බලපත්‍ර සහ හිමිකම් පත්‍ර අයිතිය මත ඉඩම් පරිහරණය කරනු ලබන ජනතාව සඳහා එම ඉඩම්හි පූර්ණ අයිතිය ඇති ඉඩම් ඔප්පු ප්‍රදානය කෙරෙන

“උරුමය” වැඩසටහන හෙට (05) පස්වරු 4.30ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් රංගිරි දඹුල්ලේ දී ආරම්භ කෙරේ.

සියළුම ඔප්පුලාභීන්ට ප්‍රවාහන හා ආහාර සඳහා අවශ්‍ය කරන මුල්‍ය ප්‍රතිපාදන මේ වන විටත් දිස්ත්‍රික්ක ලේකම් කාර්යාල වෙත ලබාදී ඇති අතර, ඔවුන්ට කිසිඳු අපහසුතාවකින් තොරව මෙම උත්සවයට සහභාගීවීමට පහසුකම් සලසා දෙන ලෙස ජනාධිපති කාර්යාලය විසින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබාදී ඇත.

ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන උරුමය වැඩසටහනේ පළමු අදියර යටතේ ලබාදීමට නියමිත නිදහස් ඔප්පු දස දහස මේ වන විට සකස් කර අවසන්ව ඇතැයි සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය සඳහන් කරයි.

එම සින්නක්කර ඔප්පු මේ වනවිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට යොමු කිරීමට පියවර ගෙන ඇති බව ද සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් ඒච්. ඒම්.බී.පී. හේරත් පැවසීය.

ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශිය ලේකම්වරුන් සමඟ මාර්ගගත ක්‍රමය ඔස්සේ ජනවාරි 30දා පැවැති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චන්ද්‍රා හේරත්, ජනාධිපති කාර්යාලයේ සමාජ සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත කුමාර ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ගොවි පවුල් ලක්ෂ 20 ක් වෙනුවෙන්..

උරුමය වැඩසටහන යටතේ ගොවි පවුල් ලක්ෂ 20 ක් සඳහා නිදහස් ඔප්පු ප්‍රදානය කිරීමට රජය සැලසුම් කර තිබේ. 

උරුමය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මෙවර අයවැය යෝජනා මගින් රුපියල් බිලියන දෙකක් වෙන් කර ඇති අතර, ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ලබා දුන් ඉඩම් බලපත්‍ර සියල්ල සින්නක්කර ඔප්පු බවට පත් කර එය භුක්ති විඳි ගොවි ජනතාවට ලබාදීම මෙහිදී සිදු කෙරේ.

යටත් විජිත සමයේ විදේශිකයන් ශ්‍රී ලංකාවේ ඉඩම් ඔවුන්ගේ යටතට පත්කර ගැනීමෙන් පසුව එම ඉඩම්වල වගා කිරීම සඳහා ස්වදේශිකයන්ට බලපත්‍ර ලබාදීම සිදු කර තිබිණි.

නමුත් 1935 වසරේ ඉඩම් සංවර්ධන ආඥා පනත මගින් ස්වදේශිකයන් වෙත ඉඩම් ඔප්පු ලබා දීම සඳහා තවත් බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දී තිබූ අතර එහිදී ඉඩම් හිමි ජනතාවට වගා කටයුතු කිරීම සහ නිවාස ඉදිකර ගැනීමට හැකියාව තිබේ. නමුත් එම ඉඩම පැවරීමේ හෝ විකිණීමේ බලයක් ඉඩම්හිමි ජනතාවට නොතිබුණ බව ඉඩම් කොමසාරිස් බන්දුල ජයසිංහ පැවසීය.

ඡන්දය පැවැත්වීම සම්බන්ධ අදහසකින් නොවේ 

අයවැය යෝජනා මගින් රුපියල් බිලියන දෙකක් වෙන් කරමින් සිදුකෙරෙන “උරුමය” වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් සිදුකෙරෙන දේශපාලන ව්‍යාපෘතියක් බවට විපක්ෂයේ විවේචනයට ලක්ව ඇත.

කෙසේවුවද, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසන්නේ, ආණ්ඩුව මේ මොහොතේ මූල්‍ය කළමනාකරණය සිදු කරනු ලබන්නේ, ඡන්දය පැවැත්වීම සම්බන්ධ අදහසකින් නොවන බවයි. 

ජනතාවට සහන ලබා දීම ආණ්ඩුවේ උපරිම උත්සාහය බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image