මෙරට කුඩා දරුවන්ගෙන් 91%කට සරම්ප එන්නත මේ වන විට ලබාදී අවසන් කර ඇති බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍යවරයා පවසනවා.

මෙරටින් සරම්ප රෝගය තුරන් කර ඇති නමුත් පසුගිය සමයේ එම රෝගය යළි හිස ඔසවන තත්වයක් පෙන්නුම් කළ බැවින් මේ ආකාරයේ එන්නත් වැඩසටහනක් ආරම්භ කරනු ලැබුවේය.

මෙම වසරේ ප්‍රධානම බලාපොරොත්තුව වන්නේ රෝග වළක්වා ගැනීම සම්බන්ධයෙන් වන කටයුතු ශක්තිමත් කිරීම බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ කියා සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනවාරි 22 වැනිදා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. 

ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් වැඩිදියුණු කිරීම තුළින් රෝගීන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන කඩිනමින් ලබාදීමට ද බලාපොරොත්තු වන බවයි ඇමැතිවරයා පවසන්නේ.


බෝ නොවන රෝග තර්ජනය


ශ්‍රී ලංකාව බෝ නොවන රෝග සම්බන්ධයෙන් විශාල තර්ජනයකට මුහුණ දී ඇති බව පෙන්වා දෙන සෞඛ්‍ය ඇමැතිවරයා මෙරට ජනගහනයෙන් 20% වැඩි ප්‍රමාණයක් දියවැඩියා රෝගී තත්ත්වයෙන් පෙළෙන බව සඳහන් කළේය.

දකුණු ආසියානු කලාපයේ අවුරුදු 35ට වැඩි පුද්ගලයන්ගෙන් අධික රුධිර පීඩනය වැඩිම රට ලෙස ද ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇති අතර අධික රුධිර පීඩනයට අදාළ සංකූලතා ලෙස හෘද රෝග, ආඝාතය ඇතුළු රෝග රැසක් හඳුනාගෙන ඇතැයි ඔහු කියා සිටියේය.

එමෙන්ම වේගයෙන්ම වයස්ගත වන ජනගහනයක් සිටින රටක් නිසාත් මතක ශක්තිය දුර්වල වීම, අක්ෂි රෝග, අස්ථි රෝග ඇතුළු රෝග තත්ත්වයන් රැසක් වර්ධනය වෙමින් තිබෙන බවත් එබැවින් බෝ නොවන රෝග පිළබඳව අවධානය යොමු කරමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට ද ප්‍රතිපාදන වෙන්කර ඇතැයි හෙතෙම පැවසීය.

 

සීග්‍රයෙන් පැතිර යමින් පවතින ඩෙංගු රෝගය පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර එය පාලනය කිරීමට කටයුතු කරමින් සිටින බව කී කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශවලින් සහයෝගය ලබුණ ද ඒ සම්බන්ධයෙන් මහජනතාවගෙන් ලැබෙන සහාය මීට වඩා අපේක්ෂා කරන බව කියා සිටියේය.

පවතින ඖෂධ හිඟය මඟහැරවීම සඳහා අත්‍යවශ්‍ය ඖෂධ විශාල ප්‍රමාණයක් මේ වන විට රටට ආනයනය කිරීමට කටයුතු යොදා ඇති බැවින් ඖෂධ හිඟය ක්‍රමානුකූලව අවම වෙමින් පවතින බව කී ඇමැතිවරයා, ඉදිරියේදී වෛද්‍ය සැපයුම් අංශයත්, ප්‍රසම්පාදන ක්‍රියාවලියත් විනිවිදභාවයකින් යුතුව සිදු කිරීමට මාර්ගගත ක්‍රමවේදය යොදා ගන්නා බව කියා සිටියේය. 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්