හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගැනීම හා රක්ෂිත බන්ධනාගාරගත කිරීම

පාර්ලිමේන්තුවෙන් පිටත ගොඩනැගෙන ජනබලයේ ශක්තිය නිරූපණය කිරීමක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා.

කැබිනට් අමාත්‍යවරයකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළ පළමු අවස්ථාව මෙය බව එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මාධ්‍ය හමුවක දී කියා සිටියේය.

“කෙහෙලිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගෙන ඇප ලබා නොදී රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඇමතිවරයකු සිය කැබිනට් අමාත්‍ය ධුරය දරද්දීම මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කළ ප්‍රථම අවස්ථාව මෙය විය යුතුයි. මෙය රටේ ජනතාව සිය අයිතීන් උදෙසා හඬ නැගීමේ ප්‍රතිඵලයක්.”

පුබුදු ජයගොඩ පෙන්වා දෙන්නේ විමර්ශණ නිලධාරින්ට මෙන්ම අධිකරණ ක්‍රියාවලිය නිදහසේ කර ගැනීමට හැකි වුයේ ජන මතය හා ජන බලය නිසා බවටයි.

පාර්ලිමේන්තුවෙන් කර ගන්න බැරි වුණ දේ ජන බලයෙන් කිරිම

පාර්ලිමේන්තුවෙන් කර ගත නොහැකි වු දේ ජනතා බලයෙන් සිදුවු ආකාරය ද හෙතෙම විස්තර කළේය.


“විපක්ෂය මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුව ඇතුලේ විසඳන්න ගියා. ඔවුන් කෙහෙලියට එරෙහිව විශ්වාසභංග ගෙනාවා. නමුත් පාර්ලිමේන්තුවේ 113ක් අත ඔසවා විශ්වාස භංගය පරාජය කළා. ඒකෙන් කෙහෙලිය ඇතුළු දූෂිත දේශපාලන නඩය ගැන වගේම පාර්ලිමේන්තු ව්‍යුහය ගැනත් ජනතාවගේ විශ්වාසය භංග වුණා. පාර්ලිමේන්තුවෙන් පිටත ජනතාවගේ ක්‍රියාකාරීත්වයක් වර්ධනය වුණේ ඒ සමග. ඒ වගේම ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ගෙන්වා මිනීමරන, ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කර වැඩි මිලට ඖෂධ ගෙන්වා මහජන අරමුදල් ගසාකන ක්‍රියාවලියට පක්ෂව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරය අත එසවූ බවත් අමතක කරන්න එපා. ඒ අය ඒ අයට ඡන්දය දුන් ජනතාවගේ නියෝජිතයන්ද? නැහැ.”


නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය විකාරයක් බවට පත් වී ඇති බව මෙන්ම ජනතාවට සිය අයිතීන් දිනා ගැනීමටත් බාල බෙහෙත් වලින් ජීවිත අහිමිවීම වලක්වා ගන්නත් ඇති මාවත පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා බලයක්, පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩනැගීම පමණක් බවටයි ඔහු විශ්වාසය පළ කරන්නේ.

“අසංවිධිත හා සරල මැදිහත්වීමකින් කෙහෙලිය නීතිය හමුවට පැමිණවීම වැනි සාපේක්ෂ ජයග්‍රහණයක් ලබාගත හැකිනම් වඩා සංවිධානාත්මක සහ වඩා දේශපාලන ප්‍රමිතියෙන් යුතු මහජන ව්‍යාපාරයකට කෙතරම් ජනතා ජයග්‍රහණ අත්පත් කර දිය හැකිද? මේ සිදුවීම ඒ සඳහා වන අගනා නිදසුනක්.” යැයි පෙසප අධ්‍යාපන ලේකම් අවධාරණ කරයි.

සමූහ ඝාතන හා සාවද්‍ය මනුෂ්‍ය චෝදනා

දැනට තිබෙන පරිදි පොදු දේපල අවභාවිතා කිරීමේ චෝදනාවලට අමතරව සමූහ ඝාතන සිදු කිරීමට තැත් මෙන්ම සාවද්‍ය මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් ද ඖෂධ වංචාවට සම්බන්ධ පිරිසට චෝදනා ගොණු කළ යුතු බව පවසන පුබුදු ජයගොඩ “මේ විනාශය සිදු කරන්නේ ජාවාරම්කාර ගජමිතුරු ව්‍යාපාරික කල්ලියක්, දූෂිත ඉහලපෙළ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහ බලය හොබවන දේශපාලන මාෆියාවක් යන තුන්කට්ටුව එකතු වීමෙන්. මේ ජාලයේ එක කොටසක් පමණක් බිඳීමෙන් පලක් නැහැ.” යි කියා සිටියේය.

රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීමේ බලය වැඩකරන ජනතාව අතට ලැබිය යුතු බව මෙන්ම එතෙක් මෙවැනි අසාධාරණයන්ට එරෙහිව පුළුල් ජන බලයක් ගොඩනැගීම අත්‍යවශය බව හෙතෙම පෙන්වා දුනි.

ආරම්භක පියවරේ සිට ජනතාව රාජ්‍යයේ තීන්දු තීරණ ගන්නා අවසන් පියවර දක්වා හැම තැනකදීම මහජන ව්‍යාපාරයක් අවශ්‍ය බව අවධාරණය කරන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මෙම සාපේක්ෂ ජයග්‍රහණය උත්තේජනයක් කරගෙන එම ජනමතය සහ ජනබලය ගොඩනැගීමට එක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්