පාරම්පරික දේශපාලන මානසිකත්වයෙන් මිදී, වැරදි නිවැරදි කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) මෙන්ම ඒ හා බැඳුණ වෘත්තිය සමිති ද නවීකරණය විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අවධාරණය කර සිටියි. 


ඔහු එබව සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකයින් හමුවීමෙන් පසු මාධ්‍ය අමතමිනි. 

“රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ලැබුවා සමාජ මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන්. අපිත් සිතනවා සමාජ මාධ්‍ය නියාමනයක් අවශ්‍යයි කියා. සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රකාශ කරනවා ඔහුගේ ආණ්ඩුවක් යටතේ මෙම සමාජ මාධ්‍ය නියාමනය අහෝසි කරනවා යැයි කියා. මේක තමයි පාරම්පරික දේශපාලනික මානසිකත්වය. කලින් ජනාධිපතිවරයා කල සියල්ල අහෝසි කිරීම. අද පාර්ලිමේන්තුවේ බොහෝ දේශපාලන පක්ෂ වල නායකයින්ට තිබෙන්නේ මේ පාරම්පරික දේශපාලන මානසිකත්වයියි. ඒ සම්බන්ධයෙන් අපි කණගාටුවට පත්වෙනවා.”

 

රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුල තව අලුතින් තරුණ පක්ෂ නිර්මාණය විය යුතු බව මෙන්ම තරුණයින් දේශපාලනයට පැමිණිය යුතු බව ද නාමල් රාජපක්ෂ කියා සිටියේය. 

 

බෙදී වෙන්ව ගිය කොටස් ගැන අදහස් දැක්වු මන්ත්‍රීවරයා, ගොඩ නැගෙන නව සන්ධානවලට සිය සුබ පැතුම් එක් කළේය.

“සුසිල් ප්‍රේමජයන්ත සහ රොෂාන් රණසිංහ යන මැතිතුමන්ලා දැන් වෙනම සන්ධාන ඇති කරගෙන තිබෙනවා. මේ අය තමයි මීට පෙර මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඉල්ලා අස්වෙන්න කියලා බලපෑම් කලේ. එදා ඉල්ලා අස්වෙන්න කියලා බලපෑම් කල අය දැන් දෙකට බෙදිලා වෙන වෙනම සන්ධාන හදාගෙන රැලි පවත්වනවා. අපිත් එක්ක එකට ඉන්න බැරි අයට බෙදිලා ගිහිල්ලත් ඉන්න බැහැ. ඒ අයගෙත් වෙනම දේශපාලන මතයක් ඇති. ඒක ප්‍රකාශ වෙන්නත් ඕනා. කෙසේ වෙතත් මේක ප්‍රජාතන්ත්‍රවාදයේ හොද ලක්ෂණයක්.”

“අලුත් පක්ෂ නිර්මාණය වෙන්නත් ඕනා. ඒවගේම නිමල් ලංසා මැතිතුමාත් ආරම්භ කරපු නව සන්ධානයට මම සුභ පතනවා. ඒවගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් වෙනම සන්ධානයක් ගොඩ නගන්න හදනවා. එම සන්ධානයටත් මම සුබ පතනවා. ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිංදුවට වැටිලා තිබුනේ. අපිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටියේ. අපි එතනින් එලියට ආවේ ප්‍රතිපත්තිමය ගැටළුවක් නිසා මිසක පෞද්ගලික ගැටළුවක් නිසා නොවෙයි.”

 

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දේශපාලන වාසි ලබා ගැනීමට සිය ප්‍රතිපත්ති හා දේශපාලන මතය වෙනස් කර නොමැති බව බව ද ඔහු සඳහන් කළේය.

 

''ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලෙස අපි නවීකරණය විය යුතුයි. අපි අතින් වෙච්ච වැරදි පිලිගෙන ඒවා නිවැරදි කරගෙන  ඉදිරියට යාමයි විය යුත්තේ. අපි කාලෙන කාලෙට දේශපානික වාසි ගැනීමට අවස්ථාවාදීව අපේ ප්‍රතිපත්ති වෙනස් කරගෙන නැහැ. අපි අපේ මතයේම සිටිනවා. ජයග්‍රාහී මාවතට අපේ පක්ෂය අපි රැගෙන යනවා. ගමට යන අපේ දස බල සේනා වැඩසටහන සාර්ථකයි. ඒ හරහා සද් ජන රළ බිහි කරන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කටයුතු කරනවා.'' යයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියේය.



(චතුරංග මේදිස්) 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්