඇති බැවින්, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායකයාට දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය ලබාදීම සම්බන්ධයෙන්ද අර්බුදයක් පවතියි. 

 (BBC සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්